අනීෂා මානගේ
මේ රටේ වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය මෙවර දුම්රිය රියදුරන් සිදුකළ වර්ජනය බවද එය ඇතැම් දේශපාලනඥයින් මෙම වැඩවර්ජනය සදහා යටිඋල්පන්දම් දෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අද (11) බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී පැවැති “වැව් දහසක් - ගම් දහසක්” වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “මේ රටේ වෘත්තීය සමිතියක් කල අසාධාරණම වැඩවර්ජනය තමයි දුම්රිය රියදුරන් කලේ. උදේ අහිංසක මිනිස්සු ටික කොළඹට කෝච්චියේ එනවා. රාජ්‍ය සේවකයෝ, බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු ඔක්කොම අය එනවා. හවස තුනට එකපාරටම කෝච්චි වැඩ වර්ජනය කරනවා. මම හිතන්නේ නෑ මේ තරම් මිලේච්ඡ වැඩ වර්ජනයක් මීට පෙර ක්‍රියාත්මක වුණා කියලා. අද වෙනකොට කෝච්චි රියදුරෙක් මාසෙකට ගන්න වැටුප දොස්තර මහත්තයෙක් ගන්න වැටුපටත් වඩා වැඩියි. මම අහගෙන කියනවා වැඩිවෙන්නේ තුන්සිය ගානයි කියලා. තුන්සිය ගානයි නෙවෙයි එකතුවෙලා එනකොට දහස්ගාණක් වැඩි වෙනවා. ඒත් අපි කැබිනට් මණ්ඩලයේ කිව්වෙ නැහැ දෙන්නේ නෑ කියලා.
අපි ඒව දෙන්න ලෑස්තියි. හැබැයි ඒත් සමගම තවත් තනතුරු 28කට ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ 28 ම විසඳන්න අපි ලබන සතියේ ඉදල කටයුතු කරන බවටයි අපි තීන්දු ගත්තේ. නමුත් ඒක අහන්නේ නැතුවයි හිතුවක්කාර විදියට මේ වැඩවර්ජනය කරන්නේ. මේවායේ යටි අරමුණු වෙන කිසිවක් නෙවෙයි දේශපාලන උවමනාවන්. දේශපාලනඥයෝ තමයි මේවට යටි උල්පන්දම් දෙන්නේ. මේ අයට ඔක්සිජන් දෙන්නේ දේශපාලනඥයෝ. මේ සමිති වල අය හම්බවෙලා සමහර දේශපාලනඥයෝ කියල තියෙනවා වැඩ වර්ජනය දිගටම ගෙනියන්න,
අපි බලාගන්නම් ගැටළුවක් ආවොත් කියලා. මේ වගේ පහත් මට්ටමට වැටුණු විපක්ෂයේ දේශපාලනඥයෝ නෙවෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇතිවෙනකොට සුභවාදීව ගිහින් ඒ ප්‍රශ්නය විසදන්න උත්සාහ කරන විපක්ෂයක් තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ.“ යනුවෙන් පැවැසීය.