IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අහසේ දී කඩා වැටුණු බිමට නොවැටුණු ගුවන් යානය

අහසේදී කඩාවැටුණු බිමට නොවැටුණු ගුවන් අනතුරකට මුහුණදුන් යානයක් ගැන පසුගියදා අසන්නට ලැබිණ. 
හිතන්න, ඔන්න දැන් ඔබ දිගු ගුවන් ගමනක යෙදෙමින් සිටිනවා කියා. ගුවන් ගමන සාමකාමීය. ආසනපටි ගලවලා, ඔබ ආහාර රස බලමින් සිටී. නැතිනම් කෝපි කෝප්පයක් හෝ තේ කෝප්පයක් හෝ සැර බීම වීදුරුවක් හෝ තොල ගාමින් සිටී. ඔබ ආසන පටි ගලවා දමා ඇත්තේ, රිසි පරිදි පහසුවෙන් අසුන් ගෙන සිටිය යුතු නිසයි. හිටිහැටියේ ගුවන් යානය දෙදරන්නට පටන් ගනී. සාමාන්‍යයෙන් ගුවන් යානා මෙසේ දෙදරීමකට හෝ ගැස්සීමකට ලක් වෙයි. එය සිදුවෙන්නේ සෙමින් සෙමිනි. යානය දිගින් දිගටම ගැස්සෙන්නේ නම් ආසන පටි පැලඳගන්නැයි පවසන සංඥාව ඔබ ඉදිරියෙන් දැල්වෙයි. නැතිනම් එසේ කරන්නැයි නියමුවන් සහ ගුවන් සේවිකාවන් ඔබට දැනුම් දෙයි. ඒත්, පෙර දැනුම්දීමකින් තොරව, ගුවන් යානය එක පාරටම පහළට කඩා වැටුණොත්? එය ඔබ අහසට රැගෙන ගොස් අත හැරියා වගේ අත්දැකීමක් වෙනු නිසැකය. කාපු බීපු දේවල් එළියට එනවා වගේ දැනෙන්න ගනීවි. එය ඇඟ කිලිපොළා යන විදිහේ බිහිසුණු අත්දැකීමක් වේවි. අසුරු සැණින්, හදිසියේම පහළට වැටෙද්දී, ආසන පටි නැතිව ආසනවල සිටින හැමෝම ඉහළට විසි වේවි. තුවාල වේවි. පසුගිය දා අපට අසන්න ලැබුණේ ද මීට පෙර අසන්න ලැබුණේ මෙවැනි සිදුවීමකි.”


ලොව ආරක්ෂිතම ප්‍රවාහන සේවය ලෙස සැලකෙන්නේ ගුවන් යානාය. ඒ අතරින් ද ගුවන් ගමන් ආරක්ෂාව අතින් අංක එක ලෙස සැලකෙන ගුවන් සේවයක් වෙන්නේ සිංගප්පූරු ගුවන් සේවයයි. පසුගිය 20 වැනිදා, සිංගප්පූරු ගුවන් සේවයට අයත්, එස්කියු 321 ගුවන් යානය, මගීන් 221 සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 18 දෙෙනකු ද සමග ලන්ඩන් නුවර හීත්රෝ ගුවන්තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කිරීම අරඹා තිබුණි. යානයේ සිටි වැඩි දෙනා ඕස්ට්‍රේලියානු ජාතිකයන්ය. යානයේ සිටි ඕස්ට්‍රේලියානුවන් ගණන 56 කි. බ්‍රිතාන්‍ය ජාතිකයන් ගණන 47 කි. සිංගප්පූරු වැසියන් ගණන 41 කි. නවසීලන්ත ජාතිකයන් ගණන 23 කි. ඊට අමතරව ඇමෙරිකානුවන් සිවු දෙනෙක් ද යානයේ ගමන් කරමින් සිටියහ. මැලේසියා, පිලිපීන, අයර්ලන්ත, ඉන්දීය, දකුණු කොරියානු, අයිස්ලන්ත, ඊශ්‍රායල, ජර්මන්, ස්පාඤ්ඤ, කැනඩා මගීහු ද යානයේ වූහ. බොහෝ දෙනෙකු යානයේ සිටියේ සිංගප්පූරුවේදී වෙනත් ගුවන් යානයකට මාරු වීමේ අරමුණෙනි.
එස්කියු 321 යානය, ලන්ඩන් නුවරින් ගුවන්ගත වූයේ ලන්ඩන් වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණය. පැය 12 ක හෝ 13 ක ගුවන් ගමනකින් පසු යානය සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළට ළං වීමට නියමිත විය. ඒත් එය එසේ නොවිණි. යානය ගමනාන්තයට ආසන්න වෙද්දී, මියන්මාරයට ඉහළින් ගුවන් කලාපයේ පියාසර කරමින් තිබියදී, හිටිහැටියේ දෙදරන්නට ගත්තේ, යානයේ නියමුවන් සහ මගීන්ට හිටිහැටියේ පුදුමයට පත් කරමිණි. ඒ සැණින්, යානය පහළට ඇද වැටෙන්නට විය. එය කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයකි. මිනිත්තු 3 ක් ඇතුළත, අඩි 6,000 ක් පහළට එකවර වැටෙන්න පටන් ගත්තේය. යානය පියාසර කරමින් තිබුණේ අඩි 37,000 ක් ඉහළිනි. එය අඩි 31,000 තෙක් පහළ වැටුණි. 
“හිටිහැටියේ ගුවන් යානය පහළට වැටෙන්න පටන් ගත්තා. යානය ගැහෙන්න ගත්තා. මොකද වුණේ කියා හිතා ගන්නවත් බැහැ. යානය කඩා වැටෙනකොට මම බය වුණා. මේ හැමදේම වුණේ හිටිහැටියේ. අසුන් ගෙන ආසන පටි පැලඳ නොසිටි සියලු‍ දෙනා යානයේ ඉහළට විසිවුණා. ඔවුන් සිවිලිමේ හැපුණා. යානය ඇතුළේ කවුරුත් වගේ කෑ කෝ ගසමින් බෙරිහන් දෙන්න වුණා. යානයේ බඩු මුට්ටු, පිඟන් කෝප්ප, බෝතල් ආදී සියල්ල විසි වෙන්න ගත්තා. නිදියාගෙන සිටි බොහෝ දෙනකුට කිසිවක් කර කියා ගන්න බැරි වුණා. තුවාල ලැබූ බොහෝ දෙනෙකු යානය පහළට වැටෙද්දී නිදාගෙනයි සිටියේ” යැයි යානයේ සිටි මගි​ෙයකු වූ සෆ්රාන් අස්මීර් එම බිහිසුණු අත්දැකීම බීබීසීයට පැවැසුවේය.
මිනිත්තු කීපයකට පසු මගී යානය යළි නියමුන්වන්ගේ පාලනයට නතුවීමත් සමග සියල්ල සන්සුන් විය. යානයේ ප්‍රධාන නියමුවා, මගීන් සහ කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ යානය වායු කැලැඹීමකට මුහුණ දුන් බවය. ආසන පටි නොපැලඳ සිටීම නිසා විසි වී යානයේ සිවිලිමේ හැපී තුවාල ලැබූ බොහෝ දෙනෙකු විය. ගුවන් සේවිකාවෝ වහා ඔවුන්ට සහාය වීමට පටන් ගත්හ. එක් සුදු ජාතිකයෙකු සිටියේ සිහිසුන්වය. ඔහුගේ තත්ත්වය බරපතළ බව පෙනුණි. යානයේ තුවාලකරුවන් සිටින බව නියමුවන් දැනුවත් කෙරුණු සැණින්, නියමුවන් ඒ බව ගුවන් පාලන අධිකාරියට දැනුම් දුන්නේය. යානය හදිසි ගොඩබෑමකට යා යුතු විය. ප්‍රධාන නියමුවා යළි මගීන් අමතමින් කියා සිටියේ, යානය තායිලන්තයේ බැංකොක් ස්වර්ණභූමි ගුවන්තොටුපොළට හරවා යන බවත් හදිසි ගොඩබෑමක් සිදු කරන බවත්ය. යානය බැංකොක් ගුවන්තො ටුපොළට පැමිණෙද්දී, ගිනි නිවන භටයන්, ගිලන් රථ සහ වෛද්‍ය ආධාරකරුවෝ සීරුවෙන් සිටියහ. ඒ වෙනවිටත් සිහිසුන් වුණු සුදු ජාතිකයා මියගොස් සිටියේය. ඔහු වයෝවෘද්ධ තැනැත්තෙකි. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු මගීන් පළමුවෙන් ගිලන් රථවලට පටවා පිටත් කර හැරීම සිදුවිය. සුළු තුවාලකරුවන්ට ඉන්පසු ප්‍රතිකාර ලැබුණු අතර ඔවුන් ද රෝහල් වෙත රැගෙන යෑම සිදුවූයේ ගිලන්රථවලිනි. බැංකොක් නුවර සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සියල්ල සිදුවිය. ජෙෆ් කිචන් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා මියගියේ හෘදයාබාධයකින් බව පැවැසිණි. ඔහු 73 හැවිරිදි අ​ෙයකු බවත් පැවැසිණි. 
සිංගප්පූරු ගුවන් සේවයේ, එස්කියු 321 ගුවන් යානයට හිටිහැටියේ සිදුවූයේ කුමක්ද? මෙය ලොව ප්‍රධාන පුවතක් බවට පත් විය. ගුවන් යානා, ඉහළ අහසේ පියාසර කරද්දී, වායු කැලඹීම් අතරින් ගමන් කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙහිදී හටගෙන ඇත්තේ දරුණු සුළිකුනාටුවකට සමාන කැලඹීමකි. මෙවැනි වායු කැලඹීම් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ටර්බියුලන්ස් කියාය. මෙවැනි වායු කැලැඹීම් සහ වායු රික්තක නිර්මාණය වෙන්නේ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති විටය. වැසි කුණාටු තත්ත්වයක් ඇති විට,  ඉදිරියේ ඇති වලාකුළු කැරැකෙමින් වායු කැලඹීමක් සිදුවෙන ආකාරය නියමුවන්ට පෙනෙයි. ගුවන් යානාවල කාලගුණයේ වෙනස්වීම් හඳුනාගෙන අනතුරු ඇඟවීම් කළ හැකි ආකාරයේ අනතුරු ඇඟවීම් පද්ධති බොහොමයක් ද ක්‍රියාත්මක වෙයි. ඒ අනුව, ඔවුහු ඒ බව මගීන්ට සහ කාර්ය මණ්ඩලයට දැනුම් දෙති. ඒ, ආසන පටි පලඳින්නැයි උපදෙස් දෙමිනි. ඒත් සිංගප්පූරු ගුවන් යානයේ නියමුවන්ට එවැනි වායු කැලඹීමක් දකින්න ලැබුණේ නැත. ඉදිරියේ කාලගුණය අයහපත් යැයි යානයේ අනතුරු ඇඟවීම් පද්ධති මගින් අනතුරු ඇඟවීම් කළේ ද නැත. සියල්ල සිදුවූයේ අනපේක්ෂිතවය‍. 


පියවි ඇසට නොපෙනෙන වායු කැලඹීම් ඇත. යානයේ ඇති කාලගුණ වෙනස්කම් හසුවෙන උපාංගවලට පවා මෙවැනි කැලඹීම් හඳුනා ගත නොහැකිය. සිංගප්පූරු ගුවන් යානය මැදි වූයේ එවැනි වායු කැලඹීමකටය. කාලගුණ විද්‍යාඥයන් මෙම කාලගුණ තත්ත්වය හඳුන්වන්නේ ක්ලියර් එයාර් ටර්බියුලන්ස් හෙවත් අදිසි වායු කැලඹීම් කියාය. මෙවැනි වායු කැලැඹීමක් නිර්මාණය වෙන්නේ ජෙට් ස්ට්‍රීම්ස් යනුවෙන් හැඳින්වෙන වායු දහරා නිසාය. මෙම පටු වායු දහරා පැයට කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පෘථිවිය වටා කැරකෙයි. එක් වායු දහරාවක් තවත් වායු දහරාවක් සමඟ ගැටෙද්දී, වායු කැලැඹීම් (ටර්බියුලන්ස්) නිර්මාණය වෙයි.
 

වලාකුළු නොමැති නම්, උණුසුම් හෝ සීතල මෙම වායු දහරා කැලඹීමක් සිදුවෙන බව පියවි ඇසට දකින්න ලැබෙන්නේ නැත. මෙවැනි වායු කැලඹීමකට හසුවෙන ගුවන් යානයක් පහළට වැටෙයි. යානයට හොඳින් සම්බන්ධ කර නැති සියලු‍ දේ යානය පුරා විසිරෙන්නට පටන් ගනී. මෙවැනි අදිසි වායු කැලඹීම් ගැන වැඩි වැඩියෙන් අපට අසන්නට ලැබෙයි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, මෙවැනි අදිසි වායු කැලඹීම් ඇති වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස වාතය වඩ වඩා උණුසුම් වී සිදුවෙන කාලගුණ විපර්යාස හේතුවෙන් බව ද පැවැසෙයි. ගුවන් යානා වායු කැලඹීම්වලට මුහුණ පා ඒවායේ සිටින මගීන් තුවාල ලැබීම ගැන විටින් විට පුවත් වාර්තා වී ඇති නමුත් මෙවැනි ආකාරයේ අකරතැබ්බයකට ගුවන් යානයක් මුහුණ දුන් බව අපට අසන්න ලැබුණේ කලාතුරකිනි. එහෙත් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමක් කර ඇත්තේ ඉදිරියේ දී මෙවැනි වායු කැලැඹීම්වලට මුහුණ දෙන ගුවන් යානා ගැන අපට වැඩි වැඩියෙන් අසන්න ලැබෙනු ඇති බවය. ගුවන් යානයක ආසන පටි ඇත්තේ හේතුවක් ඇතිවය. දුර ගුවන් ගමනකදී ආසන පටි පැලඳ දිගටම අසුන් ගෙන යෑම අසීරු බව සැබෑවකි. එහෙත්, සිංගප්පූරු ගුවන් යානයට සිදුවුණු අකරතැබ්බය සිහිවෙද්දී, සැමවිටම ආසන පටි පැලඳ සිටීම වඩා හොඳය.
අකරතැබ්බයට මුහුණ දුන් සිංගප්පූරු ගුවන් සේවයට අයත් අංක එස්කියු 321 යානය සම්බන්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධානී ගෝ චූන් පොංග්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එය ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවය. යානයේ තුවාල ලැබූ මගීන් සියලු‍ දෙනාට කනගාටුව පළ කරමින්, ගුවන් සේවය වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කිරීමට ද ගෝ චූන් පොංග් කටයුතු කළේය. සිංගප්පූරු ගුවන් සේවයේ වසර 24 ක ඉතිහාසයේ මෙවැනි මාරක අනතුරක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි. යානයේ සිට තුවාල ලැබූ මගීන් 71 දෙනෙක් තවමත් බැංකොක් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිති. තුවාල ලැබූවන් රෝහලට යැවීමෙන් පසු, එදිනම රාත්‍රියේ යානයේ සිටි සෙසු මගීන් 143 දෙනා වෙනත් ගුවන් යානයකින් ඔවුන්ගේ ගමනාන්තය වූ සිංගප්පූරුවට රැගෙන යෑම සිදුවිය. සිදුවුණේ කුමක් දැයි සොයා බැලීමට සිංගප්පූරු නව අග්‍රාමාත්‍ය ලොරන්ස් වොංග් තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ඇරඹිණි. 



අදහස් (0)

අහසේ දී කඩා වැටුණු බිමට නොවැටුණු ගුවන් යානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site