ඇමෙරිකන් නියෝජිතයන් පිරිසක් සහ නයිජර් රාජ්‍යයේ බලය අල්ලා ගත් හමුදා නායක මොවුසා සලාඕ බර්මෝ අතරේ හමුවක් නියාමේ අගනුවරදී පැවැත්විණි.

එම හමුවට හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූ බව පැවැසෙයි. ඇමෙරිකන් නියෝජිතයන් ඉල්ලා සිටියේ, අත්අඩංගුවට ගත් නයිජර් ජනාධිපති
මොහොමද් බසූම් වහා නිදහස් කරන ලෙසය.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු නයිජර් රාජ්‍යයට ලබා දෙන සියලු ආධාර නැවැත්වීමට ද ඇමෙරිකානු රජය තීරණය කර තිබේ.

නයිජර් හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය ජූලි 26 වැනිදාය.  ඒ, ජනාධිපති ආරක්ෂක අංශ සමඟ එක් වී, ජනාධිපති බාසූම් අත්අඩංගුවට ගනිමිනි. මෙය නයිජර් රාජ්‍යයේ සිදුවුණු හත්වැනි හමුදා කුමන්ත්‍රණයයි. නයිජර් යනු අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි.