එදා ගුරුබැවුලේ බලකොටුව තිබූ තැන අද හංවැල්ල තානායමයි


සීතාවක රාජසිංහ රජුගේ හංවැල්ලේ සටන් බ්ම 04  

 

 

සීතාවක රාජ්‍යයේ ගිරාඉඹුල (කලු‍අග්ගල) බලකොටුවේ හේවායන් අතර අඩු කුල හා වැඩි කුල වශයෙන් භේදයක් හටගත්‌තේය. මෙය සීතාවක රාජසිංහ රජුගේ මුළු සටන් ව්‍යාපාරයට ම බලවත් පාඩුවක් බවට වන අදහස රජුගේ මතය විය. රජු කිසිම අයුරකින් ජාති භේදයක් හෝ ආගම් හා කුල භේදයක් හෝ නොසැලකූවෙකි. සීතාවක රාජසිංහ රජුට වුවමනා වූයේ කෙසේ හෝ පරංගින් මෙරටින් පන්නා හැරීමය.   


එම නිසා කුලභේදය හටගත් ගිරාඉඹුළ බලකොටුවට ගිය රජතුමා මින් මතු එවැනි කුල භේදයක්, එවැනි ජාති ආගම් භේදයක් නැති බවත් හේවායන් යනු හේවායන් පමණක් බවත් රජතුමා කියා සිටියේය. එයින් පසු ගිරාඉඹුළ බලකොටුවෙන් හටගත් එම භේදකාරී තත්ත්වය නැතිව ගොස් කවුරුත් එක අරමුණක් වෙනුවෙන් එකතු විය.   


එකල රටේ පැවති සාමාන්‍ය සමාජයේ මේ කුලභේද, ජාතිභේද, ආගම්භේද ගැඹුරින් තිබිණ. එහෙත් රජතුමා ඊට වඩා යුදෝපක්‍රම ශීලී විය. ගිරාඉඹුල බලකොටුවේ පැවැති හේවායන්ගේ කුලභේදය නවතා දැමීමට කටයුතු කිරීම තුළින් එය කැපී පෙනෙයි.   


රජතුමා හැම විටම වැඩි අනුකූලතාවක් දැක්වූයේ පරංගි හා යුද කිරීමට කැමති අය සඳහාය. බදුල්ලේ උපරාජ තනතුරට සීතාවක රාජසිංහ රජු විසින් පත් කළේ බත්ගම කුලයේ අයෙකි. ඉහළ රණ ශූරයකු වූ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් රාජ සභාවට පත් කිරීම ද එවැනි අවස්ථාවකි. මේ සෙන්පතියා හින්දු අයෙක් වුවද ඔහු දෙවැනි වී ඇත්තේ සීතාවක රාජසිංහ රජුට පමණක් බව ඇතැම් තැනක දැක්වේ.   


සිංහල හේවායන්ට අමතරව මරක්කල හේවායෝ ද, හින්දු හේවායෝ ද එකල පරංගින්ට විරුද්ධව රජුගේ හමුදාවට බැඳී සටන් වැදී ඇත. හමුදාවේ අවශ්‍යතාව මත එකල කෝවිල් රාශියක් ඉදිවී තිබේ. හින්දු බ්‍රාහ්මණ පූජකයන් පවා රජුගේ සේනාවේ සේනාධිපතිකම් දරා ඇත. හමුදාවේ අවශ්‍යතාව පරිදි අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් සීතාවක බැරැන්ඩි කෝවිල ඉදිකරන ලද බව මතයකි.  


සීතාවක රාජසිංහ රජුට ලෝකුරුවන්, යකඩ හා වානේ තලන්නන්, කම්මල්කරුවන් සියල්ල එක සේ වැදගත් වූ බව පෙනේ. ඔවුන්ට රජතුමා කොයිතරම් තම වගකීම ඉටු කළේ ද යත් මුල්ලේරියා සටනින් පසු මේ සියල්ලෝ ම රජමාලිගයට කැඳවීය. එසේ කැඳවා කම්මල්කරුවන්ට, හේවායන්ට, ලෝකුරුවන්ට, යකඩ-වානේ තලන්නන්ට ආදී හැමට ගම්වර පවා ප්‍රදානය කර ඇත. සීතාවක රාජසිංහ රජතුමා තම මුළු ජීවිතය ම පාහේ කැප කර ඇත්තේ රජ සැප විඳීමට වඩා හේවායන් සමග යුධ කිරීමට හා යුධ උපක්‍රම ඇති කිරීම කෙරෙහිය. ලංකාවේ රාජ්‍යත්වයට පත් අනෙක් රජවරුන්ට වඩා සීතාවක රාජසිංහ රජුගේ විදෙස් ප්‍රතිපත්තිය ද වෙනස්ම එකක් වීය. ඒ අතර වඩාත් කැපී පෙනෙනුයේ රජු හා කැලිකට් හි සැමොරින් සමග පැවති සම්බන්ධතාවයයි. කැලිකට් හි සැමොරින් සමග වාණිජ සබඳතා ගොඩනඟා ගත්තා සේම රජතුමා කෙලින්ම පෘතුගීසීන්ට පහර දීමට සැමොරින්ගේ උදව් ඉල්ලා ඇත. කොළඹ කොටුවට පහර දීමට කිහිපවිටක්ම සැමොරින් සීතාවක රජුට උපකාර කළ බව ද පෙනේ. එසේම ඉන්දියාවේ රණකාමීන් වූ සික් ජාතිකයන් විශාල පිරිසක් රජුගේ හමුදාවේ සේනා පදවි දරා තිබේ. එසේම පංජාබයෙන් යුධ ශිල්පයෙහි දක්ෂ ඉංජිනේරුවන් සහ අණදෙන නිලධාරීන් ගෙන් යුත් සන්නද්ධ පුහුණු හමුදාවක් රාජසිංහ රජුට සිටියේය.   


සික් ජාතික ඉංජිනේරුවන් නිෂ්පාදනය කළ කාලතුවක්කු පරංගීන්ගේ කාලතුවක්කු වලටත් වඩා බලසම්පන්න වූ බව කියැවේ. ඒ නිසා පරංගි ලංකාවේදී බැට කෑවේ ලාංකීය යුද හේවායන් අතින් පමණක් නොව විදෙස් හමුදාවල ද එකතුවෙනි. මේ සීතාවක රාජසිංහ රජුගේ මහා පෞරුෂය හා රණශූරත්වය විද්‍යමාන කරයි. එකල ලංකාවේ හොඳම වානේ නිපදවා ඇති අතර විවිධ උසස් යුද අවිද නිෂ්පාදනය කර ඇත.   
සීතාවක රාජසිංහ රජතුමාට තාක්ෂණයෙන් දියුණු උසස් යුද හමුදාවක් සිටි බව පරංගීන් ද පිළිගෙන ඇත. ඊළඟට මේ යුද හමුදාවලට රජු වැටුප් ගෙවූ බවත් ඇතැම් පෘතුගීසි ලේඛනවල දක්වා තිබේ.   
සීතාවක රාජසිංහ රජතුමා පෘතුගීසීන්ට කැලණි ගඟ ඔස්සේ ගමන් කිරීමට කිසිම ලෙසකින් ඉඩ නොදුන්නේය. කොළඹ කොටුවට පහර දීමට හා පෘතුගීසීන් කොළඹ කොටුවට සීමා කිරීම වැනි යුද සංග්‍රාමවලදී රාජසිංහ රජතුමා කැලණි ගඟ එයට මහත් සම්පතක් කොට ගත්තේය. කැලණි ගංගාවේ තොටුපලවල් සියල්ලම රජතුමාගේ බලය යටතේ පැවතිණි.   


“ඒ කාලයේ කැලණි ගඟ එකතැනකින් හරස් කරලා ගඟේ එකතැනකින් ගොඩබිම දෙසට කුඩා ඇළක් වගේ කොටසක් කපලා එතන රජතුමාගේ පඩව්ව (වතුරේ ගෙනියන්න නිර්මාණය කළ පාරුව වැනි යාත්‍රාවක්) නවත්වා තිබෙනවා. මේ පඩව්වේ තිබිලා තියෙන්නෙ රාජසිංහ රජතුමාගේ කාලතුවක්කුවක්. මේ පඩව්ව නැවැත්වූ ස්ථානය හරියටම පැහැදිලි නැතත් හංවැල්ලට එහා නවගමුව හෝ කඩුවෙලට නුදුරුවයි. ඉතින් පරංගි යාත්‍රාවක් ගඟදිගේ එද්දී රජතුමාගේ පඩව්ව එකවරම කැලණි ගඟට දියත් කර පරංගි යාත්‍රාවලට වෙඩි තියලා තියෙනවා.   


මේ වගේ ගඟ පොඩ්ඩක් ගොඩබිමේ ඇතුලට හාරලා මෙවැනි කාලතුවක්කු ඇටවූ පාරු බොහෝමයක් කැලණි ගඟේ විවිධ ස්ථානවල නවත්වල තිබිලා තියෙනවා. ඒවා නිසා කඩුවෙලින් මෙහාට එකම පරංගි යාත්‍රාවක් වත් සීතාවක රාජධානියට එන්න බැරි වුණා. එන එන යාත්‍රාවට කාලතුවක්කු වලින් වෙඩි තියලා ගඟේ ගිල්වලා තියෙනවා. ජල මාර්ග තුළදී මේ වගේ යුද උපක්‍රම භාවිත කළ සිංහලයේ රජෙක් හමු වෙනවා නම් ඒ අතර සීතාවක රාජසිංහ පුදුම කෙනෙක්.” පුරාවිද්‍යා චක්‍රවර්ති, ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියෝ අපට පැවසූහ.   


සීතාවක රාජසිංහ රජතුමා යනු ගොඩබිමත්, ජලයත්, පර්වත, කඳු, කපොලු‍ ආදී ස්වභාවික භූ ලක්ෂණ මනාකොට සිය යුද ව්‍යාපාරයට උපයෝගී කොට ගත්තෙකි.   


කැලණි ගඟේ පැවැති තොටුපොළවල් සියල්ලම රජතුමා යටතේ විය. ඒ සීතාවක රාජ්‍ය ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපෑයේය.   


කැලණි ගඟේ දෙපස පිහිටි විශාල කළුගල් පර විද එයින් ගඟේ එහා මෙහා යා වන පරිදි විශාල යකඩ දම්වැල් බැඳ තිබුණු බව කියැවේ. මේ නිසා රාත්‍රියේ පරංගි ඔරු-පාරු ආවත් මේ දම්වැල්වල පැටලී විනාශයට පත් වී තිබේ. ගඟ හරහා යෙදූ යෝධ දම්වැල් සීතාවක රාජසිංහ රජුගේ තවත් වෙනස්ම යුද උපක්‍රමයක් බැව් විද්වත්හු පවසති. මේ සංවිධානාත්මක පහරදීම් සිංහල රාජවංශයේ පැවති පැරණි යුධෝපක්‍රම සිහිගන්වයි. රාජසිංහ රජතුමාගේ සේනාව ගඟ දෙපස ද දිගටම වාඩිලා සිට ඇත. එසේම කැළණි ගං මිටියාවතේ බලකොටු රාශියක් රජු තනා තිබිණ.   


මුල්ලේරියාව, රක්ගහවත්ත, කඩුවෙල, හංවැල්ල වැනි ගංතලාවන් රාජසිංහ රජුගේ ප්‍රධාන යුද කෙළිබිම් වීය. ගුරුබැවුල (හංවැල්ල) බලකොටුව, තරාල, පූගොඩ, අකරවිට වැනි කැලණි ගම් මායිමේ තොටුපළ බොහොමයක් පරංගි සේනාවට පහර දීමට සුදුසු පරිදි රාජසිංහ රජු සූදානම් කරගත් තවත් සුවිශේෂ හේවා රැඳවුම් පොළවල් විය.   


සීතාවක රාජසිංහ රජු වර්ෂ 1562 දී මුල්ලේරියා සටනින් දිනුවාට පසු මල්වාන, කඩුවෙල, හේවාගම ප්‍රදේශවල තවත් ආයුධ සන්නද්ධ බලකොටු ඉදි කෙරිණ.   


ක්‍රි.ව. 1521 දී සීතාවක සිට මායාදුන්නේ රජු ඉදිකළ ගුරුබැවුල බලකොටුව සීතාවක රාජසිංහ රජුට ද ඉමහත් යුදමය ශක්තියක් සැපයූ බලකොටුවකි. අප පසුගිය දා එම ගුරුබැවුල බලකොටුව සොයා ගියෙමු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුවරුවේ එය දක්වා ඇත්තේ ඕලන්ද කොටුව’ නමිනි.   


එය පිහිටා ඇත්තේ හංවැල්ල නගර සීමාව තුළය. බලකොටුව පිහිටි තැන දැන් හංවැල්ලේ තානායම පිහිටා තිබේ.   


බළකොටුව පිහිටා ඇත්තේම භූ විෂමතාව අනුව උස් බිමකය. ගුරුබැවුල බලකොටුව සමස්ත භූමි ප්‍රමාණය පෙනෙන ආකාරයට අක්කර එකක, දෙකක සීමාවක් ලෙස පෙනේ.   


ගුරුබැවුල බළකොටුවේ එක පැත්තක් සම්පූර්ණයෙන් කැළණි ගඟෙන් ආරක්ෂිතව පවතී. ඉතිරි පැති ගුරුබැවුල බලකොටුව ආරක්ෂා කර ගැනීම සඳහා එකල ඉදි කළ දිය අගලකින් මායිම් වේ.   
මේ දිය අගල බලකොටුව වටාම පිහිටා ඇත. නමුත් දැනට දිය අගලේ එක කොටසක් කොළඹ- අවිස්සාවේල්ල මාර්ගයට නතුව ඇත. දැනට ඉතිරිව පවතින දිය අගලේ පළල මීටර් දහයක් පහළොවක් අතර විය හැකිය. මේ දිය අගල අපට පෙනෙන පරිදි කපන ලද විශාල කබොක් ගල් යොදාගෙන නිර්මාණය කර ඇත.   
ඒ අනුව ගුරුබැවුල බලකොටුව ස්වභාවික කැළණි ගං මායිමෙන් සහ කපන ලද මාර්ගයකින් ඇළ මාර්ගයකින් ආරක්ෂිත වී තිබී ඇත.   


සතුරු සේනාවන්ට බලකොටුවට ඇතුළු විය නොහැකි පරිදි මේ දිය අගල්වල කිඹුලන් සහ දරුණු ජලජ ජීවී සතුන් මුදා හැර සිටිය බව කියැවේ. 

 
ගුරුබැවුල බලකොටුව සීතාවක රාජධානියේ මායිමක් වූ නිසා මෙතැන ද දරුණු සටන් ඇති වී ඇති බව පැවසේ. මෙහි හේවායන් විශාල ප්‍රමාණයක් ද, කාලතුවක්කු විශාල ප්‍රමාණයක් ද ස්ථානගත කර තිබී ඇත. පසුකාලයේදී සීතාවක රාජධානිය අත්පත් කරගත් පසු මෙතැන පරංගි බලකොටුවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. ඉන්පසු ලන්දේසි සමයේ ගුරුබැවුල (හංවැල්ලේ ) බලකොටුව ලන්දේසීන් අත්පත් කර ගති. ඉංග්‍රීසි ආධිපත්‍ය පැවති සමයේ දී මෙතැන ඉංග්‍රීසීන්ගේ බලකොටුවක් වීය.   


ඉංග්‍රීසි සමයේ වේල්සයේ කුමාරයා මෙහි ආ බවත් ඔහු මෙහි කොස් පැළයක් රෝපණය කළ බවත් ඔහුට තැනූ ආසනයක් පැවැති බවත් කියැවේ.   


මේ ඉතිහාස කතාවම වසාගෙන අද හංවැල්ල (ගුරුබැවුල) බලකොටුව හා අවට නාගරික බවේ හිණිපෙත්තට ළගා වී ඇත.   


නමුත් අවුරුදු හාර පන්සීයක අතීතයට යා හැකි නම් එදා ගුරුබැවුල බලකොටුවේ ස්වරූපය කෙසේ වීද යන්න සිතා ගැන්ම අපහසු නැත. ඒ සියලු‍ මතකයන් දරා ගනිමින් අද තානායම් බිමක් ලෙස ද, පුරාවිද්‍යාවෙන් හඳුන්වා දක්වන ඕලන්ද කොටුව නමැති බෝඩ් එකට ද සීමා වී සීතාවක රාජසිංහ රජුගේ ගුරුබැවුල බලකොටුවේ මහා මතකයක් වසන් කරගෙන වැළලී යමින් පවතිනවා දෝයි අපට සිතේ.

 

සටහන/ඡායාරූප - අසංක ආටිගල