IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ගෝල්ෆේස් අරගලකරුවන් දැන් මොකද කියන්නේ ?

මාස පහක් පුරා පැවැති අරගලය තුළ විවිධ සංවාද විසංවාද අපි දුටුවෙමු. දින සියයකට එහා පැවැති ගෝල්ෆේස් අරගලයේ එකම සටන් පාඨය වූ ගෝඨා ගෝ හෝම් පෙරදැරිව දලුලා වැඩුණු අරගලය චෝදනා, අපහාස, තාඩන, පීඩනයන්ට ලක්වෙමින් පසු නොබැස ඉදිරියට ඇදිණි. 

 

කෙතරම් බාධක ආවත් ඉදිරියට තැබූ අඩිය ආපස්සට නොගත් අරගලකරුවන් ජයග්‍රහණය කරා පැමිණියේ තුනෙන් දෙකක ජනවරමක් ලබා පැමිණි හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් පහ කරමිනි. රටක් එකම තැනක එක මතයක් වටා එකතු කළ ගෝල්ෆේස් අරගලකරුවන්ගේ ඉදිරිය කුමක්ද? අරගලයේ දැක්ම වුණු ගෝඨා ගෝ හෝම් සාර්ථකවීමෙන් පසු අරගලයේ දිශාව කොයිබටද? ​ගෝල්ෆේස් අරගල බිමේ සිටි කණ්ඩායම් නියෝජිතයන් දෙපලකගෙන් අදහස් විමසීමු.  

තව දුරටත් වීදි සටන් කරලා ඉල්ලීම් දිනාගන්න බෑ

සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංවිධානයේ ලේකම් සමිත බෝධිපක්ෂ  එක අරමුණක් වෙනුවෙන් සිවිල් සංවිධාන, විවිධ කණ්ඩායම්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ විවිධ මත දරණ සාමාන්‍ය ජනතාව එකතු වුණු ගෝල්ෆේස් අරගලයේ අරමුණු ඉටුවීමත් එක්ක ගෝල්ෆේස් අරගලයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වෙනවා.   


අපි අරගල කළේ ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා පන්නා දමන්න, ඒක දැන් ඉටු වුණා කියලා අපිට අත පිහදාගන්න බැහැ. ජනතාවට දිනාගන්න තව ඉල්ලීම් තියෙනවා. හැබැයි තව දුරටත් වීදියේ සටන් කරලා ඒ ඉල්ලීම් දිනාගන්න බැහැ. ඒවා දිනාගන්න ඕනැ දේශපාලනිකව සහ සමාජීයව. ඒක තනිකරම සමාජ විප්ලවයක් තුළින් ප්‍රතිසංස්කරණය කරන එක වැනි කාරණාවක්.   


අලුත් සමාජයක් ගොඩනැගීම ව්‍යවස්ථානුකූලව කොහොමද කරගන්නේ, ඒ වගේම රටේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න අපේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද? මේ හැම දේකින්ම අපි විශ්වාස කරන්නේ ව්‍යවස්ථානුකූල වෙනසක්. ජනාධිපති අයින් වුණා වගේ ඉතුරු දේවලුත් ව්‍යවස්ථානුකූලව සිදුවෙන්න ඕනෑ.   
මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළවල් කොන්දේසි රටට හිතකරද? අහිතකර වෙන ඕනෑම තැනකදි අපි බලපෑම් කණ්ඩායමක් ලෙස ඉන්නවා. පසුගියදා රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනෙක් පත් කළා. මොළයක් නැති අධ්‍යාපනයක් නැති අයත් එතන ඉන්නවා. අරගලයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට බලය ලබාගත්තු පිරිස විසින් දැන් අරගලයේ අරමුණ පාවාදෙමින් යනවා. රටේ මිනිස්සු ඉන්නේ විශාල පීඩනයකින්. මිනිස්සුන්ගේ ස්වභාවය පාලකයන් තේරුම් ගන්නේ නැතුව පිස්සු කෙළිනව නම් ඊට ළඟ අවස්ථාව ඉතා ප්‍රචණ්ඩ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.   


අපි ඉල්ලුවේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. මහජන නියෝජිතයන්ට බලපෑම් කරලා තමයි අපිට අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනාගන්න වෙන්නේ.   
ගෝල්ෆේස් පරිච්ඡේදය ගෝඨාභය මහත්මා එළවීමත් එක්ක අවසන්. දැන් තියෙන්නේ දේශපාලනිකව සාමාජීයව ඔළුව පාවිච්චි කරලා කරන්න ඕනෑ අරගලයක්. ඒක කලබලේට පිස්සෝ වගේ හිතෙන හිතෙන දේවල් කරලා දිනන්න පුළුවන් තත්ත්වයක් හෝ ක්‍රියාදාමයක් නෙමෙයි. චින්තනමය විප්ලවයක් කරන්න වෙලාව දැන් තමයි එළඹිලා තියෙන්නේ. මහ පාරේ අරගලයට එකතු වුණා වගේ චිත්නනමය විප්ලවයටත් සියලු දෙනා එකතු විය යුතුයි.   


සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංවිධානයේ ලේකම් සමිත බෝධිපක්ෂ එලෙස අදහස් දැක්වීය.   


ගෝල්ෆේස් අරගලකරුවන්ගේ ඉදිරි දිශානතිය පිළිබඳ තව දුරටත් අදහස් දැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දිලාන් සේනානායක   

 

නැවත මේ අරගලය කොහෙන් මතුවේද දන්නේ නෑ

දිලාන් සේනානායක   


ලොකු ජයග්‍රහණයකින් පස්සේ අරගලයට පොඩි විරාමයක් වැටුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල්ව පත් කරලා ධුරයෙන් පැනලා ගියාට පස්සේ ඔළුගෙඩි ටික මාරුවෙලා කැරකුණ ගේම් එක මොකද්ද කියලා ඒ වෙලාවේ අපටත් හිතාගන්න බැරිවුණා.   


වත්මන් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වුණාට පස්සේ ජනතාව තුළ මතයක් ගොඩ නැගුණ, ‘රනිල්ටත් අපි දීලා බලමු, රනිල්ට පුළුවන් කියලා බලමු මිනිස්සුන්ට සහනයක් දෙන්න පුළුවන්ද කියලා බලමු’ යන මතවාදයත් හැදුණා. ඒත් ඒ හැමදේම අමතක කරලා රනිල් වික්‍රමසිංහ මහත්මා කරන්නේ අරගලයේ ක්‍රියාකාරිකයෝ, අරගලයට සහභාගි වුණ මහජනතාව මර්දනය කරන එක. ඒ මර්දනය තුළ මේ වෙනකොට විශාල පිරිසකට නඩු කටයුතුවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. රැඳවුම් නියෝග යටතේ අරගලකරුවන් කිහිප දෙනෙක්ම රඳවාගෙන ඉන්නවා. අරක කරනවා මේක කරනවා කියලා ජනමතයක් ගොඩනගාගත්ත රනිල් මහත්මයා කළෙත් ජනතාවට සහන දෙන එක නෙමෙයි අරගලකරුවන් මර්දනය කරන එක.   

මේ ආර්ථික පීඩනය දරාගන්න බෑ මිනිසුන්ට. නැවත මේ අරගලය භෞතිකව කොහෙන් පත්තු වේවිද කියන එක දන්නේ නැහැ. මාර්තු 31 මිරිහානෙන් පටන් ගත්ත අරගලය ඉවර වුණේ ගෝලෆේස් එකෙන්.   
බඩගින්න දැනෙනකොට ජීවත් වෙන්න අමාරු වෙනකොට මිනිස්සු ඊළඟට පුපුරන්නේ මහා විනාශකාරී තැනකින්. අපි මේ වෙනකොට යෝජනා 40ක විතර වැඩ පිළිවෙළක් හදලා තියෙනවා මේ ඉන්න දේශපාලන කණ්ඩායමට. ඒත් ඒ ප්‍රතිපත්තිවලින් වැඩක් ගන්නේ නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා විප්ලවීයව බලපෑමක් කරන්න.   


රට විනාශ කරපු සෙට් එකම නැවත එනවා පේනවා. අපි කියන්නේ දූෂිතයන්ට විරුද්ධව රටේ නීති සම්පාදනය විය යුතුයි. අපි අරගලයේ කරපු දේවල් ටිකක් තියෙනවා. කැබිනට් මණ්ඩල කිහිපයක්ම ඉවත් වෙනකම් අපි වාචිකව බලපෑම් කළා. ජනතා බලය අපි පෙන්නුවා. දැන් පාලකයන් විසින් නැවත ඒ වගේම ජනතාව පොළඹවමින් ඉන්නවා දැන් මෙහෙම එකකින් වරෙල්ලා කියලා වගේ. පාලකයා ජනතාව කුපිත කරන මට්ටම ගෙනල්ලා තියෙනවා. මේ කණ්ඩායම එක්ක වෙනසකට යන්න අපිට අමාරුයි. හැබැයි අරගලය ඉවර නෑ. කළු හෝරාව කියලා සෞන්දර්යාත්මක වැඩකින් අපි චින්තනයේ අරගලය ආරම්භ කළා. මහ බැංකු අධිපතිතුමා කියනවා වගේ මේක වැරැදි තැනකට තමයි මේ ආණ්ඩුව අරගෙන යන්නේ. දැන් මාසයක් අපි බලාගෙන හිටියා. අරගලකරුවන් මර්දනය කරනවා මිසක් රටේ ජනතාවට වැඩක් වෙනවා පේන්නේ නෑ. තාම රට තියෙන්නේ තිබුණ තැනමයි. ඒ නිසා ඉදිරිය තීරණාත්මක වෙන්න පුළුවන්. ජනතාවට කියන්නේ අපි හැමෝම අරමුණකට නැවත යා යුතුයි. මතක තියාගන්න රට විනාශ කරපු අයම ආයේ වෙස් මූණු දාගෙන එනවා. විනාශ කරපු අයම ගොඩ ගත්ත රටවල් ලෝකයේ කොහෙවත් නැහැ. අරගලය නතර වෙලා නැහැ. ජනතාවට සාධාරණයක් සිදුවන්නේ නැත්නම් අපේ බලපෑම අපි දිගටම කරගෙන යනවා.

 

සටහන
නදීශා අතුකෝරළ



අදහස් (0)

ගෝල්ෆේස් අරගලකරුවන් දැන් මොකද කියන්නේ ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1739 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site