IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


හරිත ඉන්ධන පිහිටෙන් අහසින් යමු

 

ලොව ප්‍රථම වරට සියයට සියයක් හරිත ඉන්ධන භාවිත කරමින් විශාල මගී ගුවන් යානයක් පසුගිය 28 වැනිදා අත්ලාන්තික් සාගරය හරහා සාර්ථකව පියාසර කළේය.


වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සමාගමට අයත් බෝයිං  787 වර්ගයේ මෙම ගුවන් යානය පසුගිය 28 වැනිදා ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ අතර අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරමින් ගමනාන්තය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපොළට සාර්ථකව ළඟා විය.


රජයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක වූ මෙම ගුවන් ගමන් වාරය, පරිසරයට හිතකර අයුරින් ගුවන් ගමන් ක්‍රියාත්මක කළ හැකි බවට පෙන්වා දීමේ අරමුණින් සිදුකළ එකක් ලෙස අනෙකුත් ගුවන් සේවා දුටුවේය. ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාගැනීමට නොමැති වීම, හරිත ඉන්ධන භාවිත කරමින් පියාසර කිරීමේ දී මතුවෙන අභියෝගයක් බව වර්ජින් ඇට්ලාන්ටික් සමාගම පවසයි.


ලොව ප්‍රථම වරට සිදුවූ සුවිශේෂී ගුවන් ගමනක් හේතුවෙන්, මගීන් නොමැතිව ගුවන් යානය අත්ලාන්තික් සාගරය හරහා පියාසර කළේය. බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙන්රි ස්මිත් මෙම ගුවන් ගමන් වාරය සඳහා සහභාගී වූ අතර, මෙම ගුවන් ගමන එක්සත් රාජධානිය ගුවන් ගමන් කර්මාන්තය තුළ ලබාගත් සැලකියයුතු ජයග්‍රහණයක් බව පැවසීය.


බෝග, ගෘහස්ථ අපද්‍රව්‍ය සහ පිසින තෙල් ඇතුළු විවිධ දේවලින් හරිත ඉන්ධන සෑදිය හැක. මෙම ගුවන් ගමන සඳහා හරිත ඉන්ධන ටොන් 50 ක් බෝයිං 787 ගුවන් යානය ලබා ගෙන ඇත. ගුවන් යානය භාවිත කළ හරිත ඉන්ධන ටොන් 50 නිපදවීමට අමුද්‍රව්‍ය වර්ග දෙකක් භාවිත කර තිබේ. එම ඉන්ධන තොගයෙන් සියයට 88ක් ආහාර අපද්‍රව්‍ය වලින් ලබා ගත් මේදයෙන් නිපදවා ඇති අතර ඉතිරිය එක්සත් ජනපදයේ බඩ ඉරිඟු‍ නිෂ්පාදනයේ අපද්‍රව්‍යවලින් නිපදවා ඇත.


පරීක්ෂණ සහ විශ්ලේෂණවලින් පසුව නොවැම්බර් මස මුල දී එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම ගුවන් ගමන අනුමත කරන ලදී. එම ගුවන් යානයේ එන්ජිම නිෂ්පාදනය කළ රෝල්ස් රොයිස් සහ බලශක්ති දැවැන්තයෙක් වෙන ‘බීපී’ ඇතුළු සමාගම් ගණනාවක් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය.

 


කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිකුත් වීම බිංදුවට ගෙන ඒම ගුවන් ගමන් කර්මාන්තයට ඉතාමත් අපහසු කාර්යයකි. ගුවන් සමාගම් ප්‍රධානීන් හරිත ඉන්ධන සලකන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිකුත් වීම බිංදුවට ගෙන ඒමට උපකාර වෙන වඩාත්ම ඵලදායී මෙවලම ලෙසය. පරිසරයට නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයෙන් උරා ගැනීම කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිකුත් වීම බිංදුවට ගෙන ඒම යන්නෙන් අදහස් කෙරේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක්, වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සේවය ලබා ගත් මෙම ජයග්‍රහණය ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් අගය කළේය. හරිත ඉන්ධන භාවිත කිරීමේ දී පවා ගුවන් යානා මගින් කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිකුත් කෙරෙන නමුත් පොසිල ඉන්ධන භාවිත කිරීමේ දී නිකුත් වෙන කාබන්ඩයොක්සයිඩ්  වායු ප්‍රමාණයට වඩා එය සියයට 70වකින් අඩු බව ගුවන් ගමන් කර්මාන්තය පවසයි.


වර්ජින් ගැලැක්ටික් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ෂායි වයිස්, ප්‍රකාශ කර සිටියේ සිය ගුවන් සේවය පසුගිය 28 වැනිදා ක්‍රියාත්මක කළ ගුවන් ගමන් වාරය පොසිල ඉන්ධනවලට ආදේශකයක් ලෙස හරිත ඉන්ධන භාවිත කළ හැකි බව පෙන්වීමට කදිම උදාහරණයක් බවය. එසේම දිගු දුර ගුවන් ගමන්, කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිකුත් කිරීම අවම කළ හැකි එකම මාර්ගය ද මෙය බවත්, ගුවන් ගමන හරිත ඉන්ධන භාවිත කරමින් සාර්ථකව අවසන් කිරීමට හැකිවීම සැබැවින්ම ජයග්‍රහණයක් බවත් වයිස් පෙන්වා දෙයි.


නමුත් හරිත ඉන්ධන භාවිත කිරීමේ දී මතුවෙන ප්‍රධාන අභියෝග දෙක නම් හරිත ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබාගැනීමට නොමැති වීම සහ එසේ ලබා ගැනීමට තිබෙන ඉන්ධන මිලෙන් අධික වීම බව ෂායි වයිස් පැවැසුවේය. හරිත ඉන්ධන ගුවන් යානා සඳහා භාවිත කිරීම ආරම්භ කළහොත් එම ඉන්ධන මිලෙන් අධික වීම නිසා ගුවන් සේවාවලට ගුවන් ටිකට්පත් මිල ඉහළ දැමීමට සිදු වෙනු ඇතැයි ද වයිස් ප්‍රකාශ කළේය.


සෑම ගුවන් සේවයකටම ප්‍රමාණවත් වෙන පරිදි හරිත ඉන්ධන නිපදවා ගැනීමට ටික කාලයක් ගත වෙනු ඇතැයි තමන් පිළිගන්නා බව වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සේවයේ නිර්මාතෘ සර් රිචඩ් බ්‍රැන්සන්, සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. කොතනින් හෝ ගුවන් යානා හරිත ඉන්ධන භාවිත කිරීම ආරම්භ කළ යුතු බවත්, එය සිදු කළ හැකි බව වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සේවය පෙන්වා නොදී සිටියොත්, ගුවන් ගමන් කර්මාන්ත හරිත ඉන්ධන වෙත යොමු කිරීමට කෙදිනකවත් හැකියාවක් නොලැබෙන බවත් බ්‍රැන්සන් පෙන්වා දෙයි.


වර්තමානයේ හරිත ඉන්ධන, පොසිල ඉන්ධන සමඟ මිශ්‍ර කර භාවිත කරන බවත්, එය ලෝකයේ ගුවන් ගමන් කර්මාන්තය තුළ භාවිත කරන ඉන්ධන වලින් සියයට 0.1 ක් බවත් බ්‍රැන්සන් පැවසීය. ඒ වෙනුවෙන් භූමි තෙල්වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් වියදම් කරන බවත්, හරිත ඉන්ධන නිපදවන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවත් බ්‍රැන්සන් පැවැසුවේය.


හරිත, පොසිල ඉන්ධන සමඟ මිශ්‍ර කිරීමට අවසර තිබෙන්නේ සියයට 50ක ප්‍රමාණයක් දක්වා පමණක් බවත්, වර්තමානයේ හරිත ඉන්ධන වාණිජ මට්ටමින් නිපදවන කර්මාන්ත ශාලා එක්සත් රාජධානිය තුළ නොමැති බවත්, 2025 වසර වෙනවිට ආධාර ප්‍රදානයන් මත කර්මාන්තශාලා 5ක් ඉදිකිරීමට බ්‍රිතාන්‍ය රජය බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.


සියයට සියයක් හරිත ඉන්ධන යොදාගනිමින් විශාල මගී ගුවන් යානයක් සිදුකළ මෙම ප්‍රථම ගුවන් ගමන, ගුවන් ගමන් කර්මාන්තයේ විශාල සන්ධිස්ථානයක් ලෙස අනෙකුත් ගුවන් සේවා සැලකුවත්, හරිත ඉන්ධන යනු මැජික් උණ්ඩයක් නොවන බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති.


ක්‍රැන්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ගුවන් සේවා සහ පරිසරය පිළිබඳ සහකාර මහාචාර්ය, ආචාර්ය ගයි ග්‍රැටන් පවසා සිටියේ, ගුවන් ගමන් සඳහා අවශ්‍ය ඉන්ධනවලින් බහුතරයක් මේ ආකාරයෙන් නිපදවිය නොහැකි බවයි. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස නොමැතිවීම ඊට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රමාණවත් ලෙස මෙම ඉන්ධන නිපදවූවත්, හරිත ඉන්ධන මගින් සියයට සියයක් කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට මුදාහැරීම වැළැක්විය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.


ගුවන් යානා සඳහා හරිත ඉන්ධන යොදා ගැනීම ගැන පර් යේෂණ කාලයක පටන් පැවති අතර 2008 වර්ෂයේ දී වර්ජින් ඇට්ලැන්ටික් සමාගම ගුවන් යානයකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයකට  හරිත ඉන්ධන යොදා ගනිමින් වාණිජ ගුවන්ගමන් ඇරඹීය. ඉන්පසුව ප්‍රංශ ගුවන් සමාගම, එමිරේට්ස් ඇතුළු බොහෝ ගුවන් සේවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ගමන්වාරවල නියැළුණි.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු



අදහස් (0)

හරිත ඉන්ධන පිහිටෙන් අහසින් යමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 386 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 439 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 405 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site