අඛණ්ඩව ව්‍යාප්ත ​ෙවන රෝග පහක් පාලනය අසාර්ථක වෙයි


ඉන්දික හේවාවිතාරණ
ඩෙංගු ඇතුළු රෝග 05 කට අදාළව රෝගීන් වසර පුරා වාර්තා වෙමින් තිබෙන නිසා මේවා පාලනයට හා  වැළැක්වීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

පැපොල, ඩෙංගු, මී උණ, මොළයේ උණ සහ ක්ෂය රෝගය යන රෝගවලින් නිරතුරුවම රෝගීන් වාර්තාවන බවත් ඩෙංගු හා මී උණ රෝගීන් මිය යන අවස්ථා තිබෙන බවත් එම සංගමයේ සභාපති විශේෂඥ චමල් සංජීව සඳහන් කළේය.
ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා කියුබාව ඇතුළු රටවල් රැසක් භාවිත කළ බැක්ටීරියාව යොදාගෙන ඩෙංගු රෝග පාලනය සම්බන්ධයෙන් කලින් කලට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද ඇතැම් නිලධාරීන්ගෙන් සහ ඇතැම් සමාගම්වලින් එල්ල වූ බලපෑම් මත එම කටයුතු අඩාළ වී තිබෙන බවද ඔහු පැවසීය.
අඩු මුදලකට පරිසරයට හානි නොවන ලෙස මදුරු ගහනය පාලනයට යොදා ගත හැකි මෙම බැක්ටීරියාව ලබන වසරේ සිට මෙරටෙහි යොදා ගැනීමට හැකි වුවහොත් ඒ හරහා ඩෙංගු රෝගී තත්ත්වය සාර්ථක ලෙස පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ වසරේ ගෙවීගිය කාලයෙහි දී ඩෙංගු රෝගීන් 48,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවද රෝගීන් 23 දෙනෙකු මිය ගොස් තිබෙන බවද හෙතෙම පැවසීය.
මී උණ රෝගීන් 10,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. රෝගය පැතිරී යන ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් රෝගය වළක්වා ගැනීමේ ප්‍රතිකාර ලබා දීමට අඛණ්ඩව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු සඳහන් කළේය.
මී උණ රෝගය වළක්වා ගැනීමේ ප්‍රතිකාරය ලබාදීම දැනට සිදුකරන බවද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අදාළ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදු කළ යුතු බවද හෙතෙම පැවසීය. 
පැපොල රෝගීන්  6819ක්, මොළය උණ රෝගීන් 1334ක් හා ක්ෂය රෝගීන් 7395ක් මේ වසරේ ගෙවීගිය කාලයෙහි දී වාර්තා වී තිබෙන බවත් මෙම රෝග තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.
රෝග තත්ත්වය පිළිබඳව ජනතාව දැනුම්වත් කළ හොත් ජනතාව රෝගීන් වීම විශාල වශයෙන් අඩු කර ගත හැකි බවත් මෙම රෝගවලට අදාළව රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම රටේ සෞඛ්‍යයට විශාල බරක් බවත් ඔහු පැවසීය. 
ජනතාව රෝහල්ගත වීම ඉහළ යෑම ජනතාවගේ ආර්ථිකයට සේම රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපාන බවද හෙතෙම  සඳහන් කළේය.