
(අංජුල මහික වීරරත්න)
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අස්වනු ආරක්ෂා කර ගැනීම සඳහා තෝරා ගත් නිත්‍ය ජලාශවල දැල් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත පෝෂදායී ආහාර වේලක් ලබා දීම සඳහා මිරිදිය හා ජලජීවී වගාව මඟින් විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. එහෙත්, රට අභ්‍යන්තරයේ ඇති පලාශ පිටාර ගැලීමේදී මෙන්ම සොරොව් හරහා එම ජලාශ වල ජලය මුදා හරින අවස්ථා වලදී මසුන් ඉවතට ගසාගෙන යෑම මිරිදිය මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩු වීම කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.
එක් මිරිදිය ජලාශයකින් වසරකට කිලෝ ග්‍රෑම් 20,000-40,000 අතර ප්‍රමාණයක මසුන් මෙසේ මිනිස් පරිභෝජනයට ගැනීමට පෙර ඉවත යන බව හඳුනාගනු ලැබ තිබේ. පරිණත වූ මසුන් ඉවතට ගසා ගෙන යාම, මත්ස්‍ය ගහණය අඩු වීම කෙරෙහි සහ අභිජනන හැකියාව ඇති මසුන් ඉවත් වීමෙන් අනාගත මත්ස්‍ය තොගවල සීඝ්‍ර අඩු වීම කෙරෙහි බලපාන බව පෙන්වා දී ඇත.
එබැවින්, මිරිදිය මත්ස්‍ය අස්වැන්න අහිමි වීම වැළැක්වීම සඳහාත්, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සඳහාත් වසර 2 ක් තුළ තෝරා ගත් නිත්‍ය මිරිදිය ජලාශ 250ක බාධක දැල් ස්ථාපනය කිරීමේ වැඩ සටහනක් ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

