උපුල් වික්‍රමසිංහ
වසර 2018 න් පසු වැඩිම සංචාරකයන් පැමිණි වර්ෂය බවට පත් වෙමින් 2024 වසරේ දෙසැම්බර් 26 වැනි දින සංචාරක පැමිණීම් ලක්ෂ විස්ස වාර්තා විය. ඒ අනුව 2018 වසරේ දී දිවයිනට පැමිණි මුළු සංචාරකයන් ගණන වූ 2,333,796 ට පසු ලක්ෂ විස්ස පසු කළ පළමු වතාව මෙය වේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව මෙම වසරේ වැඩිම සංචාරක පැමිණීම් වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසයේ වෙන අතර එම අගය 218,350 කි. ඊට අමතරව ජනවාරි මාසයේ 208,253 ක් ද මාර්තුවල 209,181 ක් ද දෙසැම්බර් මස පළමු වැනිදා සිට 25 වැනිදා දක්වා 191,465 ක් ද වශයෙන් සංචාරක පැමිණීම් වාර්තා වී ඇත.
මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් 25 දක්වා ගත වූ කාලයේ දී මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව ද එම අධිකාරියේ දත්ත හෙළි කරයි. ඒ අනුව එරටින් පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 406,433 කි. රුසියාවෙන් 193,505 ක් ද එක්සත් රාජධානියෙන් 173,898 ක් ද ජර්මනියෙන් 132,570 ක් ද චීනයෙන් 130,132 ක් ද වශයෙන් සංචාරක පැමිණීම් වාර්තා වී තිබේ.
වසර 2025 වෙන විට මිලියන 3 ක සංචාරක පැමිණීම් හා ඩොලර් බිලියන 5 ක ආදායමක් රජය අපේක්ෂා කරයි.