IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව සියල්ල අත්පත් කර ගනියි


ශූරයන් ගේ කුසලානය නිමා වූයේ - ඉන්දියාවට තවත් අයි.සී.සී. ශූරතාවක් ලබා දෙමිනි. 

මේ තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේ සිටම ඉන්දියාව එයට අකුල් හෙළීම කැපී පෙනුණි. අවසානයේ ඉන්දියාව අවසන් තරගයට පැමිණෙමින් පාකිස්ථානයේ පැවැත්වීමට තිබූ අවසන් තරගයද ඩැහැගත්තේ ය. මෙහි විශේෂත්වය නම් අවසන් තරගය ඉන්දියාව සහ පාකිස්ථානය අතර වූයේ නම් - එවර ද ඩුබායි හි අවසන් තරගය පැවැත්වීමයි. ඒ ඉන්දියාව ක්‍රිකට් පිටියේ තමන්ගේ බල පරාක්‍රමය විහිදා ඇති ආකාරයයි. 

අයි.සී.සී සභාපති ඉන්දියානු ජාතික ජේ. ෂා අතින් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ශූරයන් ගේ කුසලානය ලබා ගනිද්දී තරගාවලියට එක් වූ පාකිස්ථානය ඇතුළු අනෙක් රටවල් ක්‍රිකට් ව්‍යාපාරය නිවැරදිව නොකිරීම සම්බන්ධයෙන් කනගාටු නොවූවා නම් පුදුමය. 

සමස්ත තරගාවලිය පුරාම දැකගත හැකි වූයේ පාකිස්ථානයේ පිටි සහ ඩුබායි තණතිල්ල අතර වෙනසයි. පාකිස්ථානයේ පිටි පිතිකරුවන්ට වාසි වෙද්දී ඩුබායි තණතිල්ල දඟපන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙනාවේය. මේ අනුව දඟපන්දු යවන්නන් සිව් දෙනෙකු සමග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දියාවට උදාවිය. ඉන්දීය දඟපන්දු යවන්නන්ට ඉතාම හොඳින් ක්‍රීඩා කරන නවසීලන්තය පවා දඟපන්දු යවන්නන් සිව් දෙනෙකු ඉදිරියේ තමන්ගේ තරග සැලැස්ම නිවැරදිව ඇඳ ගැනීමට නොහැකි වී අසරණ වනු දැක ගත හැකි විය. මේ තරගාවලිය සැලසුම් කළ ආකාරයටම පාකිස්ථානයේ දී පැවැත් වූයේ නම් බොහෝ විට නවසීලන්තය හෝ දකුණු අප්‍රිකාව තරගාවලියේ ශූරයන් වීමට ඉඩ තිබුණි. එසේ කියන්නේ පාකිස්ථානයට ගැළපෙනම කණ්ඩායම් දෙක ඔවුන් වීම නිසාය. එහෙත් සිදුවූයේ ඉන්දියාවට අවශ්‍යම දෙයයි. 

එක් රටක් තමන්ට අවශ්‍ය ආකාරයෙන් ක්‍රීඩාවේ ප්‍රධානීන් හසුරවන එකම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස පෙනෙන්නේ ක්‍රිකට් ය. වෙනත් කිසිම ක්‍රීඩාවක මේ ආකාරයෙන් දැවැන්ත පීඩනයක් එල්ල කරන රටක් නොමැත. එහෙයින් ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම මේ පීඩනය තමන්ට එල්ලවන බව දැනගෙන ක්‍රීඩා කළ යුතුය. මහත්වරුන්ගේ ක්‍රීඩාව වුවත් මෙය “දෝතිය”ට යටත් බව තේරුම් ගත යුතුය. 

මෙවර ශූරයන්ගේ කුසලානයේ තරගාවලියේ වීරයා වූයේ රචින් රවීන්ද්‍රා ය. එක් පැත්තකින් ඔහුද ඉන්දියානු සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් රවීන්ද්‍රා තරගාවලිය පුරා ඉතා සාර්ථකව ක්‍රීඩා කළේය. ඩෙවන් කොන්වේට නවසීලන්ත කණ්ඩායමේ ස්ථානය අහිමි කිරීමට පවා රවීන්ද්‍රා සමත් වූයේය. මේ නිසා අනාගත නවසීලන්ත එක්දින පිටියේ වටිනාම ක්‍රීඩකයා වීමට රවීන්ද්‍රාට හැකි බව පෙනෙන්නට තිබේ. තරගාවලියේ අවාසනාවන්තම කණ්ඩායම පාකිස්ථානයයි. තරගාවලියේ සත්කාරක කණ්ඩායම වී ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට ඩුබායි බලා යාමටත් ඔවුන්ට සිදුවිය. එපමණක් නොව අවසන් තරගය හෝ දැක ගත නොහැකි වූ ඔවුන්ට එකදු තරගයක් හෝ ජයගැනීමට නොහැකි වීමද අතිශය අවාසනාවන්ත තත්ත්වයක් විය.

ඔවුන්ගේ සැලසුම් සියල්ල විනාශ වී ගිය අතර මේ තරගාවලිය පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට වාසනාව ගෙන එන්නේ යැයි විශ්වාස කළ ද එය පාකිස්ථානයේ විනාශයට හේතුවක් විය හැකි බව දැන් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. 

බ්ලූම්ෆීල්ඩ් පුහුණු කරු තරංග ධම්මික

තරගාවලියේ ප්‍රතිඵලයෙන් දැඩිව බැටකන අනෙක් කණ්ඩායම එංගලන්තයයි. ඔවුන් ද මෙවර එකම තරගයක් හෝ ජය ගැනීමට නොහැකි කණ්ඩායම විය. පැහැදිලි දක්ෂතා ඇති එංගලන්තයට මේ තරගාවලියේ දී සිදුවූ දෙය ක්‍රිකට් විචාරකයන්ට පවා තේරුම් ගත නොහැකි තත්ත්වයකි. ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පරාජය කිරීමට ආචර්, වූඩ් සහ රශිඩ් ගෙන් මූලිකත්වය ගත් එංගලන්ත පන්දු යවන්නන්ට නොහැකි වීම ඇෆ්ගනිස්ථානයේ දියුණුවකටත් වඩා එංගලන්තයේ පසුබෑමක් ලෙස සඳහන් කළ යුතු වෙයි. 

අයි.සී.සී. තරගවල අවසන් වට සඳහා තමන්ගේ සුදුසුකම නිරන්තරයෙන් පෙන්වූ නවසීලන්තය මෙවර ද එය කළේය. දකුණු අප්‍රිකාව අයි.සී.සී. තරගාවලිහිදී තමන් අත්කර ගන්නා සුපුරුදු ඉරණම මෙවරද ළඟා කරගත්තේය. විශේෂයෙන් නවසීලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය තරග සැලසුම් නොමැතිකමින් දකුණු අප්‍රිකාව අහිමි කරගත් තරගයක් විය. එම තරගයට ශම්ෂි ක්‍රීඩා නොකිරීමේ පාඩුව දකුණු අප්‍රිකාවට දැනුනේ පළමු ඉනිම අවසානයේ දීය. 

කුමන තත්ත්වයක වුවද ඉන්දීය කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම සහ දක්ෂතාව ගැන නොලියා බැරිය. රෝහිත්, විරාත්, රාහුල්, අයියර් මේ සියලු පිතිකරු තමන්ට බර පැටවෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වූහ. හර්දික් පාණ්ඩ්‍යා නියම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ගේ ලක්ෂණ පෙන්වූයේය. දඟ පන්දු යවන්නන් සිව් දෙනාට මොහොමඩ් ෂාමි ගෙන් උපරිම සහාය ලැබුණි. ඒ අනුව මෙවර ශූරයන්ගේ කුසලාන ජයග්‍රහණය ඉන්දියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගේ දක්ෂතාවක් නොව සමස්ත කණ්ඩායමේ ම දක්ෂතාව ලෙස දැක්විය හැකිය. එය පරිපූර්ණ කණ්ඩායමක ලක්ෂණයකි. 

මේ තරගාවලිය රටවල් දෙකක තණතිලි වර්ග දෙකක පැවැතීම නිසා මේ තරගාවලිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට කළ වෙනස ගැන අදහසක් ගැනීම අපහසුය. එහෙත් පාකිස්ථානයේ පැවැති තරග වලදී කැපී පෙනුණේ තව දුරටත් වේග පන්දු යවන්නන් ගේ වේගයට පිතිකරුවන් මෙල්ල කිරීම අපහසු බවය. ඒ වෙනුවට වඩාත් කල්පනාවෙන් පන්දු යවා පීඩනය ඇති කිරීමෙන් වාසි සලසා ගත හැකි බව මේ තරගාවලිය පෙන්වා දුන්නේය. අනෙක් අතින් ෂ්‍රෙයාස් අයියර් ඉන්දීය මැද පෙළ හසුරවාගත් ආකාරයත්, රාහුල් ඉතාම කල්පනාකාරීව ක්‍රීඩා කළ ආකාරයත්, බොහෝ කණ්ඩායම්වලට ආදර්ශයකි. මේ තරගාවලියේ දී මතු වූ තවත් වැදගත් දෙයක් වූයේ පන්දු රැකීමෙන් තරග වෙනස් කළ හැකිය යන මතය නැවතත් තහවුරු වීමයි. නවසීලන්තය එහිදී ඉදිරියෙන්ම සිටි අතර, ඔවුන්ගේ පන්දු රැකීම ලෝක ක්‍රිකට් පිටියේ වෙනම තලයක ඇති එකක් ලෙස පෙනුනි. එලෙසම ඕනෑම කණ්ඩායමකට නායකයාගේ තීරණ ගැනීමේ හැකියාව බලපෑම් කරන බව ද, මේ තරගාවලියේ දී දැක ගත හැකි විය. දකුණු අප්‍රිකාවේ පරාජය නායකයා නිසා සිදුවූ බව පෙනෙන්නට තිබුණි. රෝහිත් සහ සැන්ට්නර් ඊට වඩා බොහෝ වෙනස් විය. 

මෙම තරගාවලියෙන් පසුව පැවැත්වෙන එකම ද්වීපාර්ශ්වික තරගාවලිය වනු ඇත්තේ නවසීලන්තය සහ පාකිස්ථානය අතර නවසීලන්තයේ දී පැවැත්වෙන තරගාවලියයි. මේ තරගාවලියට දැඩි ලෙස අයි.පී.එල්. තරගාවලියේ බලපෑම එල්ලවනු ඇත. මේ තරගාවලියේ දී නවසීලන්තයේ ප්‍රධාන ක්‍රීඩකයන් රැසක් දැක ගැනීමට නොහැකි වනු ඇත. එහෙත් ඉදිරි සති හතක කාලය අයි.පී.එල් තරග සඳහාම වෙන්වනු ඇත. 

ලෝක ක්‍රිකට් එසේ වෙද්දී මෙවර ශ්‍රී ලංකාවේ අන්තර් සමාජයීය ලීග් ශූරතාව දිනා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වූයේය. ඒ වසර 15 කට පසුවය. තරංග ධම්මික බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස සිටිය දී අවසන් වරට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ජයගත් අතර, මෙවර ධම්මික ප්‍රධාන පුහුණුකරුවී සිටියේය. ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ සුවිශේෂ පුහුණුකරුවෙකු වන තරංග ධම්මික මේ වනවිට ලීග් ශූරතා හතරක් දිනූ පුහුණුකරුවෙකි. සී.සී.සී. කණ්ඩායම සමග 2018-19, 2019-20, 2022-23 යන ශූරතා (20-21, 21-22 කොවිඩ් වසංගතය නිසා තරග නොපැවැත්වුණි) නොකඩවා දිනා ගැනීමට තරංග ධම්මික සමත් විය. එයින් පසුව මෙවර යළිත් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමග ඔහු ශූරයා විය. 

තරංග ගේ සුවිශේෂත්වය වන්නේ ඔහු කණ්ඩායම තුළ ඇති කරන එකමුතුව සහ තරුණ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඔහු තුළ ඇති විශ්වාසයයි. සී.සී.සී. කණ්ඩායම සමග සිටියදී ඔහු ජාතික ක්‍රීඩකයන් රැසක් සමග සිටි තරුණ ක්‍රීඩකයන්ව එකම තලයකට ගෙන ඒමට සමත් විය. චමිඳු විජේසිංහ, පවන් රත්නායක, සොනාල් දිනූෂ වැනි ක්‍රීඩකයන් ඔහු ඉදිරියට ගෙන ආවේය. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමග ඔහු අලුත් ක්‍රීඩකයන් රැසකට ඉදිරියට ඒමට අවස්ථාව ලබා දුන්නේය. 

රටේ ක්‍රිකට් හදන්නේ මෙවැනි පුහුණුකරුවන්ය. ඔවුන් ඔපදමන සම්පත් ජාතික කණ්ඩායමේ දී දිදුලයි. මේ නිසාම තරංග ධම්මික වැනි පුහුණුකරුවන් වැඩි වශයෙන් ඇගයීම අත්‍යවශ්‍ය වෙයි. ඔවුන්ගෙන් ජාතික කණ්ඩායම වැඩ ගන්නවාද නැද්ද යන්න වෙනම කතාවකි. එහෙත් ඔවුන්ට දැනෙන්නට යමක් දී ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර තව තවත් ඔවුන් දිරිමත් කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට අතිශය වැදගත් වනු ඇත. 


කාංචන දසනායක


 



අදහස් (0)

ඉන්දියාව සියල්ල අත්පත් කර ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31159 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13295 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site