නිවාස බිඳුම් කළ අයෙක් රන්භාණ්ඩ-මුදල් සමඟ පොලිසියට හසුවෙයි


(එච්. එම්. ධර්මපාල )

දෙහිවල, ගල්කිස්ස, බොරලැස්ගමුව  යන පොලිස් වසම් තුළ  නිවාස  10කට අධික ප්‍රමාණයක් බිඳ රුපියල් ලක්ෂ හැට තුනකට අධික  රන් භාණ්ඩ ඇතුළු දේපළ  සොරාගත්  පුද්ගලයෙකු විදේශීය රටක නිෂ්පාධිත  ජීව  අත්බෝම්බයක්ද  දෙහිවල පොලිසිය අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
 
සැකකරු ගල්කිස්ස  පීරිස් පාර පදිංචි වයස 37 ක් වන පුද්ගලයෙක්  වන අතර, මීට පෙරත් නිවාස බිදුම් වලට සම්බන්ධව බන්ධනාගාර ගතව සිට  පැමිණි අයෙකුද වන බවත් අධික ලෙස හෙරෝයින් පානයට ඇබිබැහිවී ඒ සදහා මුදල් සොයා ගැනීමට මෙලෙස නිවාස බිදුම් සිදුකරන බවටත් හෙළිවී ඇති බවත් පොලීසිය කියයි. 
 
පසුගිය 16 වනදින දෙහිවල සිරිමල්  මාවත නිවසක් බිද රුපියල් ලක්ෂ 60 අධික  රන්භාණ්ඩ  සොරා ගත් බවට පොලීසිය වෙත ලද පැමිණිල්ල ගල්කිස්ස  ජ්‍යෙෂ්ඨ  පොලිස්  අධිකාරි රෝහන් ප්‍රේමරත්න මහතා විසින් එම පැමිණිල්ල දෙහිවල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  රොෂාන් උදයංග මහතා වෙත යොමුකරනු ලැබ ඇත.
 
ඒ අනුව  සිදුකළ විමර්ශනයේදී  සැකකරු හෙළිකරන ලද තොරතුරු අනුව ඔහු පදිංචි ගල්කිස්ස  පීරිස් පාර නිවස සෝදිසියේදි විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද, වාද්දූව සැකකරුගේ ආච්චිගේ  නිවසේ ගෙවත්තේ  වළදමා තිබූ රුපියල් ලක්ෂ හැටකට  ආසන්න රන්භාණ්ඩ  හා රුපියල් ලක්ෂ  තුනකට ආසන්න රන්භාණ්ඩ  මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික  උකස් මධ්‍යස්ථාන වලට උකස් කර තිබියදී පොලිස් භාරයට ගෙන  ඇති  රන්භාණ්ඩ  අතර වටිනා පෙන්ඩන් සහිත මාල කීපයක්, රන් දම්වැල් කීපයක්, අත් මුදු කීපයක්, කරාබු කීපයක් වන බවත් පොලීසිය කියයි.