
ඉරාන දේශපාලන සහ යුද පිටියේ දැවැන්ත පෙරළියක් ඇති කරමින්, එරට විප්ලවීය හමුදාවේ ‘බසීජ්’ බළඇණියේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වී ඇතැයි පැවැසෙයි.
62 හැවිරිදි රේසා සුලෙයිමානි, පසුගිය වසර හය පුරා ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂාව මෙහෙයවූ ප්‍රධානතම පුරුකක් ලෙස සැලකෙයි. බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි ඝාතනය කිරීමට සමත් වූයේ තම මිසයිල ප්‍රහාරයක් බව ඊශ්‍රායලය පවසා ඇත.
එම ප්‍රහාරයෙන් ඉරාන උපායමාර්ගික කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි ද මියගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් තහවුරු කළේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය 28 වැනිදා ඉරානයට පහර දුන්නේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනී ඝාතනය කරමිනි.
එම ඝාතනයෙන් පසු, ඉරානයට දරුණුතම ප්‍රහාරය ලෙස ඊශ්‍රායලය රේසා සුලෙයිමානි සහ ඉරාන උපායමාර්ගික කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි ඝාතනයට එල්ල කළ මිසයිල ප්‍රහාරය සැලකිය හැකිය. මෙය ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ලැබූ තවත් විශාල ජයග්‍රහණයකි.
ගොලාම් රේසා සුලෙයිමානි 1964 වසරේ දී ඉරානයේ ෆර්සාන් නගරයේ උපත ලැබීය. ඔහු හුදෙක් කාර්යාලයක සිට නියෝග දුන් නිලධාරියකු නොවූ අතර, ඔහුගේ යුද අත්දැකීම් ආරම්භ වූයේ 1980 වසරේ පැවති ඉරාන-ඉරාක යුද්ධයෙනි. 1981 වසන්ත සමයේදී, යන්තම් නව යොවුන් වියේ පසුවූ ස්වේච්ඡා සෙබළෙකු ලෙස ඉරාක දේශසීමාවේ සටන් බිමට පිවිසි ඔහු, පසුකාලීනව ඉරාන විප්ලවීය හමුදාවට එක් විය. බොහෝ දෙනා වරදවා වටහා ගත්ත ද, මොහු 2020 දී ඇමෙරිකානු ප්‍රහාරයකින් මියගිය සුප්‍රකට කසීම් සුලෙයිමානිගේ ඥාතියකු නොවන බව ද කිව යුතුය. පශ්චාත් යුද සමයේදී ඉසෆාන් පළාතේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ගොලාම් රේසා සුලෙයිමානි 2017 දී බ්‍රිගේඩියර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීම් ලැබීය.
යුද භූමියේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ඔහු කැපී පෙනුණි. ඉසෆාන් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා සිටි ගොලාම් රේසා සුලෙයිමානි, ඉරානයේ ඉස්ලාමීය ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා තම නිබන්ධනය සකසමින් සිටි විද්වතෙකි. ඉතිහාසය හැදෑරූ ඔහු, ඉරානයේ නූතන ඉතිහාසය වෙනස් කළ තීරණාත්මක චරිතයක් බවට පත් විය.
2019 දී උත්තරීතර නායක අලි කමේනි විසින් ඔහුව ‘බසීජ්’ බලකායේ නායකයා ලෙස පත් කරන ලදී. ලක්ෂ හතරහමාරකට අධික පිරිසකගෙන් සැදුම්ලත් මෙම බලකාය ඉරාන රජයේ ප්‍රබලතම පලිහ ලෙස ක්‍රියා කළේය. විශේෂයෙන්ම රජයට එරෙහිව පැන නැගුණු විරෝධතා මැඩපැවැත්වීමේදී සුලෙයිමානිගේ නායකත්වය යටතේ බසීජ් බලකාය දැඩි පියවර ගත්තේය. 2019 විරෝධතා, 2022 වසරේ මහ්සා අමිනීගේ මරණයෙන් පසු ඇති වූ කැරලි සහ මෙම 2026 වසරේ ජනවාරියේ ඉරාන ඉස්ලාමීය රජයට එරෙහිව බටහිර උසි ගැන්වීමෙන් හටගත් ජනතා විරෝධතා මර්දනය කිරීමේදී ඔහුගේ මැදිහත්වීම ලෝක අවධානයට ලක් විය. මේ හේතුව නිසාම ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් රැසක් ඔහුට එරෙහිව සම්බාධක පනවා තිබුණි. සුලෙයිමානිගේ නික්මයෑම ඉරානයේ අනාගත ආරක්ෂක පවුරට කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇත්දැයි ලෝකයම විමසිල්ලෙන් පසුවන බව අමුතුවෙන් කිව යුතු නැත.
අලි ලාරිජානි, ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු කථානායකවරයාය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ අලි ලාරිජානි ඝාතනය කිරීමට තම හමුදා සමත් වීම, ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීම සඳහා එල්ල කළ තීරණාත්මක ප්‍රහාරයක් බවය. ඉරාන රජය මෙය ප්‍රතික්ෂේප කර ඇත. ලාරිජානිගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු විසින් ඔහුගේ අත් අකුරින් ලියන ලද සටහනක් ප්‍රකාශයට පත් කර ඇත. එය ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව පෙන්වීමට ගත් උත්සාහයක් ද යන්න සැකයකි.
බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික සාකච්ඡා මෙහෙයවූ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ලාරිජානි, අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉකුත් සිකුරාදා (13) පැවති අල්-කුඩ්ස් දින රැලියේදීය. ඉරානයට එරෙහිව එල්ල වන ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණ හමුවේ අසල්වැසි ගල්ෆ් කලාපීය ඉස්ලාමීය රටවල් නිහඬව සිටින්නේ ඇයිදැයි පසුගිය දින කීපයේ එම රටවලට දොස් නැගුවේ ද ලාරිජානිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd