IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා


වම් කන් පෙත්තේ රත්තරන් කරාබුවක් ද විය. මුහුණ පුරා රැවුල ද දිගට වැඩුණු හිස කෙස් ද බිහිසුණු පෙනුමක් එක් කළේය. 


අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක කොටස් හමුවිය. ඊජිප්තුවෙන් හමුවුණු මමී මෙන් නොවුණත්, ඉරානයෙන් හමුවුණු මෙම මමීකරණය වුණු සිරුරු කොටස් විස්මිත සොයා ගැනීමක් විය. ඉන්පසු විටින් විට අවස්ථා කීපයකදී තව තවත් මමීකරණය වුණු සිරුරු සහ සිරුරු කොටස් ද එම පතලින් හමුවිය. මෙම මමී කාලනිර්ණ පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු අනාවරණය වූයේ ඒවා, විවිධ කාලවකවානුවලදී ස්වාභාවිකව මමීකරණය වුණු සිරුරු බවය. මේ, ඉරානයේ සැන්ජියැන් පළාතේ, දූස්ලකා ලවණ පතලින් හමුවුණු ලවණ මිනිසුන්ගේ කතාවයි.

ඉරානයේ, සැන්ජියැන් පළාතේ වියළි කඳුකරයේ, දූස්ලකා ලවණ පතල් පිහිටා තිබේ. 1993 දී, එහි කැණීම් කටයුතුවල නියැළෙමින් සිටි පතල්කරුවන් පිරිසකට වසර ගණනක් සැඟවී තිබුණු ගැඹුරු කුහරයක් හමුවිය. මේ කුහරයෙන් කොටසක් පස්වලින් වැසී තිබුණු අතර, කුහරයේ ගැඹුර මීටර් 50 ක් පමණය. කුහරය පරීක්ෂා කරද්දී ඔවුන්ට මිනිසකුගේ හිසක්, බූට් සපත්තුවක්, සහ තවත් අපූරු දේවල් කීපයක් හමුවිය. බිහිසුණු පෙනුමැති හිස සුවිශේෂී එකක් විය. ලවණ පතලේ අඳුරු කුහරය තුළ එය බොහොම හොඳින් ආරක්ෂා වී තිබුණි. කන් පෙති පවා ඉතා හොඳ තත්ත්වයක පැවැතිණි. වම් කන් පෙත්තේ රත්තරන් කරාබුවක් ද විය. මුහුණ පුරා රැවුල ද දිගට වැඩුණු හිස කෙස් ද බිහිසුණු පෙනුමක් එක් කළේය. රැවුලත්, කොණ්ඩත් සුදු පැහැතිය. මුහුණ කහ මිශ්‍ර ලා කොළ පැහැයකින් යුක්තය. හමුවුණු බූට් සපත්තුවේ පාද කොටසක් විය. එය ද හිස මෙන්ම සුරැකිව පැවැතිණි. 

සැන්ජියැන් පළාතේ, පුරාවිද්‍යා නිලධාරීන්ගේ නායකත්වය යටතේ විශේෂ පර් යේෂණ කණ්ඩායමක්, ලවණ පතල ආශ්‍රිතව කැණීම් කරමින් ගවේෂණයක් ආරම්භ කළේය. ඔවුන් සිදු කළ කැණීම්වලදී, ගැඹුරු කුහරයේ තිබී තවත් දේවල් සොයා ගැනුණි. යකඩ පිහි තල කීපයක්, මැටි භාණ්ඩ කොටස්, රෙදි කැබලි, කැබැලි වුණු අස්ථි, ලොම් රෙදි කැබැලි, ගල් පටියක්, කොහු ලණුවක්, ඇඹරුම් ගලක්, රිදී ඉදිකටුවක්, සහ වොල්නට්’ ගෙඩියක් පතල් කුහරයෙන් සොයා ගැනුණි. අනෙක් බඩු බාහිරාදිය කෙසේ වුවත්, තනි වොල්නට්’ ගෙඩියක් පමණක් කුහරයෙන් හමුවීම අබිරහසකි. 

පතල් කුහරයෙන් හමුවුණු මෙම ලවණ මිනිසා’ අවුරුදු දහස් ගණනකට පෙර, සැන්ජින් පළාතේ ජීවත් වුණු පතල්කරුවෙකු විය හැකි යැයි මුලින් අනුමාන කෙරුණි. සොයා ගත් පාද අස්ථි කොටස් අනුව, ඔහුගේ උස සෙන්ටි මීටර් 175 ක් පමණක් යැයි අනුමාන කෙරුණි. වම් කන්පෙත්තේ පැලඳි රත්තරන් කරාබුව නිසාත්, බූට් සපත්තුව නිසාත්, මොහු පතල් සේවකයකු නොව, වංශවත් අයකු බව අවසන් නිගමනය කෙරුණි.

‘ලවණ මිනිසා’ගේ හිස, පාද කොටස් සහ සෙසු බඩු බාහිරාදිය හමුවුණු ස්ථානයේ සිට අඩි 50 ක් දුරින්, 2004 වසරේදී, මමීකරණයට ලක්වුණු තවත් සිරුරු කොටස් සොයා ගැනුණි. ඒ, පතලේ සිටි පතල්කරුවන්ටය. ඒ අනුව යළිත් වරක්, සැන්ජියැන් පළාතේ, සංස්කෘතික කටයුතු පිළිබඳ පර් යේෂකයෝ, ගවේෂණයක් ආරම්භ කළහ. ඒ අනුව, තවත් ලවණ මිනිසුන් මෙම පතලේ ඇති බව පර් යේෂකයන්ට වැටහුණි. දෙවැනි සිරුරක කොටස් හමුවුණු බැවින්, 1993 වසරේ දී සොයා ගැනුණු මමීකරණයට ලක් වුණු හිස අයිති මිනිසා, ‘පළමු ලවණ මිනිසා’ ලෙස නම් කෙරුණි. 

‘දෙවැනි ලවණ මිනිසා’ හමුවීමත් සමඟ, මෙම පතලේ තවත් මමීකරණය වූ සිරුරු ඇතැයි පර්යේෂකයන්ට පෙනී ගියේය. මෙම සිරුරු ඉතිහාසයේ විවිධ කාලපරිච්ඡේදවලට අයත් යැයි අනුමාන කෙරුණි. ඒ අනුමානය නිවැරදි විය. ‘දෙවැනි ලවණ මිනිසා’ගේ මමීකරණය වුණු සිරුරු කොටස් අසලින් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බොහෝ භාණ්ඩ සොයා ගැනුණි. ලෝහවලින්, ලීවලින්, රෙදිවලින් ඒවා නිර්මාණය කර තිබුණි. තව තවත් මැටි භාණ්ඩ කැබලි ද හමුවිය. පතල සම්පූර්ණයෙන්ම කැණීම් කළ යුතු බව පර් යේෂකයන්ට වැටහුණි. එම පර් යේෂකයෝ, යෝක් සහ ඔක්ස්ෆඩ් වැනි විදේශ විශ්වවිද්‍යාල හවුල් කර ගනිමින් පර් යේෂණ කටයුතු කිරීමට තීරණය කළහ.

2005 වසරේ දී දෙස් විදෙස් පර් යේෂණ කණ්ඩායම් එක් වී කැණීම් කරමින්, ලවණ පතල ගවේෂණය කිරීම ආරෙම්භ කළේය. එහි ප්‍රතිඵලය වූයේ මමීකරණය වූ සිරුරු 8 ක් හමුවීමය. මමීකරණය කළ සිරුරු යැයි කී සැණින් අපගේ සිහියට නැගෙන්නේ ඊජිප්තුවේ පාරාවන්ගේ මමී සිරුරුය. 

කෙසේ නමුත්, ඉරානයේ ලවණ මිනිසුන් ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඊට ප්‍රධාන හේතුව කලින් සඳහන් කළ ආකාරයටම, ලවණ මිනිසුන් ස්වභාවිකව මමීකරණය වූ සිරුරුය. පතලේ ඇති ලවණ හේතුවෙන් වසර දහස් ගණනක් ගෙවී ගියත්, එම සිරුරුවල මස්, අස්ථි සහ කෙස් ආරක්ෂා විය. මමී කීපයක, උදරය නරක් නොවී මමීකරණය වී ඇත. ලවණ මිනිසුන් අතරින් හොඳින්ම සුරැකුණු මමී ලෙස සැලකෙන්නේ ‘ලවණ මිනිසා අංක 1’ සහ ‘ලවණ මිනිසා අංක 4’ යන මමීය. පළමු ලවණ මිනිසා මියයද්දී අවුරුදු 35 ක් හෝ 40 ක් අතරේ පසුවන්න ඇතැයි පර්යේෂකයෝ පවසති. 

පළමු ලවණ මිනිසා ගැන අවධානය යොමු කළොත්, බූට් සපත්තුව සහ රත්තරන් මුදුව අනුව, ඔහු වංශවත් පවුලක අයකු බව පැහැදිලි විය. එසේ නම්, ඔහු පතලේ කළේ කුමක්ද? හිස කොටස ත්‍රිමාණ පරීක්ෂණයකට ලක් කරද්දී, හිස පිටුපස සිට ඇසක් දක්වා හිස් කබලට දක්වා තුවාලයක් ඇති බව අනාවරණය විය. මෙය හිසට එල්ල වූ පහරකි. පහර එල්ල වී ඇත්තේ මරණය සිදුවීමට පෙරය. එසේනම් මේ තැනැත්තාට පහර දී, පතල් කුහරයට තල්ලු‍ කර, සිරුර සැඟවූවා වන්නට ඇත. එය එසේ නම් මෙය, පුරාණ ඝාතනයක් සම්බන්ධ අබිරහසකි. එසේ නැතිනම් ඔහු පතලට ගොස් සිටිද්දී, පස් කඩා වැටීමක් සිදුවී ඔහු පතල් කුහරයේ සිරවුණා විය හැකිය. ඒත් හිසට එල්ල වී ඇති පහර අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය.

පර්සියානු අධිරාජ්‍යය කාලවකවානු කීපයකට බෙදී යයි. පර්සියානු අධිරාජ්‍යයේ ආරම්භය සිදුවූයේ ‘ඇකමේනියානු’ රාජවංශයෙනි. ‘සැසේනියානු’රාජවංශය ආරම්භය සිදුවූයේ ඉන්පසුවය. මෙම පළමු ලවණ මිනිසා ජීවත් වූයේ ‘සැසේනියානු’ රාජ වංශය පැවැති කාලයේය. ඒ අවුරුදු 1,700 කට පෙරය. දෙවැනි ලවණ මිනිසා ඊට වඩා පැරැණි බව තහවුරු වූ අතර, ලවණ මිනිසුන් අංක 3,4,5 ඊටත් වඩා පැරණිය. පළමු ලවණ මිනිසාගේ හිසත්, හමුවුණු බඩු බාහිරාදියත්, සෙසු ලවණ මිනිසුන්ගේ සිරුරු සහ ඔවුන්ට අයත් බඩු බාහිරාදියත් වෙනුවෙන් විශේෂ කෞතුකාගාරයක් සැන්ජියැන් පළාතේ දකින්න ලැබේ. පළමු ලවණ මිනිසාගේ රුධිර ගණය කුමක්දැයි සොයා ගැනීමටත් පර් යේෂකයන්ට හැකි වී ඇත. ඔහුට ඇත්තේ ‘බී පොසිටිව්’ වර්ගයේ රුධිර ගණයයි. 


ලු‍සිත ජයමාන්න
       ඬේලිමේල් ඇසුරිනි


 



අදහස් (0)

පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site