සබන් හෝ විෂබීජ නාශක දියර සම්බන්ධ දැන්වීම්වලින්, ඒ ඒ සබන් වර්ගය හෝ විෂබීජ නාශක දියර වර්ගය හෝ ප්‍රසිද්ධියට පත් කරන්නේ කෙසේද? සාමාන්‍යයෙන් වෙළෙඳ දැන්වීම් නිර්මාණය වන්නේ, කෙසේ හෝ පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමටය. සබන් හෝ විෂබීජ නාශක දියර විකිණීම සිදුවන්නේ, සියයට 99.9 ක් විෂ බීජ මරා දමනවා යැයි කියමිනි. මෙය විද්‍යාත්මකව ඉතා නිවැරදි ප්‍රකාශයකි. කිසිම ආකාරයේ සබන් හෝ විෂබීජ නාශක දියරයකට සියයට 100 ක් විෂබීජ විනාශ කළ නොහැකිය. මේ කියන්න සූදානම් වන්නේ, ඉතිරි දශම 1 ගැනය.

ලොව කිසිදු පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයකට සියයට 100 ක් විෂබීජ විනාශ කළ නොහැකි වන්නේ ඇතැම් බැක්ටීරියා අතිශය කටුක තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙස පරිණාමය වී තිබීමය. ඉතිරි දශම එකට අයත් බැක්ටීරියාවක් හඳුනාගැනීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. මෙම බැක්ටීරියා විශේෂය “විටර්සිකෝකස් පොයෙනිසිස්” ය.  

ඒවායේ බීජාණු - “ආරක්ෂිත ආවරණ” තනා ගැනීමක් කරයි. එවිට සබන්වලින් හෝ විෂබීජ නාශක දියරවලින් හෝ ඒවා විනාශ කළ නොහැකිය. එසේ වුවත් සියයට 100 ක්ම විෂබීජ රහිත තත්ත්වයක් සාමාන්‍ය පිරිසුදු කිරීම්වලදී ඇති කළ නොහැකි වුවත්, සබන් යොදා නිවැරදිව අත් සේදීම මගින් රෝග වැළැක්වීමට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාගත හැකි බව ද සිහියේ තබා ගත යුතුය.

අභ්‍යවකාශ ගමන් බිමන් ගැන සිතන්න. අනාගතයේ දිනෙක අඟහරු හෝ වෙනත් ඈත ග්‍රහලෝකයක ජීවය සෙවීමට පෘථිවියෙන් පිටත්ව යන අභ්‍යවකාශ යානයක් තුළ ගගනගාමීන්ට අමතරව තවත් අමුත්තකු හොරෙන් ගමන් කළොත් කුමක් වේවි ද? මෙය අද විද්‍යාඥයන්ට ඇති ලොකුම ගැටලු‍වකි. ටර්සිකෝකස් පොයෙනිසිස් බැක්ටීරියාව ලොවට හෙළි කළ හුස්ටන් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පෙන්වා දෙන අන්දමට, ටර්සිකෝකස් පොයෙනිසිස් අතිශය පිරිසිදු මට්ටමින් පවත්වාගෙන යන අභ්‍යවකාශ මධ්‍යස්ථානවල පවා ජීවත් වෙයි. මෙම බැක්ටීරියාව සතු සුවිශේෂීම දක්ෂතාව වන්නේ, මියගියා යැයි රඟපෑමට ඇති හැකියාවය. තමන්ට හිතකර පරිසරයක් නොමැති විට හෝ දැඩි විෂබීජ නාශක හමුවේ හෝ මෙම බැක්ටීරියාව තම පරිවෘත්තීය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවත්වා දමයි. බැක්ටීරියාව ගැඹුරු නිද්‍රා තත්ත්වයකට පත් වෙයි. ආහාර නැතිව අධික විජලනය හමුවේ හෝ දැඩි රසායනික ද්‍රව්‍ය හමුවේ වුවද නොනැසී පවතින බැක්ටීරියාවට මේ අයුරින් දශක විශාල සංඛ්‍යාවක් ජීවත්විය හැකිය.

ලොව කිසිදු පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයකට සියයට 100 ක් විෂබීජ විනාශ කළ නොහැකි වන්නේ ඇතැම් බැක්ටීරියා අතිශය කටුක තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙස පරිණාමය වී තිබීමය. ඉතිරි දශම එකට අයත් බැක්ටීරියාවක් හඳුනාගැනීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. මෙම බැක්ටීරියා විශේෂය “විටර්සිකෝකස් පොයෙනිසිස්” ය. 

විද්‍යාඥයන්ට අනුව පෘථිවියේ පිරිසුදු ම ස්ථාන ඇත්තේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුළය. එවැනි පිරිසුදු ස්ථානවල පවා මෙමිටර්සිකෝකස් පොයෙනිසිස් දකින්නට ලැබෙයි. පළමුවරට විද්‍යාඥයන්ට, ෆ්ලොරිඩා සහ ප්‍රංශ ගයනා හි අභ්‍යවකාශ යානා එකලස් කරන මධ්‍යස්ථානවලින් මුලින්ම හමු වූ ටර්සිකෝකස් පොයෙනිසිස් බැක්ටීරියාව නිද්‍රා තත්ත්වයට පත් වී අක්‍රිය වන අතර, හිතකර ප්‍රෝටීනයක් ලැබුණු සැණින් නැවත සක්‍රීය වී සිය ජෛව ක්‍රියාකාරකම් ආරම්භ කරයි. 

‘ටර්සිකෝකස් පොයෙනිසිස් බැක්ටීරියාවේ මෙම සුවිශේෂී හැකියාව අනාගතයේ සිදුකිරීමට නියමිත අභ්‍යවකාශ ගවේෂණයට විශාල බලපෑමක් කරනු නොඅනුමානය. බැක්ටීරියා ද පණ ඇති ජීවීන් බැවින්, පෘථිවි ගගනගාමීන් සමඟ උන් වෙනත් ග්‍රහලෝකවලට ගියොත්, එම ග්‍රහලෝක වලට තර්ජනයක් එල්ල වීමේ අවදානමක් ඇත. අප විෂබීජනාශක සබන් සහ දියරවර්ග යොදාගනිමින් පිරිසුදු කිරීම් කරමින් විෂබීජ මරා දමමු. ඒත් ටර්සිකෝකස් පොයෙනිසිස් ඉතිරි වෙයි. අවසානයේ සියලු‍ විෂබීජ මියගොස් ටර්සිකෝකස් පොයෙනිසිස් සුපිරි බැක්ටීරියාවක් බවට පත් වී ඉතිරි වුවහොත් කුමක් වේවි ද? මනුෂ්‍ය අපට ටර්සිකෝකස් පොයෙනිසිස් තර්ජනයක් වනු නොවේද? ටර්සිකෝකස් පොයෙනිසිස් බැක්ටීරියාව ගැන අධ්‍යයන සිදුකරන ඇමෙරිකන් විද්‍යාඥ නිල්ස් ඇවරෙෂ් අදහස් දක්වමින් එසේ පවසා ඇත. ටර්සිකෝකස් පොයෙනිසිස් හා සමාන තවත් බැක්ටීරියා විශේෂ බොහොමයක් ඇතැයි ද විද්‍යාඥ නිල්ස් ඇවරෙෂ් වැඩි දුරටත් පවසා ඇත.

අඟහරු මතින් ජීවය හමුවුවහොත් - එම ජීවය, අඟහරුගේ ජීවයක් ද නැතිනම් අපේ යානා මගින් පෘථිවියෙන් රැගෙන ගිය ටර්සිකෝකස් පොයෙනිසිස් හෝ ඊට සමාන වෙනත් බැක්ටීරියාවන් ද යන්න අනාවරණය කර ගැනීම ද අනාගතයේ ගැටලු‍වක් වනු ඇත. ඒ අනුව අනාගත අභ්‍යවකාශ මෙහෙයුම්වල පිරිසිදුකම පිළිබඳ ප්‍රමිතීන් තවත් දැඩි කළ යුතු බව විද්‍යාඥයෝ අවධාරණය කරති.

විෂබීජ යනු පියවි ඇසට නොපෙනෙන, රෝග ඇති කිරීමට සමත් ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් විශේෂයකි. ප්‍රධාන වශයෙන් මේවා බැක්ටීරියා, වයිරස, දිලීර සහ ප්‍රොටෝසෝවා ලෙස වර්ග හතරකට බෙදා දැක්විය හැක. බැක්ටීරියා යනු ස්වාභාවිකව පරිසරයේ ඕනෑම තැනක ජීවත් විය හැකි ඒක සෛලික ජීවීන් වන අතර, වයිරස යනු රෝග ඇති කිරීම සඳහා සජීවී සෛලයක් තුළට ඇතුළු විය යුතු ඉතා කුඩා අංශු විශේෂයකි. මෙම ක්ෂුද්‍ර ජීවීන් ආහාර, වාතය, ජලය හෝ ස්පර්ශය මගින් ශරීරගත වී, අප රෝගී කිරීමට සමත් වෙයි.

සබන් මගින් විෂබීජ ඉවත් කරන්නේ ඉතා සුවිශේෂී ක්‍රමයකටය. සබන් අණුවල එක් අන්තයක් ජලයටද, අනෙක් අන්තය තෙල් සහ කුණු වලටද ඇලු‍ම් කරයි. ඔබ අත් සෝදන විට සබන් මගින් සමේ ඇති කුණු සහ තෙල් සමග බැඳී ඇති විෂබීජ ලිහිල් කර ජලය සමග ගසාගෙන යෑමට සලස්වයි. මෙහිදී සිදුවන්නේ විෂබීජ මරා දැමීමට වඩා ඒවා සමෙන් ඉවත්කර වෙන් කිරීමකි. කොරෝනා වැනි වයිරසවල පිටත ඇති මේද පටලය දියකර හැරීමෙන් ඒවා අක්‍රිය කිරීමටද සබන්වලට හැකියාව තිබේ.

විෂබීජ නාශක දියර (සැනිටයිසර්) මගින් කරන්නේ එහි අඩංගු මද්‍යසාර  භාවිත කර විෂබීජවල සෛල බිත්ති විනාශ කර ඒවා මරා දැමීමය. කෙසේ නමුත් අත්වල පෙනෙන ලෙස කුණු, තෙල් හෝ දූවිලි තැවරී ඇත්නම්, විෂබීජ නාශක දියරයට ඒ යට සැඟවී සිටින විෂබීජ වෙත ළඟා වීමට නොහැකිය. එම නිසා අත් පෙනෙන ලෙස අපිරිසුදු අවස්ථාවලදී සැනිටයිසර්වලට වඩා සබන් යොදා අත් සේදීම වඩාත් ප්‍රතිඵලදායක වෙයි.

ලු‍සිත ජයමාන්න
එන්.ඩී.ටීවී ඇසුරිනි