මත්තලට එන අලි පන්නන්න විශේෂ කණ්ඩායමක් ඉල්ලයි


 (සනත් ගමගේ)
 
මත්තල ජාත්‍යන්තර  ගුවන් තොටුපළ අවට ප්‍රදේශවලට නිරන්තරයෙන් පැමිණෙන වල් අලි පලවා හැරීම සඳහා වනජීවී  නිලධාරීන් කණ්ඩායමක් ඒ වෙත යොමු කරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව එහි ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා කීය.
 
හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඔහු මේ බව පවසා තිබේ.
 
මත්තල ජාත්‍යන්තර  ගුවන් තොටුපළට දැන් ගුවන් යානා පැමිණෙන බැවින් මගීන් ගුවන් තොටුපළට එන මාර්ගයට පැමිණෙන වල් අලින් එලවා දැමීමට හම්බන්තොට සිට වනජිවී නිලධාරීන්ට පැමිණීමට සිදුව ඇතැයි ඒ මහතා පැවසීය.
 

හම්බන්තොට වනජීවි කාර්යාලයට දැනුම් දුන් විට වෙනත් රාජකාරියක එම නිලධාරීන් නිරතවී සිටීමෙන්  මත්තලට පැමිණීම   ප්‍රමාද වීමෙන් අනතුරු සිදුවීමට ඉඩ  ඇති බවද, මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේම වනජීවි නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසට ගුවන්තොටුපළ කළමණාකරු ඉල්ලීමක් කලේය.
 
මත්තල ගුවන් තොටුපලට පිවිසෙන මාර්ග පද්ධතියේ විදුලිය පවා දැනට නොමැති හෙයින් රාත්‍රී කාලයේ වල් අලින් හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද උපුල් මහතා කීය.
 
ජනවාරී මාසය තුලදී පමණක් ගුවන් යානා 27 ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට සේවා සඳහා පැමිණි බවද ඉදිරියේ දි මෙම තත්ත්වය වැඩිවීමට ඉඩ ඇති බවද ගුවන් තොටුපල කළමණාකරු  සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, මත්තලට විශේෂ කණ්ඩායමක් යෙදවීමට ඉල්ලීම් කරන බවය.