විෂාදය ප්‍රධානයි

පශ්චාත් කොවිඩ් සංකූලතා මානසික වශයෙන් ද ඉතා දරුණු ලෙස බලපාන බව විදෙස් රටවල සිදුකර ඇති පර්​ෙ‌ය්ෂණ මගින් හෙළිවී තිබේ. ලංකාවේදී කොරෝනා වෛරසයට භීතියෙන් සිය දිවි නසාගත් මරණ තුනක් ද වාර්තා වී ඇත. කෙසේ නමුත් බොහෝ පුද්ගලයන් ඉතා ඉක්මනින් කොවිඩ් රෝගී තත්ත්වයෙන් මිදෙන නමුත් එය කල් පවත්නා මානසික සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට බලපා ඇති බව වෛද්‍යවරුන් පවසන අතර, ඒ පිළිබඳව අපි රාගම රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය, කථිකාචාර්ය චාමර විජේසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.   


“අපි මුලින්ම කතා කරන්න ඕනෑ මානසික රෝගයන්ගෙන් පෙළෙන අය ගැන. ඔවුන්ට කොවිඩ් ආසාදනය වීමත් එක්ක ඉතාම අසාධ්‍ය තත්ත්වයන්ට පත්වෙන අවස්ථා වාර්තා වී තියෙනවා. ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මේ දේවල්වලින් ඔවුන්ගේ රෝගය උත්සන්න වෙලා රෝහල්ගත කරන්න වෙන අවස්ථා බහුල වශයෙන් තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් දිගින් දිගටම ගනිමින් සිටි ප්‍රතිකාර මේ දිනවල ලබාගැනීමට නොහැකි වීම. ඔවුන් හිතනවා සායන නැහැ කියලා. එක්කෝ ඇඳිරිනීතිය නිසා මානසික රෝගයට අවශ්‍ය ඔෟෂධ ලබාගන්න අසීරු වීම. මේ දේවල්වලින් ඔවුන්ට අර දීර්ඝ කාලීනව ලබාගත් ඖෂධ නැති වෙනවා. මුලින්ම කියන්න ඕනෑ ඔබ මොන යම් හෝ මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගත්තා නම් එය කිසිම හේතුවක් මත නතර කරන්න එපා. සායන සියල්ල රෝහල්වල විවෘත වෙලා තියෙනවා. තව දෙයක් තමයි මානසික රෝග තියෙන අය කොවිඩ් එන්නත ලබාගැනීමේදී ඒ ඔෟෂධ නතර නොකළ යුතුයි. මානසික රෝගයක් තිබීම හෝ මානසික රෝගයකට ඖෂධ ගැනීම කොවිඩ් එන්නත් ද්විත්වය ලබාගැනීමට කිසිදු බාධාවක් වන්නේ නැහැ.”  


“ඊළඟ කාරණය තමයි කොරෝනා හැදුණ අයට කොරෝනාවලින් පස්සේ ඇතිවන මානසික රෝග සංකූලතා. මේකෙදි අපි දකින දෙයක් තමයි කොවිඩ් රෝගය ආශ්‍රිතව ඇතිවන සංකූලතා සමග මේ වෛරසය මිනිස් මොළයට දරුණු ලෙස බලපෑම් එල්ල කරනවා. කොවිඩ් ආසාදනය වූ කෙනෙක් එකවරම මනස ව්‍යාකූල තත්ත්වයක් ඇති වීම කියන්නේ උදාහරණයක් ලෙස ඉන්න තැන අමතක වීම, කල්පනාව නැතිකම වගේ දේවල් ඇති වීම මානසික රෝගයක් නෙමෙයි. ඒක කෙරෝනාවලම සංකූලතාවයක්. එයට ‘කොවිඩ් එන්කොලයිටීස්’ කියලත් හඳුන්වනවා. ඒ නිසා කොවිඩ් වෛරසය කියන්නේ කැස්ස, උණ පමණක්ම නෙමෙයි. මේක ඉතාම දරුණු තත්ත්වයක් විදිහට දකින්න පුළුවන්.”  


“මෙම ව්‍යාකූල තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස කලින් නොතිබුණු හැසිරීම්වල වෙනස්කම්, කතා නොකර සිටීම, අධික ලෙස කතා කිරීම, ගෙදර සමීපතමයින් හඳුනා ගන්නට බැරි වීම, මතකය නැති වීම, වැඩිපුර නිදා ගැනීම, සිහි මඳ ගතිය වැනි මේ රෝග ලක්ෂණ කොවිඩ් සෑදුණු රෝගියකුට බලපාන භයානකම රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේ රෝග ලක්ෂණ කොවිඩ් ආසාදිත සමයේ පවතින රෝග ලක්ෂණ වෙනවා.”  


“ඊට පසුව බලපාන අනෙක් කාරණය තමයි පශ්චාත් කොවිඩ් විශාදය කියන තත්ත්වය. ඕනෑම වෛරස් උණකදී අපිට ඇඟට පණ නැති ගතිය, නින්ද නොයෑම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් මේ පශ්චාත් කොවිඩ් විශාදය තත්ත්වය කියන්නේ ඊට ගොඩක් වෙනස් රෝගයක්. කොරෝනා ආසාදනය වී සුවය ලබා නිවෙසට පැමිණෙන කෙනෙක් සති කිහිපයක් යද්දී ඔහු හෝ ඇය දුකෙන් ඉන්නවා නම්, ඇඟට පණ නැති ගතිය, ශක්තිය නොමැතිකමක් තියෙනවා නම්, නින්ද නොයෑම, කල්පනා කිරීම, කෑම අරුචිය වගේ ලක්ෂණයන් තියෙනවා නම් මේක සාමාන්‍ය තත්ත්වයක්, එහෙම නැති නම් මේක ඇරිලා යාවි කියලා ගණන් නොගෙන ඉඳීම සුදුසු වන්නේ නැහැ. මොකද මෙම ලක්ෂණ පශ්චාත් කොවිඩ් විශාද තත්ත්වයක් විය හැකියි. මෙම රෝග ලක්ෂණ උග්‍ර වුවහොත් ජීවිතය එපා වී සිය දිවි හානි කරගැනීමක් දක්වා යාමට ද ඇති ප්‍රවණතාවය වැඩියි.”  
‘‘උදාහරණයක් ලෙස ගතහොත් පසුගිය දවසක ප්‍රතිකාර සඳහා මා ළඟට පැමිණියා එක් කාන්තාවක්. මුළු පවුලටම කොවිඩ් ආසාදිත වෙලා සුව වූ පවුලක්. එම කාන්තාව ඉතාම ක්‍රියාශීලීව වැඩ කරපු බිරිඳක්. ඒත් මේ කොරෝනා රෝගය සුව වුණත් මානසිකව ඇයට බලපාපු කාරණා ටිකක් තිබුණා. ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ. දරුවෝ එක්ක නිතර තරහා යනවා, කිපෙන සුළු ගතිය වැඩියි, කිසිම දේකට ආසාවක් නැහැ, ක්‍රියාශීලී බව නැහැ. මේ අය කොරෝනා හැදෙන්න කලින් කම්මැලිවෙලා සිටි අය නෙමෙයි. ඇය ක්‍රියාශීලීව වැඩ කරපු ගෘහණියක්. මවක්. ඇයට තිබුණේ කොවිඩ් නිසා ඇතිවූ විශාදය තත්ත්වයක්. සිතන්න මේ ජීවිතේ තරුණ අවධිය ගත කරන අය. ජීවිතේ එතනම කඩාවැටීමක්. එවැනි බොහෝ දෙනා මේ වෙනකොට ප්‍රතිකාර සඳහා බහුල ලෙස යොමු වෙලා තියෙනවා.   


උදාහරණයක් ලෙස දිනකට සුව වූ කොවිඩ් රෝගීන් දස දෙනෙක් බැලුවොත් ඉන් පස් හය දෙනෙකුම මේ කොවිඩ් නිසා ඇතිවන විශාද තත්ත්වයෙන් පෙළෙනවා. විශේෂයෙන් ගත්තොත් මේ වගේ ව්‍යසනකාරි තත්ත්වයකදී විශාදය, කාංසාව කියන රෝගී තත්වයන් බහුලව උත්සන්න වන්නට පුළුවන්. එහෙත් මිනිස් මනසට මේ වෛරසයනේ කරන බලපෑම සුළුපටු වන්නේ නැහැ.   


පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී සුවවෙලා මේ ඇතිවන විශාදය තත්ත්වයේ රෝග ලක්ෂණ මතුවන්නට මාසයක පමණ කාලයක් ගතවෙනවා. ඒ අයගේ රෝග ලක්ෂණ ගත්තම තනියම ඉන්නකොට ඇඬෙනවා, තරහා යනවා, ගෙදර අය රුස්සන්නේ නැහැ, කතා කළත් තරහා යනවා, මේ වගේ රෝග ලක්ෂණ එක්ක ‘’මට මැරෙන්න හිතෙනවා වගේ’’ වචන පිටවෙනවා නම් ඒක ඉතාම දරුණු තත්වයක්. තව දෙයක් තමයි කොරෝනා හැදුනට පස්සේ බොහෝ දෙනා තමන් කරගෙන ආපු වැඩ කටයුතු සියල්ලම නතර කරනවා. යහපත් සෞඛ්‍ය පුරුදු අත්හරිනවා. විශාදය තත්ත්වය ඇතිවීමට මෙය එක් හේතුවක් විය හැකියි. ඒ නිසා නිතරම වැඩිය මහන්සි නොවන වැඩකට හිත යොමු කරන්න. එහෙම වුණොත් විශාදය හැදුනත් දරුණු නොවී එය මග හැර ගැනීමට ඔබටම හැකියාව තියෙනවා.   


අනෙක් විශේෂම කාරණය තමයි, කොරෝනා සුව වෙලා ගෙදරට එන, සමාජයට යන පුද්ගලයින්ව කිසි කෙනෙක් කොන් කරන්න එපා. එය ඔවුන්ගේ මනසට ඉතා දරුණු ලෙස බලපාන සාධකයක්. ඒ වගේම කාර්යාලයට එන සේවකයාවද කොන් කිරීම නොකළ යුතුයි. ශරීරය සහ මනස දුර්වල වෙලා තියෙන මොහොතක එවැනි දේවල් අත්විඳින්නට සිදුවීමෙන් විශාදය කියන තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා. ඒ වගේම කලින් මානසික රෝග නොතිබුණු බොහෝ දෙනෙකුට කොවිඩ් වැළඳීමෙන් පසු ජීවිතේ නැතිකර ගැනීම වැනි මානසික ව්‍යාකූලතාවන් ඇතිවීම වැඩිවෙලා තියෙනවා. කොවිඩ් වෛරසය ස්නායුවලට කරන දරුණු බලපෑම මගින් තමයි එවැනි ලක්ෂණ මතුවන්නේ.   


කොවිඩ් වසංගතය තුළ ඇතිවිය හැකි ඍජු මානසික බලපෑම් වගේම වක්‍රව සිදුවන බලපෑම් එක්ක කොරෝනා සුව වූ පසු ඇති වන විශාදය තත්ත්වයන්ගෙන් විශාල පිරිසක් මේ වනවිට පීඩා විඳිනවා.   


විශාදය පමණක් නෙමෙයි කාංසාව (anxiety) කියන රෝගී තත්ත්වය බලපෑ රෝගීන්ද මේ දිනවල බහුල වශයෙන් මුණ ගැහෙනවා. කාංසාව කියන්නේ මානසිකව සිදුවන වෙනස්කමක්. මෙහි මූලික ලක්ෂණ විදියට භීතිය, ආතතිය, අවිනිශ්චිතකම, නොසන්සුන්කම, තැති ගැන්ම, අධික ලෙස දහඩිය දැමීම, අධික ලෙස මුත්‍ර පිටවීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන් සහ ගර්භනී මව්වරුන් මේ රෝගී තත්ත්වයට පත්වීමේ දැඩි ප්‍රවණතාවක් අපිට දක්නට ලැබෙනවා.   


විශේෂයෙන් කොරෝනා මරණ පුවත්වල වැඩිපුරම තියෙන්නේ බය සහ මානසික ව්‍යාකූලතාවයන් වැඩිවෙන දේවල්. ඒවාට එල්බගෙන සිටීමෙනුත් මේ මානසික ව්‍යාකූලතාවයන් වැඩිවෙනවා. කොරෝනා හැදෙන්න කලින්ම කොරෝනාවට බයේ සියදිවි නසාගන්න මිනිස්සු පෙළඹෙන්නේ ඒකයි.

   
ඒ වගේම කොවිඩ් වසංගතය වක්‍රව බලපාන තවත් කාරණයක් තමයි කුඩා දරුවන්ට සිදුවන බලපෑම. විශේෂයෙන් අන්තර්ජාල ඇබ්බැහිවීම්. මේ හේතු නිසා දරුවන්ව අපි ළඟට රැගෙන එන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ වැඩිහිටි කෙනෙකුගේ රෝග ලක්ෂණ ආශ්‍රිත ලක්ෂණ තමයි අපි දරුවන්ගෙනුත් දකින්නේ. ෆෝන් එක නොදුන්නම ඇඟට අපහසුතා දැනෙනවා, දෙමාපියන්ට ගහන්න පනිනවා, මැරෙන්න උත්සාහ කරනවා. සීමාවක් යටතේ දරුවන්ට දුරකථනයක් ලබා දෙනවනම් දෙමාපියන්ටම දරුවන් මේ මානසිකත්වයෙන් මුදවා ගන්න හැකියාව තියෙනවා.   


ඒ වගේම තමයි කොවිඩ්වලින් සමීපතමයින්, දෙමාපියන් මියයාම සහ මවුපියන් කොරෝනා රෝගයට ගොදුරු වී මිය යයි කියන බය මත දරුවන් මානසික රෝගවලට ගොදුරුවෙලා තියෙනවා. එවැනි බොහෝ කාරණා එක්ක කොරෝනා වෛරසය ගැන නොතකා කටයුතු කරන බොහෝ දෙනා මේ කරුණු අවධානයට ගත යුතුයි. කොරෝනා මාරාන්තිකයි. කොරෝනා අසාධ්‍ය වෙලා මිය නොගියත් එයින් සිදුවන දිගුකාලීන කායික මානසික රෝගයන්ට ගොදුරුවීම කොරෝනා ආසාදනය වූවාට වඩා භයානක තත්ත්වයක්. ඒ භයානකකම අපි මේ මොහොත වෙනකොට අත්විඳිනවා. ඔබට ඔබේ සමීපතමයකුට ඉහත රෝග ලක්ෂණ තියෙනවානම් නොපමවාව 1926 කියන දුරකථන අංකය ඔස්සේ මානසික වෛද්‍යවරයකු සම්බන්ධ කර ගැනීමට දැන් නොමිලේ පහසුකම් සපයා තිබෙනවා.   

 

සටහන   
නදීශා අතුකෝරළ