සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

නීතිපති සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2019 වසරේ සිට 2024 වසර දක්වා ඉල්ලා අස්කර ගත් නඩු 102 කින් නඩු 34ක් නැවත නොපැවරීමට තීරණය කර ඇතැයි අගමැති, ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (9දා) පැවසුවාය.

මින් නඩු 65ක් නැවත පවරා ඇති බව පැවසූ අගමැතිවරිය,  පාර්ලිමේන්තුවේ දැනට සිටින සහ හිටපු බලවත් අයට එරෙහිව නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන් කළාය. ඇය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නඩු පැවරීමේදී කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා නොකරන බවත් එසේ ආරක්ෂා කරන්නේ නම් රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව පවත්වාගෙන නොයන බවත් ඇය කීවාය. 

අගමැතිවරිය මෙසේ ද පැවසුවාය.

“2019 වසරේ සිට 2024 දක්වා ඉල්ලා අස්කර ගත් නඩු සංඛ්‍යාව 102ක්. ඊට පසු 65ක් නැවත පවරලා තියෙනවා. නැවත නොපැවැරීමට තීරණය කර ඇති නඩු සංඛ්‍යාව තිස් හතරක්. නැවත නඩු පැවරීමට සලකා බලමින් සිටින සංඛ්‍යාව තුනයි.

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා : බලවත් පුද්ගලයන්ගේ නඩු,  දේශපාලන බලය තියෙන පුද්ගලයන්ගේ නඩු, තාක්ෂණික හේතු බව කියමින් අල්ලස් කොමිසම  සහ නීතිපතිවරයා ඉල්ලා අස්කර ගත්තා. සමහර තාක්ෂණික හේතු බැලුවම සැකකරුවන්ට විත්තිකරුවන්ට වාසි වෙන විදියට කළාද කියන සැකය මතු වෙනවා. අසාමාන්‍ය ලෙස ඉල්ලා අස් කර ගැනීම් සිදුවුණා. ඒ නඩු පූර්ණ කාලය පුරාම නැවත පැවරීමක් වුණේ නැහැ. බරපතළ  දේශපාලන පොරොන්දුවක් මේ අනුව කඩ වෙනවා. දේශපාලනය හා සම්බන්ධ විශාල මුදල් හා සම්බන්ධ ඉතාම බරපතළ නඩු එකක්වත් මේ වන තෙක් නැවත පවරලා නැහැ. අඩු නඩු සංඛ්‍යාවක් පමණයි පවරලා තියෙන්නේ. මේ සභාවේත් සමහර සැකකාරයෝ ඉන්නවා. බරපතළ දූෂණ පිළිබඳ නඩු නොපැවරීම ගැන ඔබතුමියට කරුණු පැහැදිලි කරන්න පුළුවන්ද?.

අගමැතිනි හරිනි අමරසූරිය: 65 කට නඩු  නැවත පවරලා තියෙනවා. අපි කවුරුත් ආරක්ෂා කරන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සහ හිටපු බලවත් අයට විරුද්ධව නඩු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. සමහර නඩු ඉතාමත් පරණයි. පරණ සිද්ධි ගැන නඩු. මේ නිසා යම් කාලයක් ගතවෙනවා. මේ දක්වා ලබපු ප්‍රගතිය බැලු‍වම ඒ ප්‍රශ්නය සාධාරණ නැහැ. තරාතිරම බලල නෙවෙයි අපි විමර්ශන පවත්වන්නේ. අරගන්න පුළුවන් සියලු‍ පියවර ගන්නවා.

මන්ත්‍රී අජිත් පී. පෙරේරා: ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරියේ තිබුණු නඩුව ඔහු ජනාධිපති මුක්තිය පාවිච්චි කරලා අස්කර ගත්තා. ඔහුට දැන් මුක්තිය නැහැ. නැවත පවරන්න පුළුවන්. හොඳට සාක්ෂි තිබුණ නඩුවක්. අද වෙනතුරු නඩු පවරලා නැහැ. තරාතිරම ඉහළයි, සිද්ධිය බරපතළයි. නීතිය  අනුව දැන්  මුක්තිය නෑ.

හිටපු මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍ර්රාල් මහතා සම්බන්ධ ග්‍රීක බැඳුම්කර සම්බන්ධ නඩුව ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඉල්ලා අස් කර ගත්තා. ගෙවන්නේ නැහැ කියද්දී තමයි ඉල්ලා අස්කර ගත්තේ. ඉල්ලා අස් කර ගැනීමේ ක්‍රීඩාව තාම සිද්ධ වෙනවා. තෝර තෝරා තරාතිරම අනුව තමයි නඩු පැවරීම් සිද්ධ වෙන්නේ. ඔබතුමිය ආණ්ඩුව වශයෙන් සොයා බලන්න.

අගමැතිනි හරිනි අමරසූරිය: ඔබතුමා  කියන කාරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ. ආරක්ෂා කරනව නම්  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යන්නේ නැහැ. කවුරුත් ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුව බැඳිලා නැහැ. එදා චූදිතයන් ආරක්ෂා කරපු අයම අපි හරියට මේක කරනකොට මේ විදිහට ප්‍රශ්න කිරීම විහිළුවක්. මම පුදුම වෙනවා.