බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල 98 වැනි වරට, සුපුරුදු පරිදි ලොස් ඇන්ජලීස් නුවර ඩෙල්බි රඟහලේ දී විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි.

ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ ප්‍රධාන චරිතය නිරූපණය කළ පෝල් තෝමස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ ‘වන් බැට්ල් ආෆ්ටර් එනදර්’ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය. හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මානය දිනා ගත්තේ පෝල් තෝමස් ඇන්ඩර්සන්ය.

හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ, ‘සිනර්ස්’චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දුන් මයිකල් බී ජෝර්ඩන්ය. හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘හැම්නෙට්’ චිත්‍රපටය හැඩ කළ ජෙසී බක්ලීය.

හොඳම සහාය නළුවා ලෙස සම්මානය දිනා ගත්තේ ප්‍රවීණ නළු ෂෝන් පෙන්ය. ඒ, ‘වන් බැට්ල් ආෆ්ටර් එනදර්’ චිත්‍රපටය වෙනුවෙනි.  හොඳම සහාය නිළිය ‘වෙපන්ස්’ චිත්‍රපටයේ අපූරු මෙන්ම බිහිසුණු චරිතයකට පණ දෙන ඇමී මෙඩිගන්ය.

හොඳම සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘කේ පොප් ඩීමන් හන්ටර්ස්’ චිත්‍රපටයයි. මෙවර හොඳම විදෙස් චිත්‍රපටය බවට පත්වූයේ නෝර්වේ සිනමා නිර්මාණයක් වන ‘සෙන්ටිමෙන්ටල් වැලියු’ චිත්‍රපටයටය.