IMG-LOGO

ට්‍රම්ප් දිනුම් මස්ක් ගොඩ


ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. එය සුවිශේෂී මෙන්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකකි. 2017 සිට 2021 දක්වා, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස එම ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. එහෙත්, 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් හමුවේ පරාජය විය. ඔහු මෙවර ජනාධිපතිවරණයට යළි ඉදිරිපත් වූයේ එක් ධුර කාලයක් ඉතිරි වී තිබුණු බැවිනි. දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වී, අධිකරණය හමුවේ ද අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවකු වුණු ඇමෙරිකාවේ එකම ජනාධිපති වෙන්නේ ද 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ය. අද ඔහු ඇමරිකාවේ 47 වන ජනාධිපතිවරයාය.

ට්‍රම්ප් ව්‍යාපාරිකයෙකි; බිලියනපතියෙකි. ඇමෙරිකාව ඇමෙරිකානුවන්ට ශ්‍රේෂ්ඨ තැනක් කිරීම, ඇමෙරිකානුවන් ශ්‍රේෂ්ඨත්වය කරා රැගෙන යෑම ට්‍රම්ප්ගේ ඉලක්කයයි. මැතිවරණ කටයුතුවලදී ඇමෙරිකාවේ ව්‍යාපාරිකයන් සහ බිලියනපතියන් බොහෝ දෙනකුගේ සහාය ට්‍රම්ප්ට නොඅඩුව හිමිවිය. ඒ අතරින්, ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ වැදගත්ම සාධකය වෙන්නේ ලොව අංක එකේ බිලියනපති; නව නිපැයුම්කරු ඊලොන් මස්ක්ය. ස්පේස් එක්ස්, ටෙස්ලා වැනි සමාගම්වල හිමිකරු  ඊලොන් මස්ක්ය. එක්ස් (ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය ඇත්තේ ද ඊලොන් මස්ක් සතුවය. ලොව අංක එකේ විදුලි මෝටර් රථ නිෂ්පාදකයකු වෙන්නේ ටෙස්ලා ය. ස්පේස් එක්ස් සමාගම අභ්‍යවකාශ තරණයට අභ්‍යවකාශ යානා සහ රොකට්ටු නිපදවයි. ස්පේස් ඒක්ස් මේ වෙන විට නාසා ආයතනය සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. ස්ටාර්-ලින්ක් අපට ද හොඳින් හුරුපුරුදු නමකි. ස්ටාර් ලින්ක් යනු ඊලොන් මස්ක් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ඔහුගේ චන්ද්‍රිකා යොදා ගනිමින්, ස්ථාපිත කළ අධිවේගී අන්තර් ජාල සේවාව ය. මිල අධික වුවත්, රටවල් බොහොමයක් ස්ටාර්ලින්ක් සේවාව ලබා ගනී. දකුණු අප්‍රිකාවේ උපත ලබා අද ඇමෙරිකානු පුරවැසියකු වෙන මස්ක්, ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට දායක වූයේ එසේ මෙසේ ආකාරයකට නොවෙයි. 

තමන්ගේ සහාය ට්‍රම්ප්ට ලබාදෙන බව තහවුරු කරමින්, ඊලොන් මස්ක් පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ගොඩවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේය. පසුගිය ජූනි මාසයේ ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී කන් පෙත්ත තුවාල වූයේ ද පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර දී පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් සිටිද්දීය. ඇමෙරිකාව සහ ඇමෙරිකානුවන් ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමට ඊලොන් මස්ක් තමන් පසුපස සිටින බවත්, ඔහු තරම් ඇමෙරිකානුවන්ට ආදරේ කරන වෙනත් අයකු නොමැති බවත් ට්‍රම්ප් පවසද්දී රැස්ව සිටි පිරිස අතරින් ඔල්වරසන් හඬ නැගෙන්න පටන් ගත්තේය.

ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂයට ලියාපදිංචි වී, ට්‍රම්ප්ට ඡන්දය දීමට කැමැත්තෙන් පසුවෙන ඡන්ද දායකයන් අතරින් දිනකට එක් ඡන්දදායකයකු තෝරාගෙන එම තැනැත්තාට හෝ තැනැත්තියට ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදල් තෑග්ගක් පිරිනැමීමට ඊලොන් මස්ක් ක්‍රියා කළේය. 

ට්‍රම්ප් ජනරැලි පවත්වමින් රට පුරා යද්දී, ඊලොන් මස්ක් ද ට්‍රම්ප්ට සහාය දෙන්නැයි ඇමෙරිකානුවන් ආමන්ත්‍රණය කරමින් රට පුරා දේශන පවත්වන්නට විය. දිනකට එක් ජයග්‍රාහකයකු බැගින් තෝරා ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදලක් තෑගි කළේ එම දේශන පැවැත්වෙද්දීය. එහෙයින් සෑම දේශන ශාලාවක්ම ට්‍රම්ප්ට සහාය දැක්වීමට ආ ඡන්ද දායකයන්ගෙන් පිරී ගිය බව ද අමුතුවෙන් කිව යුතු නැත.

මිලියනයක් තෑගි කරමින්, මස්ක් ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ ඇමෙරිකන් ව්‍යවස්ථාවේ පළමු සහ දෙවැනි ව්‍යවස්ථා සංශෝධන සඳහා කැමැත්ත සහ සහාය ලබාදෙන ලෙසටය. ඇමෙරිකන් ව්‍යවස්ථාවේ පළමු සහ දෙවැනි ව්‍යවස්ථා සංශෝධන යනු කතා කිරීමට ඇති නිදහස සහ ගිනි අවි ළඟ තබා ගැනීමට ඇති අයිතියයි. කෙසේ නමුත්, මැතිවරණ බලධාරීහු මෙලෙස මිලියන ගණනින් මුදල් ලබාදීමට විරුද්ධ වූහ. අධිකරණය ද ඊට හරස් විය. අපේක්ෂකයකුට ඡන්දය ලබාදීම සඳහා මුදල් තෑගි අපේක්ෂාවෙන් ලියාපදිංචිවීම වරදක් බව පෙන්වා දුන්නේය. ඒ අනුව, දිනකට මිලියන ගණනින් මුදල් තෑගි පිරිනැමීම නැවැත්වීමට මස්ක්ට සිදුවිය. කෙසේ නමුත් ඒ වෙන විටත්, මස්ක් මැදිහත් වී ට්‍රම්ප්ට ඡන්ද එක්රැස් කර තිබුණි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැ‍ළෙමින් ඊලොන් මස්ක් ද ජනතාවට පොරොන්දු දුන්නේය. එම පොරොන්දු ඔහුට ඉටු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් ප්‍රශ්න කරන්නට විය. ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත් වූ විට, ටෙස්ලා සහ ස්පේස් එක්ස් යන සමාගම්, තව තවත් ඇමෙරිකන් රජය සමඟ සම්බන්ධ කිරීම පිළිබඳව ට්‍රම්ප් සහ මස්ක් අතරේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කෙරුණි. 

මැතිවරණ වේදිකාවේ දී ට්‍රම්ප් පැවැසුවේ, තමන්ගේ මීළඟ රජයේ පිරිවැය කප්පාදු කිරීමේ ලේකම් ලෙස ඉලෝන් මස්ක් සේවයට බඳවා ගන්නවා බවය. කෙසේ නමුත් රජයේ පිරිවැය කප්පාදු කිරීම සඳහා කිසිදු රජයේ ආයතනයක් නොමැත. කෙසේ නමුත්, ට්‍රම්ප් යම් ආකාරයක කාර්ය සාධක බළකායක් මෙහෙයවීමට තමන්ව යොමු කරන්නේ නම්, නාස්තිකාර වියදම් අවම කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව ද මස්ක් පවසා ඇත.

ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වයට ඊලෝන් මස්ක් තරම් සහයෝගය දැක්වීමට කිසිදු තනි ව්‍යාපාරික නායකයකු නොකළ බව පැහැදිලිය. ට්‍රම්ප්ට සහාය පළ කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඊලොන් මස්ක්ට පැසැසුම් මෙන්ම චෝදනා ද එල්ලවීමට පටන් ගත්තේය. ට්‍රම්ප්ට සහාය දක්වමින් ඔහුගේ මැතිවරණ කටයුතුවලට මූල්‍යමය අනුග්‍රහයක් ලබාදීමට මස්ක් දේශපාලන ක්‍රියාකාරී කමිටුවක් ද පිහිටුවා තිබුණි. මස්ක් එම කමිටුවට පරිත්‍යාග කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 119 කට වැඩිය. දිගින් දිගටම ට්‍රම්ප්ගේ වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වූයේ ද මස්ක් ය. ට්‍රම්ප්ට අනුව, ඊලොන් මස්ක් සුපිරි තරුවකි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය මස්ක්ගේ ටෙස්ලා සමාගමේ ජයග්‍රහණයක් ද වෙනු ඇතැයි පැවසෙන අතර, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තීරණය වූ සැණින්, කොටස් වෙළෙඳපොළේ ටෙස්ලා සමාගමේ කොටස් ද සියයට 13කින් ඉහළ ගියේය. ඒ අනුව, මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් මිලියන 411 ක වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 13 කට වඩා වැඩි වූ අතර, එය මස්ක් ට්‍රම්ප්ට පරිත්‍යාග කළ ඇමෙරිකන් ඩොලර් මිලියන 119 ක මුදලට වඩා සියයට 11,000කින් වැඩි ප්‍රතිලාභයකි.


ලු‍සිත ජයමාන්න
       සී.එන්.එන්. ඇසුරිනි


 



අදහස් (0)

ට්‍රම්ප් දිනුම් මස්ක් ගොඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 322 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site