බද්දේගම දේශපාලන පවුල් ගහ


පැරණි පාර්ලිමේන්තුව


හෙන්රි අබේවික්‍රම


 

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාසයට හිමි වනුයේ සුවිශේෂි ස්ථානයකි. දේශපාලන නෑයන් රැසක්ම බිහි වූ බද්දේගම කොට්ඨාසයේ ප්‍රබලතම දේශපාලන පවුල වූයේ අබේවික්‍රමවරුන්ගේ පවුලය. සයිමන් අබේවික්‍රම, හෙන්රි අබේවික්‍රම, වින්සන්ට් අබේවික්‍රම හා ආනන්ද අබේවික්‍රම යන මහත්වරු එකම පවුලේ අය වූහ. සයිමන්, හෙන්රි, වින්සන්ට් එක කුස උපන් සහෝදරයෝ වූහ. ආනන්ද, හෙන්රි අබේවික්‍රමගේ පුත්‍රයෙකි. 
 
අබේවික්‍රම සොහොයුරන් තිදෙනාම බද්දේගම ගම් සභාව නියෝජනය කළ අය වූහ. 
 
බද්දේගම ගම් සභාවේ හය වැනි මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වෙද්දී හෙන්රි අබේවික්‍රම බද්දේගම උතුර කොට්ඨාසයට නැවත වරක් තරග කිරීමට ඉදිරිපත් විය. මේ වන විට සිය සොහොයුරා වූ සයිමන් අබේවික්‍රම, හෙන්රි අබේවික්‍රම සමග කිසියම් කරුණක් නිසා විරසකව සිටියේය. හෙන්රිගේ ජයග්‍රහණය වළකාලන්නට සයිමන් උත්සාහ ගත්තේය. 
 
මෙම බාධකයන් මැඩගෙන බද්දේගම උතුර කොට්ඨාසයේ ගම් සභික ධුරයට හෙන්රි ඉදිරිපත් විය. සිය සොහොයුරා පරාජය කිරීමට සයිමන් තෝරාගනු ලැබුවේ පිලාතුගොඩ ලොකු අප්පුහාමි හෙවත් කාරියවසම් ජාලන්තන්ත්‍රි කරෝලිස්ය. මොහුට මෙම ගම් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට වුවමනාවක් නොතිබුණත්, සයිමන්ගේ පෙරැත්තය නිසාම කරෝලිස් ඉදිරිපත් විය.
 
බද්දේගම බොහෝ දෙනා පිලාතුගොඩ ලොකු අප්පුහාමි දිනන බවට බලාපොරොත්තුවෙන් සිටියහ. හෙන්රි අබේවික්‍රම පරාජය වන බව කවුරුත් විශ්වාස කළේ සයිමන් අබේවික්‍රමට විරුද්ධව කටයුතු කළ නිසාවෙනි. පවුලේ ඡන්ද වුවත් දෙකට බෙදී යනු ඇතැයි පිරිසක් විශ්වාස කළහ. 
 
මැතිවරණ දිනය උදා විය. ඡන්ද උණුසුම ද වැඩි වී තිබිණි. කවුරුත් උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කළහ. 
 
දෙපිලේ ආධාරකරුවෝ ජය ඝෝෂා කරමින් සිටියහ. ඡන්දය ගණන් කිරීම ඡන්දය පැවැති මධ්‍යස්ථානවලම සිදු විය. සවස හතරට ඡන්දය දැමීම අවසන් වූ සැණින් ඡන්දය ගණන් කිරීම ආරම්භ විය. පැය දෙකක් දෙක හමාරක් ගත වන විට ප්‍රතිඵල නිකුත් කෙරිණි. වැඩි ඡන්ද ප්‍රමාණයකින් හෙන්රි අබේවික්‍රම ජයග්‍රහණය කර තිබිණි. මෙම කඩඉමෙන් පැනගත් හෙන්රිට බද්දේගම ගම් සභාවේ සභාපති වීමේ ඊළඟ පිම්ම පැනීමට තිබිණි. සයිමන් එවර ද නිහඬව නොසිටියේය. හෙන්රිගේ ජයග්‍රහණයත් සමග සයිමන්ගේ කෝපය ද දෙගුණ තෙගුණ වී තිබිණි. ගම් සභාපතිවරයා වීම වැළැක්වීමට එවර පියවර ගත්තේය. 
 
සභාපති තරගයේදී හෙන්රිගේ ප්‍රතිවාදියා ලෙස සයිමන් තෝරාගනු ලැබුවේ කනත්තේගොඩ ආතර් සූරියආරච්චිය. ඔහු ද දේශපාලන පරම්පරාවකට උරුමකම් කියූ අයෙකි. බද්දේගම ගම් සභාවේ ප්‍රථම සභාපතිවරයා වූ මුහන්දිරම් හෙට්ටිආරච්චි‌, ආතර් සූරියආරච්චිගේ සීයා විය.
 
අද මෙන් මනාප ප්‍රතිඵලවලින් සභාපතිවරයා තේරීමේ ක්‍රමයක් නොතිබිණි. ගම් සභික කොට්ඨාසවලින් ඉදිරිපත් වන සභිකයන්ගේ වැඩි කැමැත්තෙන් තේරී පත්වන්නා සභාපතිවරයා වන්නේය. 
 
එම නිසා එවර ඡන්දදායක ජනතාවට වඩා ගම් සභිකයන්ට ඉතා ඉහළ වටිනාකමක් තිබිණි. සභාපති ධුරයට තරග කරන අපේක්ෂකයෝ සභිකයන් ගෙන ගොස් සඟවා තබාගෙන සභාපති තෝරන දිනයට පමණක් ගෙන ඒමට පුරුදු වී සිටියහ.
 
හෙන්රි අබේවික්‍රමට එවර සිටියේ සභිකයන් දොළොස් දෙනෙකි. එහෙත්, ආතර් සූරියආරච්චිට සිටියේ දහතුන් දෙනෙකි. හෙන්රිට සහ ආතර්ට ඥාතියකු වන විලී සූරියආරච්චි හෙවත් පහළකෑල්ලේ ලොකු මහත්තයා හමු වීමට සුවිශේෂි කෙනෙක් පැමිණියේය. 
 
ඔහු ද සූරියආරච්චි කෙනෙක් වන දිද්දුවේ ලොකු මහත්තයාය. මොහු පැමිණ විලී සූරියආරච්චිට රහසක් හෙළි කළේය. එම රහස හෙළි කරනුයේ දෙදෙනාම සූරියආරච්චිලා වන නිසාවෙනි. 
 
“විලී අයියා මේ පාර බද්දේගම සම් සභාපතිකම ලැබෙන්නේ සූරියආරච්චි කෙනකුට මිස අබේවික්‍රම කෙනකුට නොවෙයි. ඒක අපේ සූරියආරච්චි පරම්පරාවට ලොකු නම්බුවක්. ඒ නිසා අපි මේකට උදව් කළ යුතුයි.” 
 
“ලොකු මහත්තයා එහෙම කියන්නේ කොහොම ද? තවම ඡන්දෙ තිබ්බෙත් නැහැ නේද?”
 
පහළකෑල්ලේ විලී සූරියආරච්චි පෙරළා ප්‍රශ්න කළේය.
 
“හහ්... හහ්... මොකක් ද දන්නවා ද? අපේ ගෙදරත් දැනටම මැම්බර්ලා දෙන්නෙක් හංගලා ඉන්නවා. එක් කෙනෙක් තමයි වැලිවිටියේ බණ්ඩාරිගොඩ රතු මහත්තයා.” දිද්දුවේ ලොකු මහත්තයා කීය. 
 
විලී සූරියආරච්චි පහළකෑල්ලේ ලොකු මහත්තයා සූරියආරච්චි කෙනකු වුවත්, ඔහුගේ ළඟම ඥාතිත්වය තිබුණේ ආතර් සූරියආරච්චිට නොවේය. විලීගේ ආච්චි අබේවික්‍රම පවුලේ කාන්තාවකි. හෙන්රිගේ නැන්දා කෙනකු වන තේවත්තේ හාමිනේ සූරියආරච්චි වෙද මහතා සමග විවාහ වීමෙන් මෙම ඥාතිත්වය ඇති වී තිබේ. මේ නිසා විලී දැඩි සම්බන්ධකමක් පැවැත්වූයේ අබේවික්‍රම පවුල් සමගය. මොහු ආතර් සූරියආරච්චිට වැඩි ප්‍රියමනාපයක් නොදැක්වීය. හෙන්රිගේ ගතිපැවැතුම් හා ගමට කළ සේවය හා නෑකම් නිසා වැඩි කැමැත්තක් තිබිණි. මෙම රහස දැනගත් සැණින් විලී සූරියආරච්චි පැමිණියේ හෙන්රි හමු වීමටය. විලී සියලු තොරතුරු හෙන්රිට පැවැසීය. 
 
වැලිවිටියේ බණ්ඩාරිගොඩ රතු මහත්තයා ප්‍රදේශයේ සිටි සුප්‍රසිද්ධ කට්ටඩියෙකි. එමෙන්ම දක්ෂ නැටුම් ශිල්පියෙකි. පසු කලෙක ‘සිහින හතක්’ චිත්‍රපටයේ නැටුම් දර්ශන ඉදිරිපත් කළේ ද බණ්ඩාරිගොඩ රතු මහත්තයාය. ආරංචිය දැනගත් සැණින් දිද්දුවේ ලොකු මහත්තයාගේ ගෙදර සඟවාගෙන සිටින බාණ්ඩාරිගොඩ රතු මහත්තයා එළියට ගැනීමට හෙන්රි උපායක් කල්පනා කළේය. 
 
“විලී, මම කියන්නම් වැඩේ. උඹලගෙ අම්මා බොරුවට අසනීප විය යුතුයි. අපි ඇයව සුවපත් කරන්න තොවිලයක් කරනවා. ඒ සඳහා යන වියදම මම දරන්න සූදානම්. ඒ තොවිලයට අනිවාර්යයෙන්ම රතු මහත්තයා එළියට ගන්න ඇහැකි වෙනවා.” 
හෙන්රි තම උපාය හෙළි කළේය. 
 
“එයා තොවිලය කරන අතරතුර අපි ඔහු හමු වෙලා කතා කරලා බලමු.”
 
හෙන්රි යළිත් විලීට කීය.
 
විලීගේ මවට මේ බව පවසා ඇය ද එකඟ කරවාගැනීමට හෙන්රි සහ විලී සමත් වූහ. විලීගේ මව වූ මාග්‍රට් සූරියආරච්චි අසනීප වී නිවෙසේ ප්‍රතිකාර කරන බව ප්‍රචාරය කළේය. ඒ අතරතුර තොවිලය කිරීමට ද සූදානම් වූයේ කඩිමුඩියේය. 
 
තම ඥාතිවරියගේ අසනීපයට ප්‍රතිකාර කිරීම සඳහා සිය නිවෙසේ සඟවාගෙන සිටින යකැදුරා නොදී සිටීමට දිද්දුවේ ලොකු මහත්තයාට බැරි විය. මීට පෙර ද මාග්‍රට් අසනීප වූ විට ශාන්තිකර්ම කොට සුව කළේ බාණ්ඩාරිගොඩ රතු මහත්තයා වූ බැවිනි. 
 
නියමිත දින විලී සූරියආරච්චිගේ මහගෙදර වූ මුදියන්සේගේ වත්තට රතු මහත්තයා කැඳවාගෙන එන්නේය. ඇවිත් සියලු තටු මහල් යහන් ආදිය තනවා තොවිලය කරගෙන ගියේය. රාත්‍රී ආහාරයෙන් පසු ආරම්භ වූ තොවිලය බෙර වයමින් පන්දම්වලට දුම්මල ගසමින් යාතිකා කරමින් සිටියේය. එක දිගට පැය දෙකක් පමණ තොවිලය කරගෙන ගියේය. 
 
තොවිලය පවත්වාගෙන යන අතරතුරදී ඒ ආසන්නයේ පිහිටි හෙන්රි අබේවික්‍රමගේ දංවලවත්තේ නිවෙසේ තවත් කිහිප දෙනකු මෙහෙයුමක් දියත් කරමින් සිටියහ. බණ්ඩාරිගොඩ රතු මහත්තයා හෙවත් ප්‍රධාන යකැදුරා හොර රහසේම දංවලවත්තේ නිවෙසට කැඳවාගෙන යෑම එම මෙහෙයුමේ අරමුණ විය. සහායක යකැදුරාට තොවිලය කරගෙන යෑමට ඉඩ සලසා ඒ අසල වූ ඇළ මාර්ගයකින් රතු මහත්තයා දංවලවත්තට කැඳවාගෙන ගියේය. 

හෙන්රි අබේවික්‍රම හා රතු මහත්තයා අතර කතිකාවක් එහිදී ඇති විය. රතු මහත්තයා හෙන්රිට පොරොන්දුවක් දුන්නේය. කිසිවකුටවත් සැකයක් නොඉපදෙන අයුරින් තොවිල්පොළට ගොස් තොවිලය කරගෙන ගියේය. ගම් සභාපති තෝරන දිනයේ ආතර් සූරියආරච්චි දිනන බවට කාගේත් විශ්වාසය විය. හෙන්රි අබේවික්‍රම ගම් සභිකවරු දෙළොස් දෙනෙක් රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට ගියේය. 

ප්‍රතිවාදියා වූ ආතර් සූරියආරච්චි, හෙන්රිට වඩා එක සභිකයෙක් රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ පෙළපාළියකිනි. පෙළපාළිය දුටු හෙන්රිගේ සභිකයන් දෙළොස් දෙනාගේ මුහුණු ඇඹුල් වී තිබිණි. එක ඡන්දයකින් ආතර් සූරියආරච්චි දිනන බවට සක් සුදක් සේ පෙනෙන්නට විය. සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සභාපති තේරීම සිදු විය. සභාපතිවරයා තේරීමට සූදානම් වෙද්දී හෙන්රි එකවර නැගී සිට රහස් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. 

එයට විරෝධතාවක් තිබේ දැයි සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා විමසීය. 

තමාගේ ජයග්‍රහණය ස්ථිර බව දැන සිටි ආතර් සූරියආරච්චි එයට විරුද්ධත්වය පළ නොකළේය. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරද්දී සියල්ල කණපිට පෙරැළී ඇති බව පෙනෙන්නට විය. කාගේත් නෙත්වලින් විමතිය පළ විය. 

හෙන්රි අබේවික්‍රමට ඡන්ද දහතුනක් හිමි වෙද්දී, සභිකයන් දහතුන් දෙනෙක් කැටුව ආ ආතර් සූරියආරච්චිට හිමි වී තිබුණේ ඡන්ද දොළහකි. එක වැඩි ඡන්දයකින් හෙන්රි අබේවික්‍රම ජය ගන්නවා යැයි සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා ප්‍රතිඵල නිකුත් කළේය. පුදුමයෙන් බලා සිටි හෙන්රිගේ ගෝලබාලයන් අත්පොළසන් හා ඔල්වරසන් දෙමින් ‘ජය වේවා’යි කියා කෑගසන්නට වූයේ විනාඩි කිහිපයක් නිහඬව බලා සිටීමෙන් පසුවය. 

ආතර් සූරියආරච්චිට පමණක් නොව අනෙක් අයට ද මෙය මහත් පුදුමයක් විය. එහෙත් බණ්ඩාරිගොඩ රතු මහත්තයා කිසිදු වෙනසක් නොපෙන්වා අන් අය සමග සිටියේය. හෙන්රි අබේවික්‍රම සිය සභිකයන් දොළොස් දෙනා සමග දංවලවත්ත නිවෙසට යද්දී ආතර් සූරියආරච්චි සභිකයන් දහතුන් දෙනා සමග සිය නිවෙසට ගියේය. එදින දහවල් ආතර් සූරියආරච්චිගේ කනත්තෙගොඩ නිවෙසේ දවල් කෑම මේසයට මේ සභිකයන් දහතුන් දෙනාම සහභාගි වීමම අපූර්වත්වය විය. 
 

බලපිටිය
එස්. ඒ. වයි. ද සිල්වා