
දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වී, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු, යුක්රේන රණ විරුවකු බව පවසමින්, නාසි හමුදා සොල්දාදුවකු පාර්ලිමේන්තුවට ආරාධනා කර, ඔහුට ගෞරව කිරිමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායක ඇන්තනි රෝටා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
කතා නායකවරයා, 98 හැවිරිදි, යුරොස්ලෝව් හුන්කා නමැති එම නාසි හමුදා සොල්දාදුවා පාර්ලිමේන්තුවට ආරාධනා කර තිබුණේ පසුගිය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇමැතීමට පැමිණි අවස්ථාවේදීය.
රුසියාවට එරෙහිව නිර්භීත අයුරින් සටන් වැදුණු යුද විරුවකු යැයි යුරොස්ලෝව් හුන්කා හඳුන්වා දීමට කතානායක ඇන්තනි රෝටා කටයුතු කළේය. ඉන්පසු කතා නායකවරයා, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු සෙසු මැති ඇමැතිවරුන් පමණක් නොව, ආරාධිත අමුත්තකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සිටි යුක්රේන ජනාධිපතිවරයා ද අසුන්වලින් නැගිට යුරොස්ලෝව් හුන්කා ට ගෞරව දැක්වීමට කටයුතු කළේය.
පසුව අනාවරණය වූයේ යුරොස්ලෝව් හුන්කා රුසියාවට එරෙහිව සටන් කළ රණ විරුවකු නොව, නාසි සංහාරයට දායක වූ සොල්දාදුවකු බවය. යුරොස්ලෝව් හුන්කා නාසි හමුදා නායක හයිනරික් හිම්ලර්ගේ හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකි.
මේ බව අනාවරණය වූ සැණින් කතානායකවරයා සමාව ඉල්ලීමක් ද කළේය. ඔහු කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඉන්පසුවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කියා සිටියේ එය රටටම නින්දාවක් වූ බවය. දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදාවට සම්බන්ධ සොල්දාදුවකු රණ විරුවකු යැයි පවසමින්, ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ගෞරව කිරීම සමස්ත කැනඩාවටම ලැජ්ජාවක් බව අග්‍රාමාත්‍ය ටෲඩෝ පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට ශ්‍රිලංකාවේ දුම්මල ගහලා එලෙව්වත් මේ කතානායක නම් යන්නේ නැහැ