IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


රට ගොඩනගන්න ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහොතක්

අප්‍රියෙල් කැරැල්ල මෙරට මෑත කාලීන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ජන සම්මතවාදී ආණ්ඩු ක්‍රමයකට විරුද්ධව ආයුධ සන්නද්ධ අරගලයක් පළමුවෙන් වාර්තා කෙරෙන්නේ 1971 දී ය. එතැන් සිට අද දක්වා මෙරට ජන සමාජය නොසන්සුන්ය. දෙවැනි කැරැල්ලත්, මරාගෙන මැරෙන ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වූ උතුරේ තරුණයන්ගේ විප්ලවයත් ප්‍රබල සිදුවීම් අතර තිබේ. අනෙක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයයි.

මෙම සිද්ධිවලින් අපට ඉගෙනගත හැකි පාඩමක් තිබුණි. සිද්ධි අමතක කරන අප නැවත නැවතත් අතවනන්නේ විනාශයකටය. උණුසුම්, තරුණ රුධිරය කෑගසා කියන්නට උත්සාහ කරන ලද පණිවුඩය අපට වැටහී නැත. තව තවත් ආගාධයට, තව තවත් අනතුර වෙත ගමන් කරන අප සියලු දෙනා අනාගතයේ දී වගඋත්තරකරුවන් වනු ඇත. සමාජ පරිවර්තනයක්, යහපත් අනාගතයක්, යුක්තිගරුක පාලනයක් ඉල්ලන ජනී ජනයා ඉදිරියේ නිහඬව සිටිය නොහැක.

ඉතිහාසයේ නොතිබුණ, දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් අප අභිමුවෙහි ඇත. බලය සඳහා කෑදර දේශපාලන ක්‍රමය මෙහි අභ්‍යන්තරය වටහා ගන්නට උත්සාහ නොකරන බව පෙනේ. දේශපාලනඥයන් වටා සිටින, දේශපාලනඥයන් බලයට පත්කර ප්‍රශ්න විසඳාගන්නට බලන පටු ආත්මාර්ථකාමීන්ට මෙම බරපතළ ව්‍යසනය දැනෙන්නේ නැත.

ක්‍රමය අනාරක්ෂිත බව දැන ගත යුතු බුද්ධිමත් ජන කොටස තේරුම්ගත නොහැකි නිහඬතාවකය. සාමාන්‍ය ජනතාව දේශපාලනඥයන්ගේ ඝෝෂාකාරී හඬවල්වලට නතුව මුසපත්ව සිටිති. මෙතැනින් ඔබ්බට ගමන් කිරීමට බරපතළ පරිවර්තනයක් අවශ්‍යය. පුළුල් දර්ශනයක් ගොඩනගා ගත යුතුය. නායකත්වය කාගේ ද යන්න වැදගත් නැත. ගැළපෙන ක්‍රමයක්, එකතුවී ගොඩනගන සැලැස්මක් ඉදිරියේ අප සියලු දෙනා එකතු විය යුතුය. ජනතාව ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකකි. ගතානුගතික ක්‍රමය වෙනස් කළ යුතු බවය.

බෙදීම තුළ පවතින අසාර්ථකත්වය 

දකුණේ සහ උතුරේ සටන් අසාර්ථක වීම තුළ අද පවතින අර්බුදයට සාක්ෂියකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ත්‍රස්තවාදය පරාජය කරන්නට සමත්වීම හැදෑරිය යුතු වැදගත් කාරණයකි. කැරැලි කණ්ඩායම් අසාර්ථක වීම කෙරෙහි ඔවුන්ගේ බෙදීම් බලපා තිබේ. ඉතාම දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට වර්ධනය වූ එල්.ටී.ටී.ඊ.ය, පසුව කොටස්වලට කැඩී ගිය අතර බලය පිරිහී ගියේය. ත්‍රස්තවාදයෙන් බැටකමින් සිටි ජන සමාජයේ අධිෂ්ඨානශීලී පිරිස එක මිටට එකතුවීම ත්‍රස්තවාදය පරාජය කරන අවසන් සටනේ ප්‍රබල ශක්තිය වූ බව සඳහන් කළ යුතුය. කල්ලිවලට වෙන්වුණ පසු පාවාදීම් බහුලය.

කණ්ඩායමක් තුළ පැවැතිය හැකි අසමගිය පරාජය ඉක්මන් කරයි. දකුණ එකතු වූ අතර ත්‍රස්තවාදය පරාජය කරන එක අරමුණට පෙළගැසිණ. ගැම්මක් ඇති විය. ජන සමාජයට ජවය ලැබුණේ එක තීරණාත්මක මොහොතකය. එම මොහොත ත්‍රස්තවාදය පරාජය කරන හැරවුම් ලක්ෂය විය. ගැරහුම්, විවේචන, ජාත්‍යන්තර බලපෑම් හෝ විරුද්ධවාදීන්ගේ මත නොසලකා නොනැවතී ඉදිරියට ගිය බව මතක් කළ යුතුය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකය. කිසිදා නොතිබුණ අගහිඟකම්වලින් ජනතාව පීඩාවට පත්ව සිටිති. බඩු මිල විශාල ලෙස වැඩි වී තිබේ. ඉන්ධන හා විදුලිය හිඟය දරාගත නොහැක. එදිනෙදා පැවැත්ම අවුල් ජාලයක බව පැහැදිලිය. මෙම ව්‍යාකූල තත්ත්වය මැද පවා රට තුළ පවතින අසමගිය කනගාටුදායක තත්ත්වයකි. රටේ ආර්ථිකය මුහුණ දී ඇති භයානක ඉරණම අපට වැටහෙන්නේ නැත. ප්‍රපාතය අභිමුවෙහි සිටින අප එහි ගැඹුර හා එහි වැටෙන ආකාරය ගැන කරන තර්ක ඉතා විප්‍රකාරය.

ජාතියේ ගැලවුම්කාරයා බවට පත්වීමට ඇති තරඟය ජුගුප්සාජනකය. දරුණු ආර්ථික අර්බුදයක් තුළ එක පුද්ගලයකුට, එක කණ්ඩායමකට විසඳුමක් නැත. සමාජයේ සෑම කොටසක්ම අවසාන උත්තරයක වැදගත් කොටස්කරුවෙකි. ආර්ථිකය නැවත ගොඩනගන්නට සුළු පරිමාණ නිෂ්පාදකයාගේ සිට ජාත්‍යන්තරයෙන් එන ආයෝජකයා පවා අවශ්‍යය.

ආර්ථිකයක දැවැන්ත දැති රෝද නැවත කැරකෙන්නට සෑම ඇණ මුරිච්චියකම ශක්තිය වුවමනා කෙරේ. විදේශීය ආයෝජනවලට බය ඇතිකරන දේශීය ව්‍යවසාය බෙලහීන කරන ක්‍රමයකින් අලුත් රටක් හැදෙන්නේ නැත. කුමන්ත්‍රණ හෝ ජාත්‍යන්තර ප්‍රජාව රට අල්ලා ගන්නට කරන වෑයම ගැන ඇතිකරන විහිළු කතාවලින් රට ගොඩනැගිය හැකිනම් පසුගිය දශකය තුළ ලෝකයේ හොඳම රට ආසියාවෙන් නිර්මාණය වනු ඇත.

වෙනම කැරකෙන්නට උත්සාහ කරන දැති රෝද

ශ්‍රී ලංකාව අවස්ථා අහිමි කරගත් සමාජයකි. ඉතිහාසයේ සිට නොයෙක් අවස්ථාවල රට ගොඩනගන අවස්ථා උදා වූ බව මතක් කළ යුතුය. ආර්ථිකය හදන ඉතාම ප්‍රායෝගික ක්‍රම නොයෙක් වර පෙන්වා දී ඇති බව ද සිහිපත් කිරීම අවශ්‍යය. විවෘත ආර්ථික ක්‍රමය තුළ වෙනත් අතුරු මාර්ග නැත. 

පසුගිය ආණ්ඩු ගණනාවක් තමන්ගේ අභිමතය පරිදි ක්‍රම අත්හදා බලා ඇත. ජනතාවට සහන දෙන, ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන බව කියන අසාර්ථක ක්‍රමවලින් රට කැඳවාගෙන ඇති ස්ථානය අප සියලු දෙනාටම පැහැදිලිව පෙනේ. 

කුඩා රටක, දූපත් මානසිකත්වයක පැවැත්ම රටක් උපද්දවන්නේ නැත. සමාජ ගෝලීයකරණය අලුත් දෙයක් නොවේ. ගෝලීයකරණයෙන් ලබා ගත හැකි අවස්ථා ගැන රටට අවබෝධයක් අපට ඇත. ලෝකයේ අනෙක් රටවල සිදුවන දේ නොදන්නා අය නොවෙති. දියුණු හා දියුණුවෙමින් පවතින රටක වාසය කර අත්දැකීම් ඇති පිරිස බහුලය. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කර ආපසු එන පිරිස ආශ්චර්යය දකී. එම රටවල සාර්ථකත්වය, ආර්ථිකයේ ශක්තිය ගැන අත්දැකීම් ඇති අප සියලු දෙනා ආපසු මවුරටට පැමිණි පසු හැසිරෙන ආකාරය තේරුම්ගත නොහැක. 

දේශපාලනඥයන් ද එහි කදිම නිදසුනකි. ලෝකය පුරා විවිධ රටවල සංචාරය කරන දේශපාලනඥයන්ට එම රටවල ක්‍රමය හා ස්වභාවය ගැන අවබෝධයක් නොමැත්තේ නොවේ. ඕනෑම දේශපාලන දර්ශනයක්, මතවාදයක් ආරක්ෂා කරන පක්ෂයකට හෝ පුද්ගලයකුට ලෝකයේ සිදුවන අලුත් දේ ගැන හැදෑරීමක් ඇති බව නිසැකය.

නිෂ්පාදනය, ඉල්ලුම හා සැපයුම ගැන දැනුම තිබේ. හිඟය ඇතිවන ආකාරය, නිෂ්පාදන පිරිවැයට හේතු නොදන්නෝ නොවෙති. දේශපාලනඥයන්ට අවශ්‍ය ජනතාව ගල් යුගයේ තබා ගැනීමටය. යථාර්ථය දැන එයට අනුව තීරණ නොගැනීම අවාසනාවකි. 

ලෝක ආර්ථිකය එකට ගැට ගැසී ඇත. ලොකු රටවල තීරණ කුඩා රටවලට ද බලපාන අතර අවසානයේ දී ජනතාවගේ ජීවිතවලට දැනේ. රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අපට පිටස්තර එකක් නොවේ. තෙල් මිල වැඩිවන විට ලෝකයේ සිදුවන වෙනස්කම්වල තරම අපට මැනැවින් කරුණු පෙන්වයි. 

ඇඟලුම් කර්මාන්තයෙහි ස්වභාවය නිෂ්පාදන තරඟකාරීත්වයට ඇතුළු නොවුවහොත් ඇතිවිය හැකි අවාසි සම්බන්ධයෙන් එක උදාහරණයකි. අපනයනය නොකළහොත් මොනවා හෝ ආනයනය කරන්නට විනිමය නැත. 

අපනයනය සඳහා අපට කළ හැකි ආයෝජනය හිඟ අවස්ථාවක දෙස් විදෙස් ව්‍යවසාය වෙතින් සහාය ලැබිය යුතු බව ඇත්ත කතාවයි.  

කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා අංශවල කළ යුතු සංකීර්ණ ආයෝජන ගැන නොතකා, නොසලකා ක්‍රියා කිරීමෙහි විපාක අපට අත්විඳින්නට සිදුවී ඇත. 

පටු ආකල්ප පතුරුවන අතර අවශ්‍ය අවස්ථාවේ තීරණ ගැනීමට බාධා කිරීම බරපතළ හානියකි. සමාජය වෙත මිථ්‍යා අදහස් පතුරුවා කාවද්දන දේශපාලනඥයන් හා අන්තවාදී පිරිස් නිෂ්පාදන ව්‍යුහය ගැන ඉතාම සාහසික මත නිර්මාණය කර තිබේ. ආයෝජනයට ධනය රහිත, අලුත් තාක්ෂණය නැති ශ්‍රී ලංකාවට ළඟාකරගත හැකිව තිබුණ අවස්ථා අහිමි කර ඇත. වටිනා තීරණ ගත යුතු තැන් මගහරවා තිබේ. 

ජාතික වස්තු, රට විකිණීම වැනි ප්‍රලාප වපුරා ඇත. අපට අවශ්‍ය දේ අපට නිපදවාගත හැක යන මතය ඇති කිරීමෙන් පමණක් නොව, අවිධිමත්ව ඒවා කරන්නට උත්සාහ කිරීමෙන් පසු පාරිභෝගිකයා මත විශාල බරක් පටවා ඇත. අඩුම වියදමකින් අපට නිපදවිය හැකි දේ කරගෙන යන අතර ලෝකයේ අනෙක් රටකින් අඩු මිලට අනෙක් අවශ්‍ය දේ හුවමාරු කරගත යුතුය යන සරල ව්‍යුහය අන්ධකාරයෙහි තබා තිබේ. 

වෙළඳපොළ ක්‍රමයට පටහැනි, පැරණි අත්හැර දැමූ ක්‍රම නැවත නැවතත් අත්හදා බලන්නට නැඹුරු වූ මෙරට පැවැති ආණ්ඩු සමාජය ඉතාම අවුල්කාරී තැනකට තල්ලු කර ඇත. මේවා එක ආණ්ඩුවක විපාක නොවේ. ආණ්ඩු ගණනාවක වැරදි තීරණවල අවසානයකි. මෙම තත්ත්වය දරුණු ආර්ථික ප්‍රපාතයක් කරා රට යොමු කරනවා පමණක් නොව පීඩනයට පත් වූ ජන කොටස් නැවතත් අරගලයකට තල්ලුකර දැවැන්ත පිපිරීමක් කරා යොමු කරන අවදානමක බව තේරුම්ගත යුතුය.

නොනගතය අලුතින් හිතමු

අපගේ විශිෂ්ට සංස්කෘතිය, වැරැදි හදාගන්නට අපට අවස්ථාවක් සපයයි. අලුතින් හිතන්නට, වැඩ අල්ලන්නට නව ප්‍රවේශයක් සම්පාදනය කරයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එනවිට පැරණි වාද බේද අමතක කර අලුත්වීම අපගේ සිරිතකි. අලුත් අවුරුදු සූදානම සඳහා ඇති දුෂ්කරතා කෙසේ වෙතත් රටට නොනගත අවස්ථාවක් අවශ්‍ය කෙරේ. ගමන වරද්දාගෙන ඇති අපට අලුත් උපාය සඳහා සූදානමකට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ප්‍රයෝජනයට ගත හැක. 

ගතානුගතික රාමුවෙන් ඉවත්විය යුතු අතර මංමංකාරය පැත්තකට කිරීම අවශ්‍යය. මා බලයට පත්වුණහොත් රට සංවර්ධනය කරන්නට පුළුවන්ය යන හැඟීම කිසිසේත් ගැළපෙන්නේ නැත. ආත්මාර්ථකාමීත්වය පැත්තකින් තැබිය යුතුය. 

පරිහානියට පත් වූ කාලපරිච්ඡේදයක් අවසානයේ දී අලුත් ආණ්ඩු බලයට පත්කරමින් විසඳුම් සොයන, තවත් අත්හදා බැලීමකට අපට අවස්ථාවක් නැත. අනාගත පරපුර සඳහා නිවහල් ආර්ථිකයක් නිර්මාණය කිරීම අප සියලු දෙනා සතු වගකීමකි. 

බුද්ධිමතුන්, ජාතික හා ආගමික නායකයන් රට වෙනුවෙන් කළ යුතු වගකීම පැහැර හරිමින් සිටින බව සාක්ෂාත් කරගෙන සිටින තරුණ පරපුර හැරී ඇති තැන අපට ඇති තවත් හානියකි. ගෙදරින් ආභාෂයක් නොලැබෙනවිට පැන යන ආකාරයට තරුණයන් ලෝකයේ වෙනත් රටවලට සංක්‍රමණය වන ප්‍රයත්නයකය. මොනවා හෝ කඩදාසි පෙන්වා රට පනින්නට වෑයම් කරති.

මෙම බුද්ධිගලනය රට සංවර්ධනය කිරීමේ කාර්යයේ දී බරපතළ බාධාවකි. දක්ෂ සහ උනන්දුවක් ඇති තරුණ පිරිස ඉවත්ව යන අතර ඕනෑම අභියෝගයකට මුහුණ දී අලුත් ආකාරයකට වෙනස්වෙන්නට හිතන පිරිස අහිමි වීම රටකට කිසිසේත් ගැළපෙන තත්ත්වයක් නොවේ.

රට ගැන විශ්වාසය, රටේ අනාගතය ගැන පැහැදිලි දැක්ම මෙම තීරණාත්මක මොහොතේ දී ඉතාම වැදගත්ය. ශ්‍රී ලංකාව තවමත් ආගාධයේ පත්ලට වැටෙන තැනක නොවේ. මුවදොර අබියසය. පහළටම වැටුණු පසු නැගිටින්නට වැර දරනු ඇත. 

දියුණු වී ඇති සෑම රටක්ම සාගින්නෙන් හා දරිද්‍රතාවෙන් ඉහවහා ගිය පසු, විඳින හිරිහැරවලින් පන්නරය ලබයි. 
ගැලවෙන්නට අවශ්‍ය හෙයින් මහත් ධෛර්යයකින් වෙනස් වූ රටවල් බව දැක්විය යුතුය. වෙනස් විය යුතු ආකාරය ගැන දැනුමක් අවබෝධයක් නොතිබුණ සමහර රටවල, සමාජවල නායකයෝ කෙවිටක් රැගෙන ජනතාව ඉදිරියට ගෙන ගියහ.

තද නීති සහ අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණවලින් අනතුරුව අලුත් යුගයක් උදා කරගත්හ. සමාජය එකතුවී, එකමුතුව තීරණ ගැනීමට අසමත්වන අවස්ථාවක එවැනි පියවර ඇති විය හැක. 
පවතින තත්ත්වය සමාලෝචනය කරන විට මැතිවණ ක්‍රමය හා දේශපාලනය ගැන ජනතාව අතෘප්තිමත්ය. පිළිකුලක සිටී. 

දූෂිත හා අකාර්යක්ෂම පරිපාලන ක්‍රම ගැන වෛරයක පසුවන බව සඳහන් කළ යුතුය. ඇති නැති පරතරය විශාල පීඩනයක් ඇතිකර ඇත. යුක්තිය හා සාධාරණත්වය අහිමි වීම ගැන තද කලකිරීමක පසුවෙයි. පසුගිය ජනාධිපතිවරණ ගණනාවක දී නැවත නැවතත් නායකත්ව අත්හදා බලන ලද අතර ඡන්දය පාවිච්චි කළේ හොඳ කළමනාකරණයකින් යහපත් අනාගතයක් අපේක්ෂාවෙන් බව මතක් කරන්නට අවශ්‍යය. 

කළ යුතු වෙනස්කම් ගැන නැවත මතක් කිරීමක්

සමාජය එකඟ කරගැනීම වැදගත්ය. විශ්වාසය ඉතාම තීරණාත්මක සාධකයකි. රට ගොඩනගන, අපට එකඟවිය හැකි ජාතික සැලැස්මක් ජනතාව හමුවේ තැබිය යුතු අතර එය කරගෙන යන ආකාරය ගැන මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. සැලසුම් පමණක් ප්‍රමාණවත් නැත. 

ඒවා කොටස්වලට බෙදා වගකීම් පවරන්නට අවශ්‍යය. ඉලක්ක සාක්ෂාත් කරගන්නට බලකිරීමක් කළ යුතුය. 
අප සියලු දෙනා සියල්ල එපා වී සිටින කාලයකි. එයින් ගලවාගෙන යුතුකම් හා වගකීම් සඳහා පෙළැඹවීම අවශ්‍ය කෙරේ. විද්‍යාත්මක පසුවිපරම ඉතාම වැදගත්ය. 

අද පවතින ඝෝෂාව ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණයකි. විවිධාකාරයේ මත ඇවිළෙයි. සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් අදහස් මැන බැලීම පසෙක තබන ප්‍රතිවාදීහු දරුණු විවේචනයට නැඹුරුව වර්තමානයේ ප්‍රධාන අංශයකි. නූතන මාධ්‍ය යුගය පවා මෙම ඝෝෂාවලට පුළුල් ඉඩක් සපයයි.

අදහස්වලට වඩා අවුළවන්නට සමත්ය. සමාජ මාධ්‍ය ප්‍රවාහන මත සෘජුව ප්‍රකාශ කරන්නට ඉඩ දී තිබේ. ඒවායෙන් කරන්නේ නායකයන්ගේ න්‍යාය පත්‍රය අවුල් කිරීම බව සිතට ගැනීම සුදුසුය. ගැටුම් ඇතිකර වෙළඳපොළ අයිතිය දිනා ගැනීම බව වටහා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ ගැටලුව සංකීර්ණය. අවස්ථා සම්බන්ධ ප්‍රශ්න තිබේ. දෙමළ හා මුස්ලිම් සමාජවලට වෙනම ගැටලු ඇත. ව්‍යවස්ථාව ගැන දේශපාලනඥයන්ට අදහස් තිබේ. ආගමික හා ජාතිවාදී අන්තවාදය මෙම අංශ මුවහත් කරන බල පෙනේ. 

ආර්ථිකය ගොඩනගා ගැනීම සන්සුන්භාවයක් සඳහා පළමු පියවරකි. ජාතික ආදායම වැඩි කරගත යුතුය. ආදායම හා වියදම පාලනය කරගැනීම අවශ්‍යය. ඒ සඳහා පියවර ගැනීමට අදාළ අංශවලට පැවැරෙන වගකීමකි. 

ආදායම උත්පාදන අලුත් අවස්ථා සඳහා ඉඩ දෙන අලුත් ආයෝජන තෝරාගත හැක. බලශක්තිය ලෝකයේ වඩාත් අවධානය ලක්ව ඇති අංශයකි. 

අඩුම පිරිවැයකින් බලශක්තිය උත්පාදනයට ඇති අවස්ථා සොයන ව්‍යවසායකයෝ ජාත්‍යන්තරයෙහි සිටිති. ඉන්දියාවේ විදුලිය අවශ්‍යතා සඳහා අවස්ථාවක් ඇත. ශ්‍රී ලංකාව වටා ඇති සාගරය, නාවික කේන්ද්‍රය ප්‍රයෝජනයට ගත හැක. 

විනිමය උත්පාදනය හා ණය කළමනාකරණය අනෙක් සලකා බැලිය යුතු වැදගත්ම අංශයයි. මෙහි ලා ජාත්‍යන්තර සහාය වැදගත්ය. ඉන්දියාව හා චීනය හැසිරෙන භූ දේශපාලනික කරුණු ගැන අවබෝධය අපට අවශ්‍යය. ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ආරක්ෂා කරගෙන අපට ගැළපෙන ක්‍රමයකට අනුව ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීම කිසිසේත්ම වහල් භාවයක් නොවේ.

මෙකී මූලික රාමුව සරල බව පෙනෙන නමුත් ඉතාම සංකීර්ණ හා ආයාසයෙකින් ගත යුතු තීරණ බව දැක්විය යුතුය. ඊළඟ ඡන්දය, ජනප්‍රියභාවය වැනි පටු කරුණු පැත්තක තබා තීන්දු ගතහොත් අනාගත පරම්පරාවේ ගෞරවය දිනාගත හැක. අද සිටින දේශපාලන නායකයන් අනාගතය බිහිකරන ලද පරපුර වශයෙන් ඉතිහාසයට එක්වනු ඇත.

මිලින්ද මොරගොඩ



අදහස් (0)

රට ගොඩනගන්න ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහොතක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3857 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3731 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11300 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1881 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 632 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 791 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 463 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site