රෝද තුනේ දුප්පතාගේ හිතවතා නව යුගයට ගැලපෙනසේ නවීකරණය කර ඇත්තෙකි ඉන්දියා ජාතික ජී.අන්නදුරෙයි.

28 හැවිරිදි අන්නදුරෙයි චෙන්නායිහි වාසය කරන ත්‍රීරෝද රථ රියැදුරෙකි. ඔහු තම රියැදුරු සගයින්ගෙන් වෙනස් වන්නේ ගමනට අමතරව තම මගියාට සළසන පහසුකම් වලින්ය.

පටන් ගැනීම පත්තර හා සගරා වලිනි. ත්‍රීරෝද රථයේ වහල හා මගී අසුන දෙපස ඒවාට වෙන්වී ඇත.ගමනෙහි යෙදෙන අතරතුර පුවත්පත් කියැවීමටත් නොයෙකුත් දෙස් විදෙස් සගරා වල සදහන්ව ඇති ඕපාදූප කියවමින් රසවිදීමටත් මගීන්ට හැකිය.

කියවන්නට කම්මැලි මගීන්ද අන්නදුරෙයි නොසළකා හැර නැත.ඔහුගේ ත්‍රිරෝද රියෙන් රැහැන් රහිත ක්‍රමයට අන්තර්ජාල පහසුකම් සපයා දී තිඛෙන අතර මගීන් හට ඔවුන්ගේ දුරකථන හා ලැප්ටොප් පරිගණක භාවිතා කර ගාස්තුව ගැන වදවීමකින් තොරව රිසි සේ අන්තර්ජාලයේ සැරිය හැක.මගියෙකු අත එවන් උපකරණයක් නැති නම් එවැනි පුද්ගලයින්ට ගමනාන්තය තෙක් ලබා දීමට අන්නදුරෙයි කුඩා සාක්කු පරිගණකයක්ද ලග තබාගෙන සිටී.

දුරකථන ආරෝපණය කර ගැනීමට,රූපවාහිනිය නැරඹිීමට,ගුවන් විදුලියට සවන් දීමට ආදී පහසුකම්ද මගිීන්ට සපයා දී ඇත.

‘මගීන්ගේ පහසුව තමයි මට වැදගත්.ඔවුන්  මම සළකන්නේ දෙවිවරු වගේ‘අන්නදුරේ කියයි.

මව්වරුන්ගේ දිනයදාට,ආදරවන්තයින්ගේ දිනයදාට,හා ඔහුගේම උපන්දිනය දාට අන්නදුරෙයිගේ සේවය නොමිලයේය.

තවද වැඩිහිටි පුද්ගලයින්ගෙන්, ගුරුවර ගුරුවරියන්ගෙන් ඔහු ප්‍රතිපත්තියක් ලෙසම මුදල් අයනොකරයි. දෛනිකව ඔහුගේ සේවය ලබාගන්නා මගීන්ගෙන් අය කරන කුලියද සැළකිය යුතු තරමින් අඩු කිරීමට ඔහු කටයුතු කරයි.

‘අමාරුයි තමයි.ඒත් එහෙම කියලා ඒ වගේ පුද්ගලයින්ගෙන් මුදල් අය කරගන්න මම කැමති නැහැ.‘ ඔහු කියයි.

රථය ධාවනයෙන්  උපයන ආදායමින් කොටසක් හේ වැය කරන්නේ වීදි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමටය.මේ වන විට ඔහු එවන් දරුවන් තිදෙනෙක්ම පාසැල් වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.

‘තවත් දරුවන් 10 දෙනෙක් තෝරගෙන ඔවුන්වත් පාසැල් වෙත යොමුකරවන්න අදහසක් තියෙනවා‘ අන්නදුරෙයි කියයි.

තම ආදරණීය ත්‍රීරෝද රථයට ඔහු දැඩිසේ ඇලූම් කරයි.එයත් ඔහුගේ සේවය ලබාගන්නා මගීනුත් තරම් ඔහු සැළකිලිමත් වන වෙනත් දේවල් නැත.

‘මේ තත්ත්වයට මගේ ත්‍රීරෝද රථය ගොඩනගාගන්න සෑහෙන කලක් ගියා.පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරලා තමයි මේ සියල්ල මම කළේ.එවායින් ප්‍රයෝජන ලබන්නේ මගේ මගියෝ. එහෙමයි කියලා ඔවුන්ගෙන් අය කරන ගාස්තුවේ වෙනසක් මම කරන්නේ නැහැ.ඔවුන් සතුටින් මගෙත් එක්ක ගමනේ යෙදෙනවානම් මට වුවමනා එච්චරයි‘ අන්නදුරෙයි පවසයි.