IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කොංග‍්‍රසය පසුබසියි

උත්තර් ප‍්‍රදේශ්, උත්තරාඛාන්ද්, පංජාබ්, මනිපුර් හා ගෝව යන ප‍්‍රාන්ත සභා සඳහා පැවැති ඡන්ද  විමසීම්වලින් මධ්‍යම රජයේ පාලන බලය හිමිකර ගෙන සිටින කොංග‍්‍රස් පක්ෂයට සැලකිය යුතු ජයග‍්‍රහණයක් අත්කරගත නොහැකි විය. කුඩා මනිපුර් ප‍්‍රාන්තයේ බලය තුන්වැනි වරටත් කොංග‍්‍රස් පක්ෂයට දිනාගත හැකි වුවද අනෙක් ප‍්‍රාන්තවලදී කලින් දිනා ගෙන සිටි ආසන සංඛ්‍යාව හෝ රැක ගැනීමට අපොහොසත්වීම බරපතළ පසුබෑමක් බව පැහැදිලිය. මින් වඩාත් කැපි පෙනෙන්නේ කොංග‍්‍රස් පක්ෂයේ පුනර්ජීවයක් අපේක්ෂා කළ උත්තර් ප‍්‍රදේශයේදී අත්වූ පරාජයයි. බ‍්‍රසීලයේ ජන සංඛ්‍යාවට සමාන ජන සංඛ්‍යාවක් සිටින උත්තර් ප‍්‍රදේශයේ බලය අත්කර ගැනීම ඉන්දියාවේ සමස්ත දේශපාලනයටම බලපාන සාධකයක් වන නිසා සැලකිය යුතු නියෝජනයක් හෝ ලබාගැනීම කොංග‍්‍රස් පක්ෂයේ මතු නායකත්වයට උරුමකම් කියන රාහුල් ගාන්ධිගේ අපේක්ෂාව විය. ඔහුගේ සොහොයුරිය පි‍්‍රයංකා ද ඡන්ද ව්‍යාපාරයට එක්වූයේ පවුලේ උරුමය තහවුරු කිරීමේ අරමුණෙන් වන්නට ඇත. එහෙත් විසුරුවා හරින ලද ප‍්‍රාන්ත සභාවේ ආසන 53ක් දිනාගෙන සිටි කොංග‍්‍රස් පක්ෂයට මෙවර දිනා ගැනීමට හැකිවූයේ ඉන් අඩක් පමණි. 2007 වසරේ පවත්වන ලද ප‍්‍රාන්ත සභා ඡන්ද විමසීමේදී ආසන 403 කින් ආසන 206 ක් දිනාගෙන පාලන බලය අත්කරගත් බහුජන සමාජ පක්ෂයේ මායාවතීට මෙවර දිනා ගැනීමට හැකිවූයේ ආසන 80 ක් පමණි. කැපී පෙනෙන ජයග‍්‍රහණයක් අත්කර ගත්තේ ඇයගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන මුලයාම සිංග් යාදෙව්ගේ සමාජ්වාදී පක්ෂයයි. සමාජ්වාදී පක්ෂයට ආසන 220 ක් පමණ දිනාගත හැකිවනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ට අනෙක් පක්ෂ කිසිවකගේ සහාය නොමැතිව රජයක් පිහිටුවීමට හැකිවනු ඇත. නැවත වරක් මුලයාම්සිංග් ප‍්‍රාන්තයේ මහ ඇමැති පදවියට පත්වීමෙන් ඔහුට නැවතත් ඉන්දියානු දේශපාලනයේ ප‍්‍රමුඛ භූමිකාවක් බවට පත්විය හැකිය. ඒ සමඟම හින්දුත්වය පදනම් කරගත් භාරතීය ජනතා පක්ෂයට විශාලතම හින්දු ප‍්‍රාන්ත රාජ්‍යයේ සැලකිය යුතු නියෝජනයක් හෝ ලබාගැනීමට නොහැකිවීම ඉදිරියේ මධ්‍යම රජයේ බලය අත්කර ගැනීමට යා යුතු දුර පිළිබඳ ඉඟියකි. පසුගිය ප‍්‍රාන්ත සභාවේ ආසන 51 ක් හිමිකරගෙන සිටි භාරතීය ජනතා පක්‍ෂයට මෙවර දිනාගත හැකිවූයේ ආසන 47 ක් පමණි. යම් පමණක සැනසීමක් වන්නේ අකිල් ඩාල් පක්‍ෂය සමග පංජාබයේ පාලන බලයත් තවත් සන්ධානයකින් ගෝවේ බලයත් දිනාගත හැකි වීමය. අකාර්යක්‍ෂමතාව, අයථා පාලනය හා දුෂණය ඉහවහා ගිය පාලනයක් මෙහෙයවූ මායාවතීට මෙවර බලය දිනා ගත නොහැකි වනු ඇතැයි බොහෝ නිරීක්‍ෂක්‍ෂකයින් අනාවැකි පළ කළද කිසියම් දේශපාලන පක්‍ෂයකට ප‍්‍රාන්ත සභාවේ නිශ්චිත බහුතරයක් දිනා ගැනීමට හැකිවනු ඇතැයි කිසිවෙකු අපේක්‍ෂා කෙළේ නැත. ඊට මූලික හේතුව වන්නේ කුලය හා වෙනත් සමාජ බෙදීම් මත පදනම් වූ උත්තර් ප‍්‍රදේශ් දේශපාලනය ඉතාමත් සංකීර්ණ වන නිසාය. පීඩිත සමාජ කොටස් නියෝජනය කරන බහුජන සමාජ පක්‍ෂය හා සමාජවාදී පක්‍ෂය පදනම් වන්නේ දේශපාලන ප‍්‍රතිපත්තිවලට වඩා එම ජන කොටස්වල අයිතීන් හා වරප‍්‍රසාද මතය. සමාජවාදී පක්‍ෂයට යාදෙව් ජන කොටසේ මෙන්ම මුස්ලිම් ජන කොටස්වල සහයෝගය ලැබෙන නිසා එහි ප‍්‍රධාන දේශපාලන බලවේගයක් ලෙස සැලකේ. 2007 පැවැති ඡන්ද විමසීමේදී සමාජවාදී පක්‍ෂයට මුස්ලිම් ජන කොටසේ සහාය නොලැබීමත්, බහුජන සමාජ පක්‍ෂයට උසස් යැයි සම්මත කුලවල සහාය ලැබීමත් මායාවතීගේ ජයග‍්‍රහණයට හේතු විය. සමහර නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙවර මුලයාම සිංග් ගේ ජයග‍්‍රහනයටත්, මායාවතීගේ පරාජයටත් හේතුවී ඇත්තේ එම සාධක දෙක නැවත වරක් ස්ථාන මාරු වීම නිසාය. මායාවතීගේ අකාර්යක්‍ෂම පාලනයෙන් කලකිරීමට පත් උසස් යැයි සම්මත කුලවල සහාය මෙවර ඇයට ලැබුණේ නැත. එමෙන්ම කලින් සමාජවාදී පක්‍ෂයෙන් ඈත්වූ මුස්ලිම් ජන කොටස් නැවත ආකර්ෂණය කර ගැනීමට මුලායම්සිංග්, විශේෂයෙන්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දුන් ඔහුගේ පුත් අකිලේෂ් යාදෙව් සමත් වූයේය. ඉන්දියානු දේශපාලනයේ තීරණාත්මක සාධකය වන හින්දු කලාපයේ හදවත වූ උත්තර් ප‍්‍රදේශ්හි ජාතික මට්ටමේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට සැලකිය යුතු බලපෑමක් කළ නොහැකි වූයේ ඇයිද යන්න වැදගත්ය. මධ්‍යම රජයේ පාලන බලය හිමිකර ගෙන සිටින කොංග‍්‍රස් පක්‍ෂය උත්තර් ප‍්‍රදේශ්හි අහිමිවූ තම බලය නැවත ගොඩනැංවීමට දැඩි උත්සාහයක් ගත්තේය. නේරු පරම්පරාවෙන් පැවත එන රාහුල් ගාන්ධිට උත්තර් ප‍්‍රදේශ් හි ප‍්‍රබල භූමිකාවක් බවට පත්විය හැකි නම් ඔහුට පහසුවෙන්ම ජාතික නායකයෙක් වීමට අවස්ථාව ද විවර වී තිබිණ. එහෙත් නේරු-ගාන්ධි පවුලේ පදනම වශයෙන් සැලකෙන අමෙති හා රායි බෙරලි දිස්ත‍්‍රික්කද මෙවර ඔවුන්ට රැක ගැනීමට නොහැකි  විය. භාරතීය පක්‍ෂයේ උමා භාරති ඇතුළු නායක නායිකාවන් කීප දෙනකු ප‍්‍රාන්ත සභාවට තේරී පත් වුවද එය සෑහීමට පත්විය හැකි තත්ත්වයක් නොවේ. අනෙක් අතට විශිෂ්ට ජයක් අත්කර ගත් නමුත් සමාජවාදී පක්‍ෂයට මුහුණදීමට ඇති අභියෝග සුළුපටු නොවේ. නීතියක් නැති රාජ්‍යයක් වශයෙන් සැලකෙන උත්තර් ප‍්‍රදේශ් හි කලින් තිබූ සමාජවාදී පාලනය යටතේ පැවතියේ ඉතාමත් නරක තත්ත්වයකි. මායාවතීගේ පාලනය යටතේ එම තත්ත්වය තරමක් දුරට හෝ යහපත් අතට පත්වෙමින් තිබිණ. එහෙත් එය මායාවතීට නැවත වරක් බලය ලබාදීමට තරම් හේතුවක් වූයේ නැත. දෙවැනි වරටත් මහ ඇමති පදවියට පත්වෙන මුලයාම් සිංග්ට මුහුණ දීමට ඇති අභියෝගය වන්නේ නීතිය හා සාමය රැකීමට අමතරව යහපත් පාලනයක් ගෙන යෑමය. එය ඡන්ද සටනටත් වඩා තියුණු සටනක් විය හැකිය.

සටහන -මහින්ද හත්තක
මායාවතී සමාජවාදී පක්ෂයේ ජයග‍්‍රහණය සමරන පක්ෂ ආධාරකරුවෝ අගමැති මන් මෝහන් සිං රාහුල් ගාන්ධි



අදහස් (0)

කොංග‍්‍රසය පසුබසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 125 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 681 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site