සොබාදහමේ අපූර්ව ආස්වාදය භුක්තිවිඳීමට හිමිකම් කියන යහන්ගලේ මුත්තගෙයි, බණ්ඩාරේ මුත්තාගෙයි පරපුරෙන් පැවත එන පරම්පරා හය හතක අතීතයකට නෑකම් කියන ගොවි පවුල් 31කට අයත් 95ක් පමණ වන ජනතාවක් පදිංචිව සිටින උඩගලදෙබොක්කගම සුන්දර ගමක් වුවද ජනදිවිය එතරම් සුන්දර එකක් නොවේ. ජනවහරෙහි සඳහන් පරිදි එය දුටුගැමුණු රජ සමය දක්වා ඈත අතීතයකට නෑකම් කියන ගමකි. නකල්ස් කඳුකර පද්ධතියේ මහ වනය මැද පිහිටා ඇත.

උඩගලදෙබොක්ක ගම්මානයට පහළින් යහන්ගල පා මුල පිහිටි නෙළුම්මල නමැති ගොවි ගම්මානය පල්ලේගලදෙබොක්ක ග්‍රාමනිලධාරි වසමේ ගම්මාන ලේඛනයෙන් ඉවත් කිරීමට තරම් සුළි කුණාටුව අකාරුණික වී තිබේ.

මිණිපේ මහ ගොවි ජනපදයේ හසලක සිට හෙට්ටිපොල මාර්ගයේ උඩවෙල හන්දියෙන් හැරී උඩත්තව, පමුණුපුර පාරේ මීගහමඩ ගමට වාහනයකින් ගොස් එතැන් සිට ඉහළ කඳුකරයේ වල් අලි ඇතුළු වන සතුන් ගැවසෙන මහ වනය මැදින් ගලින් ගලට නගිමින් කිලෝ මීටර් තුන හමාරක පමණ අතිදුෂ්කර පා ගමනක් ගිය පසු විශාල ගල් පර්වතයක් හා ගල් දෙබොක්කාවක් මැද හුදකලාවූ මේ අපූරු ගම්මානය හමුවේ.

වයි. එම්. ඒ. ජී. මුදියන්සේ මාමා (54) සිය ගම ගැන අපට මෙසේ සඳහන් කළේ අතීත සිදුවීම්ද සිහිපත් කරමිනි. 

“කළුගල පළාතෙන් දඩයමේ ආපු බණ්ඩාරේ මුත්තයි, යහන්ගලේ මුත්තයි දෙන්නා දඩයමේ යන ගමන් මේ පළාතට අහම්බෙන් වාගේ ඇවිල්ලා තියෙනවා. දඩයම් කිරීමට හොඳ තැනිතලාවක් වගේම ගල් දෙබොක්කාවලින් වටවූ ප්‍රදේශයක් හින්දා මෙහේ නතර වෙලා දෙන්නා තමන්ගේ කාරිය කරගෙන තිබෙනවා. ටික කාලයකට පස්සේ මේ දෙන්නා තමන්ගේ බිරින්දෑවරුනුත් දරුවනුත් අරගෙන ඇවිල්ලා මේ ගමේ ගෙවල් හදාගෙන පදිංවි වෙලා තියෙනවා. ඒ පරපුර තමයි අපි. මේ ගම ඉතා සරුසාරයි. අද අපේ ගමේ පවුල් 31 ක ජනගහනය 95 ක් විතර පදිංචිව සිටිනවා. අතීතයේ 500කට අධික පිරිසක් පදිංචිව සිට තිබෙනවා.

මේ ගම්වල ජීවත්වෙන දරුවොත් අනෙකුත් අය වාගෙම මේ මහ කැලයේ පිපිලා කැලයටම පරවෙලා යන එක තමයි අපිට තිබුණු විශාලම දුක. මේ දුකට පිහිට වෙන්නට කෙනෙක් නැති කමයි අපිට තියෙන අනෙක් ප්‍රශ්නය. අපි ඉල්ලන්නේ මේකට විසඳුමක් ලබා දෙන්න කියලයි. අපේ අය පීඩාවට පත්කරන විශාලම ගැටලුව තමයි මාර්ග ප්‍රශ්නය. ලෙඩක් දුකක් හැදුණම ලෙඩා ගෙන යන්නේ ලණු ඇඳක හෝ පුටුවක තියලා බැඳලා දෝලාවකින් ඇරගෙන යනවා වගේ කර බරින් හරිම අපහසුවෙනුයි. අපේ ගමේ අයගේ ජීවන ගමනටත් දරුවන්ගේ අනාගතයටත් මේ පාරේ ප්‍රශ්නය තදින්ම බලපාලා තියෙනවා. අපේ අයට ස්ථිර ආදායම් මාර්ග නැහැනේ. ගමේ ඉන්න සියලුම දෙනා ගොවිතැනින්  ජීවත් වෙන්නේ. ගොවිතැන කිව්වත් හේන් ගොවිතැන තමා ප්‍රධාන වන්නේ. වර්ෂාකාලයට වැඩ කරන කුඹුරු ටිකක් තියනවා. මේවාගෙනුත් හරි හමන් ආදායමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන අස්වැන්න විකුණාගන්න නම් ඒවා පහළ කඩයක් තියෙන දිහාවකට අරගෙන යන්න ඕනෑ. ඒකත් ඉතිං කර බරින් තමයි අරගෙන යන්නේ. බර කියල කොච්චර අරගෙන යන්නද? එහෙම අරගෙන ගියා කියමුකෝ. මුදලාලි අපේ බඩු ඉල්ලන්නේ කුණු කොල්ලෙට. අපි ආපහු මේවා ගමට අරගෙන යන්නයෑ. ඒ හින්දා මුදලාලි ඉල්ලන මුදලකට අරගෙන යන දේවල් දීලා ඒ කඩෙන්ම ගෙදරට ඕන තුන පහ ඇතුළු බඩු ටිකත් අරගෙන ගෙදර එනවා. හරි හමන් ආදායමක් නැති නිසා අපිට ගෙයක් දොරක් හදාගන්නට හොඳ ඇඳුමක් ගන්නට අපිට වත්කමක් නෑ. ගමට පාර නෑ වගේම විදුලිය නෑ. ගෙවල් රාත්‍රියට ආලෝක වෙන්නේ කුප්පි ලාම්පුවෙන්. ස්ථිර නිවාස නැහැ. වැසිකිළි නැහැ. බොන්න පිරිසිදු වතුර නැහැ. ගමේ අය බොන්නේ ඉහළ කඳුකරයෙන් ගලා ගෙන කඳුරුවල එන වතුර. මේවා පිරිසිදු නැහැ. ඉහළ කැළෑව හෝදාගෙනයි වර්ෂා ජලය පහළට එන්නේ. වනාන්තරයේ මැරුණු සත්තුන්ගේ මල කුණු. ඒ සත්තුන්ගේ මල පහ සහ ගස්වලින් වැටෙන දිරා ගිය අතු සහ කොළත් සමඟයි. මේ ගමේ අයත් ආසයි රටේ අනෙක් පළාත්වල අය ඉන්නවා වගේ හොඳ විදුලිය තියෙන ගෙදරක ඉන්න. සමහර හීන හැබෑ වෙනවා. ඒ වුණාට අපේ අයගේ මේ හීන හැබෑ වෙන්නේ නැහැ. ඒත් අපි සතුටින් මේ ගමේ ජීවත් වුණා. නමුත් ඒ ගමත් අපිට දැන් අහිමි වෙන්නයි යන්නේ.”

ගමේ යොවුන් සමිතියේ සභාපති වයි.එම්. යූ. ජී. එස්. යාපාරත්න   (31) මෙසේ පැවසීය. 

“අපේ ගම පිහිටලා තියෙන්නේ රාවණා රජතුමන් වාසය කළ බව කියන යහන්ගලට ආසන්නයේයි. රටේ අනෙකුත් පළාත්වල ජනතාව භුක්තිවිඳින පහසුකම් මේ ගමේ අයට භුක්ති විඳීමට වරම් ලැබිලා නැහැ. ඒ ඇයිද කියන්න අපි තවම දන්නේ නැහැ. හැබැයි අනෙක් පළාත්වල ජනතාව තුළ නැති ගුණධර්ම සාරධර්ම නම් අපේ ගමේ තවමත් එදා වාගේම පවතිනවා. ඒක අපිට හරිම ආඩම්බරයක්. මේ සුන්දර ගම්මානය අද අපිට අහිමිවෙන ගම්මානයක් බවට පත් වී තිබීම හරිම කනගාටු දායකයි. ගමට පහළින් තිබුණු අපේම නෑදෑයෝ පිරිසක් හිටපු නෙළුම්මල ගම නාය ගියේ ගමේ හිටපු පවුල් 13ක 31 දෙනෙකුගේ ජිවිතත් අහිමි කරමිනුයි. අපේ ගමේත් යම් ස්ථාන කීපයක් පුපුරා තිබෙන බව ගොඩනැගිලි පර් යේෂණ අංශයෙන් ආපු මහත්තුරු කියා තිබෙනවා. ඒ වාගේම තමයි සුළි කුණාටුව ආපු දාට පහුවෙනිදාම ඒ කියන්නේ 28 වෙනිදා ගමේ අයට ඉවත්වෙලා පමුණුපුර පාසලටත් උඩත්තව පාසලටත් යන්න කියලා හසලක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් කළා. ඒ අනුව අපේ අය ඒ ඒ පාසල්වලට ගියා.

මේ හේතුවෙන් ගමේ පාසලේ අධ්‍යාපනය හැදෑරූ දරුවන් 13 දෙනෙකු පමුණුපුරය ප්‍රාථමික විද්‍යාලයට හා උඩවෙල බණ්ඩාරනායක විද්‍යාලය වෙත අධ්‍යාපන කටයුතු සඳහා ඉකුත් 16 වෙනි දින සිට ඇතුළත්  කළා. පළමු වසරේ සිට පහ වසර දක්වා අධ්‍යාපනය හැදෑරූ දරුවන් 04 දෙනා පමුණුපුරය ප්‍රාථමික විද්‍යාලයටත් හය වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය හැදෑරූ දරුවන් 09 දෙනා උඩවෙල බණ්ඩාරනායක විද්‍යාලයටත් ඇතුළත් කර තිබෙනවා.

තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා විසින් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක මහතා පමුණුපුරය ප්‍රාථමික විද්‍යාලයටත් සෙසු ගුරුවරුන් තිදෙනා උඩවෙල බණ්ඩාරනායක විද්‍යාලයටත් තාවකාලික පදනම යටතේ අනුයුක්ත කළා.

දැන් මේ ගමේ අයට විශාල ගැටලුවක් තිබෙනවා. හේනේ, කුඹුරේ හෝ ගෙවත්තේ බව භෝගයක් වගා කරගෙන එයින් ලැබෙන අස්වැන්නෙන් තමයි මුළු අවුරුද්දම ජීවත් වුණේ. ඊට අමතරව ඇතැම් කණ්ඩායමක් ප්‍රදේශයේ තිබුණු කිතුල් ගස් ආශ්‍රිතව කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනයේ යෙදුණා. මෙයිනුත් ඔවුන්ට යම් සැලකිය යුතු ආදායමක් ලැබුණා. දැන් තියෙන ගැටලුව තමයි වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගියාම මෙම ආදායම් මාර්ග ඇහිරෙනවා. මේ වෙන විටත් ගම්මානය වනඅලියා විසින් සිය නිජ භූමිය බවට පත්කරගෙන සිටිනවා. 

මේ වනඅලි රංචු එම ගමට කඩා වැදී භව බෝග විනාශ කරනවා. ඇතැම් නිවාස කඩා බිඳ දමා නිවාස තුළ තිබූ කුරහං, බඩඉරිඟු ඇතුළු විවිධ ධන්‍ය වර්ග පිටතට ගෙන ගිල දමනවා. ඇතැම් නිවාසවල තිබූ වටිනා බඩු බාහිරාදිය සොර සතුරන්ගේ ග්‍රහණයට හසු වී තිබෙනවා. වගකිව යුතු අංශ වෙත පැමිණිලි කළා. මෙම තත්ත්වයට තාවකාලික විසඳුමක් ලෙස එම නිවාසවල තිබූ වියළි ආහාර වර්ග ඇතුළු වෙනත් වටිනා දෑ දැනට ඔවුන් පදිංචි තාවකාලික නිවාස කරා ආරක්ෂිතව රැගෙන ඒම සඳහා හසලක පොලිසියේ නිලධාරින්ගේ හා හසලක වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක මහින්ද විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනීමට මිනිපේ ප්‍රාදේශීය ලේකම් චමිලා විජේරත්න මහත්මියට සිදුවුණා.

වනජීවී දෙපාර්තමේන්තුවේ හසලක අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. මහින්ද විජේසිංහ මෙසේ කීය. 

“ගම්වාසීන් ගමෙන් ඉවත් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සිදුවුණා. ඉවත්වන ජනතාවට අවශ්‍ය මාර්ග ආරක්ෂාව සලසා දෙන්න අපත් හසලක පොලිසියත් කටයුතු කළා. මේ ගැමියන්ට පමුණුපුර ගොවි ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර දෙනවා නම් ඔවුන් කැමති බව කියනවා. ඒකට හේතු කීපයක් තිබෙනවා. පමුණුපුර ගොවි ගම්මානයේ පදිංචි වෙලා සිටින්නේ. මේ ගමේම හිටපු මොවුන්ගේ ඥාති පිරිසක්. අනෙක තමයි මොවුන් හුරුවුණු ජීවන රටාව මේ ගමේ තිබෙනවා. මෙහි ගහ කොළ හා ගැවසෙන සතා සීපා හොඳට හඳුනනවා. මොවුන්ගේ ආර්ථිකයටත් යම් යහපතක් වේවි. 

මිණිපේ පරිසරවේදී මංජුල පියසේන මෙසේ කීය.

මේ අයගේ විශේෂ ඉල්ලීමක් තමයි ගම්මානය අතහැර වෙනත් ප්‍රදේශයකට ගියත් ගමේ තිබෙන වටිනා සම්පත් භුක්ති විඳීමට අවසරය ලබා දෙන ලෙස.  ගමේ නිෂ්පාදනවලට නිසි මිලක් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර දෙන්නැයි ඔවුන්‍ ඉල්ලනවා. විවිධ ධාන්‍ය වර්ග මේ අය වගා කරනවා. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. මේ නිෂ්පාදන වැඩි දියුණු කරලා මේ අයට හොඳ වෙෙළඳ පළක් සකස් කර දෙනවා නම් තමන්ගේ අත මිටත් සරුවෙනවා. අපිත් කියන්නේ ඒ යෝජනාව පිළිබඳව  බලධාරීන්ගේ අවධානය යොමු වීම සුදුසු බවයි. 
මිණිපේ ප්‍රාදේශීය ලේකම් චමිලා විජේරත්න මහත්මිය පැවසුවේ ගම්මානය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වී තිබෙන බවය. ආපදා සම්බන්ධයෙනුත් ගැමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙනුත් සාධාරණ තීන්දු ගන්නා බව ඇය පැවසුවාය. අසරණ වූ ගැමියන්ට අපහසුතාවක් හෝ අසාධාරණයක් වෙන්නට අපි ඉඩ නොතබන බව ඇය පවසයි.

හසලක සුනිල් ඒකනායක