ප්‍රේමදාසගේ පෝස්ටර් ඇලවූ පිඩලි උපාලිගේ කල්ලිය


පාතාල දඩබිම

 

දේශපාලන පාතාලයේ අගමුල සොයා යන ගමන

 

 

 

“මේ කවුද? මොනවද කරන්නේ? ” යන පාඨය දශක තුනකට පෙර දැනුම් තේරුම් ඇති වයසක පසු වූ ඕනෑම අයකුට අමතක විය හැක්කක් නොවේ. එම පාඨය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් අදත් මැතිවරණ කාලයන්හි දී දේශපාලනඥයන් වගේම ඇතැම් පෞද්ගලික උපකාරක පංති ගුරුවරු පවා එය සිය ප්‍රචාරණය වඩාත් ඵලදායී කර ගැනීම සඳහා භාවිත කරති. එය මුලින්ම භාවිත කරනු ලැබුවේ 1988 ජනාධිපතිවරණයේ දී රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. එය ජනාධිපතිවරණයේ දී ඔහු භාවිත කළ පළමු ප්‍රචාරක පෝස්ටරය විය.


මේ පෝස්ටරය පිටුපස සැඟවුණ තවත් බොහෝ කතා තිබේ. මේ ජනාධිපතිවරණය පැවැත්වුයේ භීෂණ සමයකය. පෝස්ටරයක් ගැසීමට පුද්ගලයකු එළියට බැසීමට බිය පල කරන කාලයකදීය. පෝස්ටරයක් ඇලවීම නොව රැස්වීමක් පැවැත්වීම ද පහසු කාර්යයක් නොවීය. එවැනි වටපිටාවක දී කවුරුත් මුලුගැන්වී පෝස්ටර් ඇලවීම පසෙකලා තිබූ අවස්ථාවක එක රැයකින් මේ පෝස්ටරය අලවා රණසිංහ ප්‍රේමදාස හිටපු අගමැතිවරයාගේ ජනාධිපතිවරණ මංගල රැස්වීම සාර්ථක කර දුන්නේ අදත් නම කී පමණින් කවුරුත් දන්නා එක්තරා පුද්ගලයෙකි. රණසිංහ ප්‍රේමදාස මහතාට සිය ජනාධිපතිවරණ ප්‍රචාරක සටන ඉදිරියට ගෙන යාමට දිරියක් දුන් ඔහු එදා කිසිවෙක් හඳුනාගෙන සිටි අයෙක් නොවේ. ඔහුගේ ජීවන ගමන සපුරා වෙනස්ම මාවතකට රැගෙන යාමට මගපෑදුයේ ද මේ පෝස්ටරයමයි කීවොත් එය ද මුසාවක් නොවේ.
ඔහු කවුද? ඒ වෙන කිසිවකු නොවේ අරඹේවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් පිඩැලි උපාලිය.
ඔහු පිඩැලි උපාලි වූයේ පිඩැලි සැපයීම තම ජීවනෝපාය කරගත් නිසාය. බොරැල්ල බේකරි වත්තේ උපන් පිඩැලි උපාලි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙක් වූ සිරිසේන කුරේ මහතාගේ සමීපතමයෙකි. ඒ සමීපකම ගොඩනැගුනේ විවිධ කොන්ත්‍රාත්වලට ඔහුව සම්බන්ධකර ගැනීමෙනි. පිඩැලි විකිණීම ජීවිකාව කරගත් උපාලිට සිරිසේන කුරේ ඇමතිවරයා හරහා අලුතෙන් හදන පාරවල්වල දෙපැත්තේ ගස් සිටුවීමේ කොන්ත්‍රාත්තුව ලැබිණ. එසේම පාරවල්වලත් වෙනත් ඉදිකිරීම් ව්‍යාපෘතිවලදීත් ඒ ස්ථානවල පිඩැලි ඇල්ලීමේ කොන්ත්‍රාත්තුව ද උපාලිට ලැබිණ.


මේ විදිහට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් සමීපව ඇසුරු කරන්නට ලැබුණ උපාලිව කවුරුත් ඇමතුවේ පිඩැලි උපාලි ලෙසය. එකල අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇසුරට පිඩැලි උපාලි පත්වීමත් රසවත් කතාවකි.


සමගි පෙරමුණ ආණ්ඩුව පරාජයට පත්කර 1977 දී බලයට ආ ජේ. ආර්. ජයවර්ධන මහතා තමන්ට ලැබුණ ජනවරම භාවිත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළේය. එයින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් ඔහු ජනපතිවරණයක් නොපවත්වාම පළමු විධායක ජනාධිපති වූයේය. ඉන්පසු දෙවන වරටත් ඔහු 1982දී පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපති වූයේය. ව්‍යවස්ථාවට අනුව එක අයෙකුට දෙවතාවකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි නිසා 1988 දී වෙනත් අයකුට අවස්ථාව ලබා දීමට අකමැත්තෙන් වුවද ජයවර්ධන මහතාට සිදුවිය. එකල අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වූයේය. ඔහු ජනාධිපතිවරයා සමග පෙන් වූ විරසකය නිසා වෙනත් අයකු නම් කිරීමේ වුවමනාවක් ජයවර්ධන මහතාට තිබූ නමුත් එයට එරෙහිව ප්‍රේමදාස මහතා ගෙන ගිය ඇතැම් ක්‍රියා මාර්ග නිසා ඔහුටම අපේක්ෂත්වය ලබා දීමට සිදුවිය.


අපේක්ෂකත්වය ලැබුණු පසු ඔහුට තිබූ බරපතළම අභියෝගය වූයේ ජයග්‍රහණය කර පෙන්වීමය. එය භීෂණ සමයකි. එක පැත්තකින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ ආණ්ඩුවේ ආරක්ෂක අංශ අතර වූ ගැටුම නිසා ඇති වූ එකිනෙකා මරාගැනිල්ල රටම භිෂණයකින් ඇලළුවේය. එසේම උතුරේ ඊළාම් යුද්ධය අවසන් කරන්නට යැයි කියා ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවත් සමග ගිවිසුමකට එළැඹ ඉන්දීය සාම සාධක හමුදාවක් මෙරටට ගෙන්වනු ලැබුවේය. එයට රටේ විරෝධයක් ඇති වූවා සේම ප්‍රේමදාස අගමැතිවරයාද විරෝධය පෑවේය. එය ඔහු රටට පෙනෙන්නට ද සැලැස්වීය. ජනාධිපතිවරණයේදී එය තමන්ට වාසි වනු ඇතැයි ඔහු කල්පනා කරන්නට ඇත. කොහොම වුණත් එදා ජනපතිවරණ සටනට බොහෝ පිරිසක් සිටියේ නැත. එසේම එජාපය ඒ වන විටත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියෙන් සිටියේය. එහෙත් ප්‍රචාරක කටයුත්තක් නොකර පවතින වාතාවරණය අනුව ජනතාව ඡන්දපොළට ගෙන්වා ගැනීමත් අසීරුවනු ඇතැයි ප්‍රේමදාස මහතා කල්පනා කළේය. ඒ නිසා ප්‍රචාරක කටයුතු කරගැනීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු යැයි ඔහු කල්පනා කළේය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන්ට හිතවත් මැති ඇමතිවරුන් එකතු කරන්නට ප්‍රේමදාස මහතා තීරණය කළේය. එසේම එම සාකච්ඡාවට එක එක්කෙනාට හිතවත් ප්‍රචාරක කටයුත්තට සම්බන්ධ කරගත හැකි තරුණයන් පිරිසක් ගෙන්වන ලෙස ද උපදෙස් දුන්නේය.

 


ඒ අනුව එම සාකච්ඡාවට සිරිසේන කුරේ මහතා කණ්ඩායමක් එකතු කරගෙන ආවේය. ඒ පිඩැලි උපාලි හා ඔහුගේ සගයන් පිරිසකි. සාකච්ඡාව ආරම්භ කරමින් රටේ පවතින වාතාවරණය ගැන පැහැදිලි කිරීමක් කළ පේමදාස මහතා අදාළ කාරණාවට මෙසේ ප්‍රවිෂ්ට වූයේය.


‘‘ඔය හැමෝම දැන් දන්නවා ඇතිනේ මම මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. මේ පාර ජනාධිපතිවරණ සටන ටිකක් අමාරු එකක් වෙයි. මොකද මේ ජේවීපී කාරයන්ගේ කොළ කෑලි නිසා මිනිහෙක් එළියට බහින්න බයයි. ඒනිසා පෝස්ටරයක් අලවා ගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. මගේ පළමු රැස්වීම මාතරින් තමයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ජේවීපී කාරයන්ට වැඩිම බලය තියෙන්නේත් දකුණේ. ඒ නිසා මේ රැස්වීම සාර්ථක කරගත්තොත් අනෙක් ඒවා කරගන්නවා කියන එක සිම්පල් වැඩක්. රැස්වීම තියෙන දවස වෙනකොට මුළු මාතරම මගේ ප්‍රචාරක පෝස්ටරයෙන් වැහිලා තියෙන්න ඕනැ. අවශ්‍ය පහසුකම් සියල්ල මම සපයනවා. කාටද පුළුවන් මේ ප්‍රචාරක වැඩේ භාරගන්න?


මේ ප්‍රශ්නයට කිසිවෙක් උත්තර දුන්නේ නැත. හැමෝම එකිනෙකාගේ මුහුණු බලමින් කියන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මෙන් සිටියහ. මේ අතරේ පිරිස අතර සිටි එක්තරා තරුණයෙක් සිරිසේන කුරේ මහතාගේ කනට කර මෙසේ විමසීය.


‘‘සර් අපි වැඩේ භාරගමු. කොහොම හරි වැඩේ කරන්න එපායෑ. අපේ කොල්ලෝ ටික දාලා මම වැ​ඩේ කරන්නම්.


ඉන්පසු සිරිසේන කුරේ මහතා මීයට පිම්ඹා සේ සිටින සභාවේ නිහඬ බව බිඳිමින් කතා කරන්නට පටන් ගත්තේය.


‘‘සර් අපේ කොල්ලෝ ටික වැඩේ කරන්නම් කියනවා.’’


‘‘හොඳයි, හැබැයි පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා. වැඩේ හරියට කරන්න ඕනැ. මේ සාකච්ඡාවෙන් පස්සේ මාව හම්බ වෙනවා. අවශ්‍ය දේවල් මම දෙන්නම්.’’


ලැබුණු උපදෙස් පරිදි සිරිසේන කුරේ අමාත්‍යවරයා සාකච්ඡාවෙන් පසු පිඩැලි උපාලි ද සමග ගොස් ප්‍රේමදාස මහතා හමු විය.


‘‘තමුසේ බොහොම එඩිතර කොල්ලෙක්නේ. ඔහොම තමයි කොල්ලෝ වුණාම ඉන්න ඕනෑ. මේ ජේවීපී කාරයෝ මොක්කු ද? අපි හරියට වැඩේට බහිනවා නම්. තමුසේ බයවෙන්න එපා. මම වාහන දෙන්නම් අවශ්‍ය තරමට. තුවක්කුත් දෙන්නම්. උදව්වට ඒ පැත්තේ කීප දෙනෙකුත් සම්බන්ධ කරලා දෙන්නම්. කවුරු හරි බාධාකරන්න ආවොත් ආයුධ තියෙනවානේ. කරන්න ඕනැ දේ මම කියන්න ඕනැ නැහැනේ. තමුසේ ඕනැ දෙයක් කරනවා. පොලිසිය ගැන මම බලාගන්නම්’’ යැයි ප්‍රේමදාස මහතා උපාලිට උපදෙස් දුන්නේය.
උපාලි ඒ සියල්ල එහෙයියාවෙන් භාර ගත්තේය. රටේ අනාගත ජනාධිපතිවරයා තමන් සමග මෙතරම් සමීපව තමන්ව විශ්වාස කරමින් කතා කිරීම මොන තරම් දෙයක් ද? එවැනි අවස්ථාවක් අමතක කළ හැකිද? එවැන්නෙකු ඇසුරු කරන්නට ලැබෙන අවස්ථාව මගහැරීම මොන තරම් මෝඩකමක් ද? ඒ නිසා ඔහු ප්‍රේමදාස මහතා කියන්නේ කුමක්ද? ඒ සියල්ල කරන්නට නොපසුබටව ඉදිරිපත් වූයේය.


ඔහුට වෑන් රථ කීපයක් ලොරියක් සමග ගිනි අවිරැසක් ද ලැබුණි. ඒ සියල්ල සමග ඔහු තමන්ගේ සගයන් ද රැගෙන මාතර ගියේය. මාතරින් හමු​ෙවන්නට කී එක්සත් ජාතික පාක්ෂිකයන් මුලින්ම ඔවුන් සමග එක්වූයේ නැත. එහෙත් උපාලිලා සතුව ආයුධ තිබෙනු දුටු පසු ඔවුහු එක්කෙනා දෙන්නා වැඩෙට එකතු වූහ. උපාලි සිය සගයන් සමග මුලු මාතරම ’‘මේ කවුද? මොකද කරන්නේ? කියන පෝස්ටරයෙන් වැසුවේය. වේදිකාව හැදෙව්වේය. නියමිත දිනයේ මාතරට ප්‍රේමදාස මහතා පැමිණෙන විට සියල්ල යහතින් හිතුවාටත් වඩා හොඳට සිදුව තිබෙනු දැකිය හැකි විය. ඔහු මහත්සේ සතුටට පත්විය.


රැස්වීම අවසන්ව කොළඹ පැමිණි වහාම ප්‍රේමදාස මහතා සිරිසේන කුරේ මහතා හමුවිය. ‘‘අයිසේ තමුසෙගේ කොල්ලෝ ටික මම හිතුවටත් වඩා හොඳට වැඩේ කරලා තිබ්බනේ.


ඕකනේ සර් මම කිව්වේ. උන් දිගටම වැඩේ ඇදගෙන යයි. බයවෙන්න දෙයක් නැහැ සර්.


‘‘උන් මරු කොල්ලෝ ටිකක්. උන් ඉල්ලන ඕනැ දෙයක් දෙනවා. ඕනැ දෙයක් කරන්න කියනවා. මගේ වැඩේට දිගටම සම්බන්ධ වෙන්න කියනවා. තේරුණා ද?’’


ප්‍රේමදාස අගමැතිවරයා ප්‍රීතියෙන් පිනා ගොසිනි. එය උපාලිගේ ජීවන ගමන වෙනස් කරන්නට සමත් විය. පිඩැලි උපාලි ප්‍රේමදාස අගමැතිවරයාගේ මැතිවරණ සටන අවසන් වෙද්දී නොම්මර එකේ චණ්ඩියෙක් විය. තමන්ගේම මැර කල්ලියක් මෙහෙයවන පාතාල නායකයෙක් බවට පත්විය. පිඩැලි උපාලි සොත්ති උපාලි බවට පත්වීමේ ගමන එසේ ආරම්භ විය. ඒ සඳහා අවශ්‍ය ආයුධ සියල්ල ද වෙහෙස මහන්සියකින් තොරවම ඔහුට ලැබී තිබේ. එපමණක් නොවේ ඒ සඳහා අවශ්‍ය නිල බලයක් ලැබෙන තනතුරක් ද ඔහුට පසුව ලැබිණ. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ බොහෝ කටයුතුවලට නැතුවම බැරි චරිතයක් බවට උපාලි පත්විය.
ඔහු මොනවද ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග කළේ? මොකක්ද ඔහුට ලැබුණ තනතුර? ඒ ගැන අපි ලබන කලාපයෙන් කතා කරමු

 

 

මුදිතා දයානන්ද