මියගිය විරුවන්ගේ සිරුරු ආදාහනය කළ ස්ථානය. එම කටයුතුවලට සම්බන්ධ වූ කෝප්‍රල් ගුණරත්න ඒ. පී. ද පසෙකින් සිටී.
අලිමංකඩට එළැඹි යක්ෂයාගේ හෝරාව ඉතිරි කොටස |
1991 ජූලි මස 14 වන දිනට පහන්වෙද්දී, පෙරදින රාත්‍රිය මුළුල්ලේ පැවති ද්වන්ධ සටනේ උණුසුම ක්‍රමයෙන් පහව යමින් තිබිණ. තැන තැන ගිනිගෙන දැවුණු බංකර්, කැඩී බිඳී ගිය ගොඩනැගිලි සහ උපකරණ, විසිරී ඇති අවි ආයුධ සේම මළසිරුරු ද අලිමංකඩ සටනෙහි පැවති බිහිසුණු බව මොනවට කියාපෑවේය. එසේම, තුවාලකරුවන්ගේ කෙඳිරිලි හා විලාප හඬ ද, අඛණ්ඩව සටනෙහි නිරතව සිටි භටයින්ගේ විඩාබර නිදිවර්ජිත දෑස්ද, ත්‍රස්තවාදීන්ට එරෙහිව ඔවුන් පෑ අප්‍රතිහත කැපවීමේ තරම පෙන්නුම් කළේය.
ඒ කෙසේ වෙතත් , අලිමංකඩ කඳවුරෙහි සටන නිමාවූයේ, තවත් උභතෝකෝටිකයක් නිර්මාණය කරමිනි. එයනම්, මියගිය සාමාජිකයින්ගේ මෘතදේහ පිළිබඳ නොවිසඳුණ ගැටලුවයි.
දින ගණනාවක් තිස්සේ පැවති සටන්වලින් ඒ වනවිට දෙවන අණදෙන නිලධාරී හැරුණුවිට මියගොස් සිටි සෙබළු සංඛ්‍යාව 10 කි. ඇතැමුන් එලෙස මියගොස් ඒ වනවිට දින 05 ක් පමණ ගතව තිබූ අතර, එනිසාම එම මළසිරුරු බොහෝ සෙයින් ඉදිමී නරක් වී තිබුණි. ඒවායින් දැඩි දුර්ගන්ධයක් ද වහනය වන්නට වූ අතර, කඳවුරේ සාමාන්‍ය කටයුතුවලට ඉන් එල්ලවූයේ දැඩි බලපෑමකි. කිසිදු ගුවන් යානයකට එහි ගොඩබාන්නට ප්‍රස්තාවක් නොමැති තත්ත්වයක් තුළ, කඳවුර තුළ තවදුරටත් මළසිරුරු තබාගැනීම කිසිසේත් කළ හැකි නොවීය. ඒ අනුව අණදෙන නිලධාරී සිය බළසේනාධිපති වූ කර්නල් ඇන්ටන් විජේන්ද්‍ර හා 2 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කොට වැඩිදුර උපදෙස් පැතීය.
මේජර් බුද්ධදාසගේ පියා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වූ අතර, ඔහුගේ මව ද විශ්‍රාමලත් ගුරුවරියකි. ඒ නිසාම දෝ මෙම සිදුවීම කන වැකී පාසල් මට්ටමින් ද බොහෝ පිරිස් එහි පැමිණෙන්නට වූහ. ගැට්ටුවානේ පිහිටි එම නිවස ආසන්නයේම වූ විහාරස්ථානයෙන් ස්වාමීන් වහන්සේලා වැඩම කරවා, පවුලේ සාමාජිකයින් හා ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හත් දවසේ දානමය කටයුතු සිදුවෙද්දී, අලිමංකඩ කඳවුර තුළ හමුදා සාමාජිකයන් කිහිප දෙනකු ඉදිරියේ නිහඬව මේජර් බුද්ධදාස ඇතුළු පිරිසේ ආදාහන කටයුතු සිදුකර තිබිණ. |
අලිමංකඩ කඳවුරෙහි තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයෙන් පසුවූ සේනාංකාධිපති ඒ වනවිටත් පලාලි කඳවුර වෙත පැමිණ තිබිණ. එහිදී, ඔහු අණදෙන නිලධාරී වෙත දන්වා සිටියේ, අදාළ මළසිරුරු සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ යුද හමුදාපතිගෙන් විමසා දැනුම් දෙන බවය. ඒ වනවිට යුද හමුදාපති ලෙස කටයුතු කරන ලද්දේ ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ය.
ඒ අනුව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුද හමුදාපති දැනුම්වත් කළ සේනාංකාධිපති, ඉනික්බිති අණදෙන නිලධාරී වෙත දන්වා සිටියේ, මියගියවුන්ගේ සිරුරු කඳවුර තුළම ආදාහනය කිරීම සඳහා අවසර ලබා දුන් බවය. එසේම, ඔවුන්ගේ භෂ්මාවශේෂ වෙන් වෙන් වශයෙන් එකතු කොට, අදාළ පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සේනාංකාධිපතිගේ උපදෙස් ලද පසු අණදෙන නිලධාරී මේජර් සනත් කරුණාරත්න අදාළ සිරුරු ආදාහනය කිරීම සඳහා කටයුතු සැලසුම් කළේය. ඒ සඳහා ලුතිනන් විමලසේන නම් නිලධාරී සමග සීමිත භටපිරිසක් වෙනම යෙදවීමට කටයුතු කෙරිණ. ඒ අනුව රෙජිමේන්තු සැරයන් මේජර් සමග සැරයන් රත්නායක, කෝප්‍රල් ගුණරත්න යන සෙබළු ඇතුළු සෙබළු පිරිසක් එම ආදාහන කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගත්හ. ඒ වනවිට මළසිරුරු මෙන්ම තුවාලකරුවන්ද රඳවා සිටියේ කඳවුරෙහි පසෙක පිහිටි දැවැන්ත නුග ගසක් පාමුලය. විශේෂයෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානය ආසන්නයට පවා ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පැවති හෙයින් වඩා ආරක්ෂාකාරී තැනක් ලෙස එම අතුපහර විහිදී ගිය නුග ගහ පාමුල තෝරාගෙන තිබිණ. වෛද්‍ය සහායක සැරයන් මේජර් ගොඩමුන්න ඇතුළු කිහිපදෙනෙක්, එහි සිටි තුවාල කරුවන්ට මූලික ප්‍රතිකාර ලබාදීමේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙමින් සිටියහ.
පසුකාලීනව එම ලේවායේ නිෂ්පාදන කටයුතු සිදුනොවුණ ද, ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම් ඉතිරිව තිබිණ. එහි යුද හමුදා කඳවුර ස්ථාපනය කළ පසු, භට පිරිස්වල පරිහරණයට යොදාගනු ලැබුවේ පාවිච්චියට ගතහැකි තත්ත්වයේ තිබි, එහිවූ ගොඩනැගිලිය. කඳවුරේ පසෙක අතහැර දැමූ අබලන් කුඩා නිවාස පේළියක් විය.
මියගිය සාමාජිකයන්ගේ සිරුරු ආදාහනය සඳහා තෝරාගෙන තිබුණේ වහල ගැලවී විවෘතව තිබූ එම අතහැර දැමූ නිවාස පෙළය. එහිදී, එක් නිවසක දෙදෙනා බැගින් තැන්පත් කර අදාළ සිරුරු 10 ආදාහනය සඳහා සූදානම් කෙරුණේ ඒවායේ භෂ්මාවශේෂ වෙන වෙනම එකතු කර ගැනීමට හැකිවන ලෙසය.
ආදාහන කටයුතු සිදු කෙරෙන අවස්ථාවට අණදෙන නිලධාරී ද සහභාගී වූ අතර, එහිදී සීමිත භට පිරිසක් යොදවා මියගිය අයවලුන් වෙනුවෙන් ආචාර වෙඩි මුරයක් පැවැත්වීමට ද කටයුතු කෙරුණි. රට වෙනුවෙන් තම ජීවිත පුදකළ කිසිවකුත් බුහුමන් නොදක්වා ආදාහනය හෝ භූමදානය නොකරන බැවින්, කඳවුර තුළදී ද ඔවුන් වෙනුවෙන් දිය හැකි උපරිම ගෞරවය ලබාදීම එහි අරමුණ විය. එසේම, ආදාහන කටයුත්ත රාත්‍රිය එළැඹීමට මත්තෙන් සිදුකිරීම ද අනිවාර්ය අවශ්‍යතාවක් විය. මක්නිසාද යත්, රාත්‍රියේ කඳවුර තුළින් ඉහලට ගිනිදලු නැගීම - ඒ අවට සිටින ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වීමට යම් සම්භාවිතාවක් පැවතීම ඊට හේතුවයි.
ඒ වනවිට ද කඳවුරේ තැනින් තැන ත්‍රස්තවාදීන්ගේ මෝටාර් පතිත වෙමින් තිබූ නමුත්, ආදාහන කටයුතු සඳහා තෝරාගෙන තිබූ එම ගොඩනැගිලි ආශ්‍රිත ප්‍රදේශය තරමක් දුරට සතුරු ප්‍රහාරවලට ඉලක්ක නොවූ බිම් කොටසක් වීම, සැමගේ අස්වැසිල්ලට හේතු විය. සියල්ල එලෙස සැලසුම් කළ ද එය ලෙහෙසි කටයුත්තක් නොවූයේ, ඒ සඳහා අවැසි තරමට දර සොයාගත නොහැකි වීම හේතුවෙනි. කෙසේ හෝ වියළි ගන්සූරියා ගස්, වියළි තල් පොල් කොට හා එම පිතිද, වෙනත් දැව දඬු ද, හැකි පමණ ඒ සඳහා යොදා ගැනිණ. නමුත්, එහිදී මතුවූ අනෙක් ගැටලුව වූයේ, එක දිගට සිරුරු දහනය කිරීම සඳහා ඒවා ප්‍රමාණවත් නොවීමය. ඒ අනුව ආදාහන කටයුතු සිදුකෙරෙන අතරේ ද, ඉඳහිට එල්ල වන සතුරු ප්‍රහාර මධ්‍යයේ පවා, කෝප්‍රල් ගුණරත්න ඇතුළු කිහිප දෙනකුට දර සෙවීම සඳහා බොහෝ වෙහෙස දැරීමට සිදුවිය.
මේජර් බුද්ධදාස බිරිඳ කුමාරි සහ එකම දියණිය මනීෂා සමග
|
සැබවින්ම මෙය විස්තර කිරීම පවා දුෂ්කර අතිශය හැඟුම්බර අවස්ථාවක් වූ අතර, තම ඒකක සාමාජිකයින් දසදෙනකු එලෙස සටන් භූමියේම තැනක හුදෙකලාව ඔවුන්ගේ පවුලේ සමීප කිසිවකුගේ සහභාගීත්වයකින් තොරව ආදාහනය කිරීමට සිදුවීම පිළිබඳ අණදෙන නිලධාරී ඇතුළු සැම තුළ වූයේ ආවේගය හා වේදනාව මුසු හැඟීමකි. විශේෂයෙන්ම තම දෙවෙනි අණදෙන නිලධාරී මේජර් ලලිත් බුද්ධදාස වෙනදා සිය රණකාමී බව පෙන්වූ සුපුරුදු යුද භූමියේම එලෙස අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යනු දැකීම, අණදෙන නිලධාරියාට කිසිසේත් ඉහිලුම් නොදෙන්නක් විය.
එසේම, ආදාහන කටයුත්තට සෘජුව සම්බන්ධ වී සිටි අනිකුත් නිලධාරීන්ට හා සෙබළුන්ටද එය විඳදරාගත හැකි තරමේ අත්දැකීමක් නොවීය. පෙරදින තමන් සමගම එකම භූමියක සතුරාට එරෙහිව සාමූහිකව සටන් වැදි ඔවුන් එලෙස සමුගැනීම ද, ඔවුන්ගේ අවසන් කටයුතු තම දෑත් මතින්ම සිදුකරන්නට වීම ද, හේතුවෙන් කඳුළු බිඳුවක් නොහෙළුෑ අයෙකු මුළු කඳවුරෙන්ම සොයාගත නොහැකි විය. මියගියවුන්ගේ ආදාහන කටයුතු එදින සවස කඳවුර මධ්‍යයේ යම් තැනක සිදුවන බව, ආරක්ෂක වළල්ලේ රැඳී සිටි සියලු භට පිරිස් දැනුවත්ව සිටියහ.
නමුත්, පැවති වතාවරණය හමුවේ විටින් විට එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ තම බල ප්‍රදේශ රැකගෙන සිටිනු විනා, එම ආදාහන කටයුත්තට සහභාගීවීමට එහි කිසිවකුටත් අවස්ථාව හිමි නොවීය. එහෙත්, ඒ සෑම අයකුගේම හදවතෙන් තම හිත මිතුරු සගයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පළකෙරුණේ නිරායාසයෙනි.
අලිමංකඩ කඳවුරෙහි තත්ත්වය එලෙස පවතිද්දී දෙවන අණදෙන නිලධාරීගේ කුරුණෑගල, ගැට්ටුවානෙහි පිහිටි නිවසේ ද සෝ සුසුම් දෝරේ ගලායමින් තිබිණ. බිරිඳ කුමාරි මෙන්ම, දෙපාර්ශ්වයේම මව්පියෝ ඇතුළු නෑදෑ හිතවතුන් එහි රොක්ව සිටියේ කඳුළු වගුරුවමිනි. ජූලි මස 10 වන දින සිදු වූ තම ස්වාමියාගේ මියයාමට ඒ වනවිට සතියකට ආසන්න වී ඇති බව බිරිඳ කුමාරිට මතකය. එසේම, ගුවන් මගින් තම ස්වාමියා කඳවුරින් පිටතට රැගෙන ඒමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ කල්හි, එම සිරුරු නරක් වෙමින් පැවති නිසාම ඒවා කඳවුරෙහිම ආදාහනය කිරීමට කටයුතු කෙරෙන බව ද, අඹේපුස්සේ පිහිටි සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය හරහා ඇයට දන්වා තිබිණ. එහෙයින් සියලු තත්ත්වයන් සලකා බැලූ ඇය තම ස්වාමියා වෙනුවෙන් හත් දවසේ දානය නිවසේදීම පැවැත්වීමට කටයුතු සූදානම් කළාය.
මේජර් බුද්ධදාසගේ පියා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු වූ අතර, ඔහුගේ මව ද විශ්‍රාමලත් ගුරුවරියකි. ඒ නිසාම දෝ මෙම සිදුවීම කන වැකී පාසල් මට්ටමින් ද බොහෝ පිරිස් එහි පැමිණෙන්නට වූහ. ගැට්ටුවානේ පිහිටි එම නිවස ආසන්නයේම වූ විහාරස්ථානයෙන් ස්වාමීන් වහන්සේලා වැඩම කරවා, පවුලේ සාමාජිකයින් හා ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හත් දවසේ දානමය කටයුතු සිදුවෙද්දී, අලිමංකඩ කඳවුර තුළ හමුදා සාමාජිකයන් කිහිප දෙනකු ඉදිරියේ නිහඬව මේජර් බුද්ධදාස ඇතුළු පිරිසේ ආදාහන කටයුතු සිදුකර තිබිණ. එලෙසම දාන කටයුතු නිමවී එළැඹි දිනයේ, එනම් 1991 ජූලි මස 17 වෙනි දින තම දියණියගේ උපන්දිනය යෙදී ඇති බව බිරිඳ කුමාරිගේ මතකයට ආව ද, තුන් හැවිරිදි වියට එළැඹි මනීෂා බුද්ධදාස දියණියට ඒ පිළිබඳ වගක් නොවීය.
(තවත් කොටසක් ලබන සතියේ)
මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු
එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත
මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.
එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.
අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලුණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක
යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
’ මියගිය විරුවන්ගේ ආදාහනය බෝම්බ වරුසා මැද්දේ අලිමංකඩ කඳවුරේදීම ’