කොළඹ නගරසභා ඉතිහාසය
එය අද රටේ ප්‍රධාන ප්රශ්නය වී හමාරය. මේ රටේ ඕනෑ තරම් නගරසභා, මහ නගරසභා තිබුණත් රටම බලා සිටින්නේ කොළඹ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද කියාය. කොළඹ පුරවරයේ පාලන කේන්ද්‍රස්ථානය කොළඹ නගරසභාව බැවින්, කොළඹ නගර සභාවේ බලය ඇල්ලුවා කියන්නේ රටේම බලය ඇල්ලුවා වගේ යැයි කියමනක් ඇත්තේ ඒ නිසාය.
කොළඹ යන නාමය ගැන රොබට් නොක්ස් සටහනක් තබා ඇත්තේ මෙසේය.
“කොළඹ නගරයට බටහිර දිග්බාගයේ, ස්වදේශිකයන් අඹ ගස නමින් හඳුන්වන ගසක් තිබේ. අඹ ගසේ සාමාන්‍යයෙන් අඹ ඵල හටගැනුණත්, මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා, ගස ‘කොළ අඹ’ යන නමින් හැඳින්වූ අතර, ලෝ ප්‍රකට ඉතාලි ජාතික නාවිකයකු වූ ක්‍රිස්ටෝපර් කොළම්බස්ට ගෞරව කරනු වස් ‘කොලුම්බු’ යන්න ඒ වෙනුවට යොදාගෙන ඇත. මුහුදුබට ප්‍රදේශයේ ඇති ප්‍රධාන නගරය මෙයයි. ප්‍රධාන ආණ්ඩුකාරයාගේ නිල නිවාසය ද මේ නුවර තුළ පිහිටා ඇත. මේ කරුණු වඩාත් සනාථ වෙන්නේ ලන්දේසීන් නගර ලාංඡනයට අඹ සහ පරවියෙකු තෝරාගැනීමෙනි.*
රොබට් නොක්ස් යුගයේ කොළඹ නගරයේ, සුදෝ සුදුව බැබළෙන, ඇමෙරිකාවේ ධවල මන්දිරය වැනි ගොඩනැගිල්ලක් තිබුණේ නැත.
කොළඹ නගර සභා ගොඩනැගිල්ලට කියන්නේ ‘%පුරහල’ කියාය. එහෙත් කොළඹ නගර සභාව ආරම්භ කොට ඇත්තේ අද ඔබ දකින නගරසභා ගොඩනැගිල්ලේ නොවේ. මේ නගර සභා මුල් ගොඩනැගිල්ල අදත් සුරක්ෂිතව ඇත්තේ පිටකොටුවේ ගෑස්පහ හංදියේය. ගෑස්පහ හංදියේ මේන්ස්ට්‍රීට් එකට මුහුණලා, බෝධිරාජ මාවතේ පීපල්ස් පාක් ගොඩනැගිල්ල තෙක් මේ ගොඩනැගිල්ල අදත් දැක ගත හැකිය.
එකල පැවැති ගෘහ නිර්මාණ ශිල්පය අනුව,දෙමහල් ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමට පවරනු ලැබූවේ බ්‍රිතාන්‍ය නිර්මාණ ශිල්පියකු වූ ජේ.ඒ. ස්මිතර් නිර්මාණ ශිල්පියාටය. මෙම මුල් ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු කොට ඇති මුදල පවුම් හත්දහසකි. මුල් ලේඛනවල සඳහන් වෙන්නේ එම මුල් පුරහල, ශාන්ත පාවුලු දේවස්ථානයක් සහ එඩින්බරෝ වෙළෙඳපොළක් අතර ඉදිවූ බවය. මෙම මුල් පුරහල හෙවත් අද ගෑස් පහ හන්දියේ පැරණි නගරශාලා ගොඩනැගිල්ල විවෘත කොට ඇත්තේ 1879 වසරේ දීය. ඒ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා අතිනි.
මේ සඳහා යටත් විජිත ආණ්ඩුවෙන් මුදල් අනුමත වී ඇත්තේ 1865 දිය. එකි ලේඛනවල දැක්වෙන්නේ, නගර සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේදී යටත් විජිත ආණ්ඩුව බලාපොරොත්තු වූයේ යටත් විජිත ජනයාට කොළඹ යනු තම අගනුවර බව හැඟීම ඇති කිරීමට මෙම ගොඩනැගිල්ල ගොඩනගන බවය. කොළඹ නගර සභාවේ මුල්ම සභාපතිවරයා වූ සර් සී. පී. ලෙයාඩ් (1366--1877) සහ ආණ්ඩුකාර සර් හර්කියුලස් රොබින්සන් (1855 - 1872) මෙම ඉපැරණි නගරශාලා ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල් වූ බව ඉතිහාසයේ සඳහන්ය.
කොළඹ පිටකොටුව ජනාකිර්ණ වෙත්දී, එම ඉපැරණි ගොඩනැගිල්ල කොළඹ පරිපාලන කටයුතු වලට බාධාවක් වූයේ එහි වූ වෙළෙඳාමට හා බඩු මිලදී ගැනීමට පිටකොටුවට පැමිණි ජනතාවගේ ගෝෂාවයි.
පසු ලේඛනවල හඳුන්වන්නේ එම ස්ථානය අලෙවි දෙපාර්තමේන්තුවට පවරා දුන් බවය. 1984 අවුරුද්දේ එය පිළිසකර කොට එය නගර සභා කෞතුකාගාරය වශයෙන් අදටත් පවතී. නගර සභා ඉතිහාසය ගැන කරුණු සොයන්නට එතැනට ගිය විට, දැන් ඇති පුරහල නගර ශාලාවටත් වැඩි කරුණු රැසක් අපට සොයාගත හැකි වූයේ පැරණි නගර ශාලාව ගැන ය. වෙන රටවල මෙවැනි ස්ථාන සංරක්ෂණය කොට මතු පරපුරට දැකගැනීමේ අවස්ථාව සලසා ඇත. එහෙත් අද මේ පැරණි නගර ශාලාවේ කොටසක ඇත්තේ වංගෙඩි, කැති, මන්න, පැදුරු, හඳුන්කූරු හිරමණ, ආදිය විකුණන වෙළෙඳසල් සමූහයකි. අද මෙම ගොඩනැගිල්ලේ බිම්මහලේ ඉදිරිපස කොටසක, කොළඹ නගර සභාව පාරවල් හැදීමට යොදාගත් ගල් රෝල්, තාර උණුකරන දර දමන කරන්න ආදි දහසකුත් දේ ඇත. අදද මෙම ගොඩනැගිල්ල විදේශීය චිත්‍රපට සඳහා රූගත කිරීම්වලට යොදාගනු දැක ගත හැකිය.
අද මෙරට දැවැන්තම ප්රශ්නය වෙන කොළඹ නගර සභා ගොඩනැගිල්ලේ බලය ඇල්ලුමට මුල් වූ ගොඩනැගිල්ල ඉඳිකෙරෙන්නේ 1907 දිය. ඒ පිටකොටුව ආශ්‍රිතව දැවැන්ත ලෙස ජනාකීර්ණ වීම නිසා නගරසභා මන්ත්‍රීන්ට නිස්කාත්සුවේ වාද විවාද පැවැත්වීමට එය බාධාවක් වු නිසාය. නිසංසල ප්‍රදේශයක කොළඹ නගර සභාව පිහිටුවිය යුතු බව එදා රට පාලනය කළ සුදු ආණ්ඩුවේ තීරණය විය.
එවකට පුරපතිවරයා වූයේ ඊ. ඇම්. ද කර්සිපොට් ය. එහෙත් කොළඹ නගර සභාවට වසර 150ක් පිරුණු අවස්ථාවේ මුද්‍රණය කළ දැවැන්ත කෝෂ ග්‍රන්ථයේ, කාසි පොට්ගේ ඡායාරූපයක් නොමැති වීම අදහාගත නොහැකි තත්ත්වයකි.
මේ සඳහා තෝරාගත් ඉඩම දෙපස වූයේ ඇස් රෝහල හා වික්ටෝරියා උද්‍යානයයි. වික්ටෝරියා උද්‍යානය පසුකලෙක විහාරමහා දේවි උද්‍යානය බවට පත් විය. මෙම වික්ටොරියා නාමය ඉවත් කිරීම ගැන කුපිත වූ ඉංග්‍රීසි උගතකු, එවකට පැවති ‘ලිඩර්’ පුවත්පතේ ලිපියක් පළකොට ඇත්තේ වික්ටෝරියා නාමය ඉවත් කරන්නේ නම් පිටකොටුවේ ‘‘වික්ටෝරියා බාර්’’ එකේ නමද වෙනස් කළ යුතු බවය.
කොළඹ නගර සභා ලේඛනවල සඳහන් පරිදි, වත්මනෙහි දක්නට ලැබෙන පුරහල ගොඩනැගිල්ලට මුල් ගල තබා ඇත්තේ එවකට පුරපති ටී.රීඩ් විසිනි. ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු ඒ. ග්රැමෝන් සමාගම,එය ඉදිකිරීමට පුරා සිව් වසරක් ගෙන ඇත. වත්මන් නගර සභා ගොඩනැගිල්ල දුටු විට අපේ මතකයට එන්නේ ඇමෙරිකාවේ කැපිටල් (Capitol) මන්දිරයේ සහ ධවල මන්දිරයේ (White House) සංකලනයකි. එය විවෘත කොට ඇත්තේ එවකට නගරාධිපතිධුරය දැරූ එම්. ඊ. නිවුන්හැම් විසින් බව ලේඛනවල සඳහන්ව ඇත.
පසුගියදා පැවති ඡන්දයෙන් පසු තවමත් නගරසභා බලය පිහිටුවා නැත. එහෙත් ඡන්දයේදී බොහෝ නගර සභාවල අපේක්ෂකයන් තමන් පුරපති කරන ලෙස දැන්වීම් ගසනු දක්නට ලැබේ. නමුත් කොළඹ නගර සභාවේ පුරහල අධිපති ‘පුරපති’ බව නොදැන සිටියා විය යුතුය. පුරපති යනු කොළඹ නගර සභාවට සුවිශේෂි තනතුරකි. නගර සභාවල ප්‍රධානියා හැඳින්විය හැක්කේ නගරාධිපති ලෙස හෝ නගර සභා සභාපති ලෙසය. එම වෙනසවත් නොදන්නා පිරිසක් මේ බලය පිහිටුවීමේ බලු පොරයට පැටලීම දෛවෝපගත සිදුවීමක් වී තිබේ. කොළඹ නගරසභාව කවදත් රසවත් කතා පැවැත් වූ රස ශාලාවක් විය.
1865 සිට කොළඹ මහා නගර සභාව ඇරඹු දා සිටම එය වැදගත් සිද්ධීන් ගහන ඉතිහාසයකට හිමිකම් කියයි. 1866 ජනවාරි 5 වැනි දින සභිකවරු 9 දෙනෙකු මුල්ම නගර සභාවට පත්කරන්නේ බ්‍රිතාන්‍ය රජයෙනි. ඩි. බී. ලෙයාඩ්ස් මුල් සභාපති වු අතර සැමුවෙල් ග්‍රැනියර් ආරම්භක ලේකම්වරයාය. කොළඹ නගර සභා මුළු සීමා පෙදෙස එකල කොට්ඨාස 9කට බෙදා තිබුණි. ඒවා නමින් නොයිට්, ස්ලේව් අයිලන්ඩ්, ෆෝට්, පෙටා, කොල්පිට්, සෙන්ට් පෝල්, සෙන්ට් ඩයිනා, නිව් බසාර් සහ මරදාන වශයෙනි. ඉන්පසු එළඹි ඡන්ද ක්‍රමය අනුව කොළඹ නගර සභාව මන්ත්‍රී ධුර 113 කින් සමන්විතවිය. එය පෙර පැවැති ක්‍රමයට වඩා 100 කටත් වඩා වැඩිවීමකි.
පොදුවේ ගත් කල, කොළඹ නගර සභාව මෙරට දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් වෙන්නේ ඇයි? කෙටියෙන් හැඳින්වූවහොත්, ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කළ නායකයන් බිහිකළ නිසාම ද? ඔවුනට ඉගෙනීමට උපකාරී වූ ශිල්ප ශාලිකාව වුයේ කොළඹ නගර සභා රන් භූමියයි.
මේ කොළඹ නගරයේ බිම් ප්‍රමාණය අක්කර 9166 කි. මෙයින් විශාලතම ප්‍රදේශය අක්කර 846කින් යුතු කුරුඳුවත්තයි. කොළඹ කොටුව අක්කර 441 කි. මරදාන අක්කර 64 කි.
ගෝඪාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට නාම යෝජනා දුන් අවස්ථාවේ, හිටපු ඇමති කුමාර වෙල්ගම. පක්ෂයේ සභාපති සටනින් ඉවත්වූයේ ගෝඨාභය යනු නගර සභාවක මන්ත්‍රී ධුරයක්වත් නොහෙ වූ ‘එල් බෝර්ඩ්’ කාරයෙකුට රට භාරදිය නොහැකි බව කියමිනි.
කොළඹ නගරසභා ඉතිහාසය බැලු විට, එහි මන්ත්‍රී නියෝජිතයින් මෙරට දැවැන්ත දේශපාලකයින් වූ බව නිරික්ෂණය කළ හැකිය. කොළඹ නගරසභාවේ 1940 දී නගරාධිපති වු ඒ. ඊ. ගුණසිංහ මෙරට කම්කරු දේශපාලනයේ ආරම්භකයා විය. එමෙන්ම පසුකලෙක ජනපතිධූරයට පත් රණසිංහ ප්‍රේමදාසගේ ගුරා වූයේ කම්කරු පක්ෂයේ නිර්මාතෘ ඒ. ඊ. ගුණසිංහය. ප්‍රේමදාස ජනපති වූ පසු, තම ගුරාට කෘතගුණ දැක්වූයේ කොළඹ කෙසෙල්වත්තේ ගුණසිංහ ප්‍රතිමාවක් ගොඩනගා ගුණසිංහපුරය නමින් මහල් නිවාස සංකීර්ණයක් ගොඩනැගීමෙනි. තවත් මතක සිටින නගරාධිපති චරිත නම් ජෝර්ජ්. ආර් ද සිල්වා (1943 ආර්. ඒ ද බෙල් 1944 - 1946) කුමාරන් රත්නම් (1950) ආචාර්ය එන්. එම්. පෙරේරාය. (1954-1956) ආචාර්ය එන්.එම් පෙරේරා පසුකලෙක මෙරට මුදල් අමාත්‍යවරයා බවට පත් විය. ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, තමා කොළඹ නගරාධිපති ධුරය දැරූ සමයේ ඉඳගත්තේ තමන් විසින් සිරගත වී සිටි අවස්ථාවේ වියන ලද පුටුවක බවය. එමෙන්ම වී.ඒ. සුගතදාස (1957-1957, 1963-1965) එම්.එච් මොහොමඞ් (1960-1963) වින්සන්ට් පෙරේරා (1965-1966, 1970-1973) ජබීර් ඒ කාදර් (1966-1969), ඒ.එච්.එම්. ෆවුසි (1974-1977) සිරිසේන කුරේ (1979-1979), රත්නසිරි රාජපක්ෂ (1991-1994) රත්නසිරි රාජපක්ෂ ව බොහෝදෙනා හැඳින්වූයේ ජනපති ප්‍රේමදාසගේ පුත්‍රයෙකු වශයෙනි. පෙනුමෙන් මෙන්ම කතාවෙන්ද රත්නසිරිගේ ස්වරූපය ප්‍රේමදාසට සමාන වීම මීට හේතුවයි. කරු ජයසූරිය (1997-1999) ආදි පුරපතිවරු මෙරට දේශපාලනයේ හදාගත්ත විප්ලවීය චරිත විය.
පිලිප් ගුණවර්ධනගේ පුත්‍රයෙකු මෙන්ම හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සහෝදරයෙකු වූ ප්‍රසන්ත ගුණවර්ධන පුරපති ධුරය හෙබවූයේ 2002-2006 දක්වාය.
කොළඹ නගරසභා ඉතිහාසයේ යූ.ඇන්.පීය වෙනුවට කණ්නාඩියෙන් තරඟ කළ ස්වාධින කණ්ඩායමක් ඡන්දය ජයග්‍රහණය කරන ලද්දේ 2006 දීය. එම නගරාධිපතිවරයාගේ නම වුයේ උවායිස් මොහොමඩ් ඉම්තියාස් ය. ඔහු වෘත්තියෙන් ත්‍රීරෝද රියැදුරයෙකු විය. පොරොන්දු වූ පරිදි ඉල්ලා අස් වී, යූ.ඇන්.පි. යට බලය දෙන්නට උවායිස් පියවර නොගත් නිසා, 2006 සිට 2008 දක්වා නගරාධිපති පුටුවේ වාඩි වී සිටි උවායිස් යුගයේ, කොළඹ නගරසභා පුරපති නිල නිවසේ උදේ -දවල් -රෑ දහස් ගානක් ඔහුගේ ඥාති හිතවතුන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කළ බව නොරහසකි.
ඊටත් වඩා මෙරට විධායක ජනාධිපතිවරුන් වූ ජූනියස් රිචඞ් ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරුන් දේශපාලනයේ මුලකුරු කියවූයේ මේ කොළඹ නගර සභාවෙනි. ජයවර්ධන 1941 සිට 1943 දක්වාත් ප්‍රේමදාස 1950 සිට 1957 දක්වාත් 1961 සිට 1965 දක්වාත් කොළඹ නගර සභාවේ සභික තනතුරු දැරූ ඉතිහාසගත චරිත වෙන්නේ එම නිසාය.
ඒ නිසාම කොළඹ නගර සභාවේ සෙවණ ලද නායකයන් බොහෝමයක් මෙරට දේශපාලනයේ පතාක යෝධයන් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඊටත් වඩා බොහෝ දෙනාට අමතක වී ඇති කරුණක් නම්, මෙම කලාපයේ පළාත් පාලන ආයතනවලින් සර්වජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීමට වරම් ලද ප්‍රථම ආයතනය කොළඹ නගර සභාවයි.
ඉතිහාසයේ ලේඛනවල කොළඹ නගර සභා ඉතිහාසය පිරික්සීමේ දී, පවුල් පරම්පරා කීපයක් ගැන ද සඳහන් නොකළොත් අඩු පාඩුවකි. නිව් බසාර් ආසනයට වරක් එකම පවුලේ තිදෙනෙකු පත් වී ඇත. ඔවුන් නමින් හෙක්ටර්, ඊ. ඩබ්ලිව් සහ ටි.ජි. ජයවර්ධන යන අයයි. තවත් සහෝදරයන් තිදෙනෙකු එකම කාලයකදී (1937-1943) තේරී පත් වී ඇත. සර් රතනජෝති සරවනමුත්තු (මුල් නගරාධිපති) එස්. සරවනමුත්තු සහ එන්. සරවනමුත්තු නම් සහෝදරයන් තුන්දෙනාය.
මේ අතර වී.ඒ. සුගතදාස කොච්චිකඬේ අසුනට තරඟ කළේ 1946 දී නිදහස් අපේක්ෂකයෙකු ලෙසය. ඔහු 1949 දී උපනගරාධිපති වූයේ එජාප සභිකයෙකු ලෙසය. 1956 දී සුගතදාස නගරාධිපති ධුරයට පත් වෙන්නේ එන්. එම්. පෙරේරා නෙරපා හරිමිනි. සිංහල සිනමාවේ ප්‍රථම නළුවා වෙන්නේ මෙන්න මේ එන්. එම්. පෙරේරාය. ඒ නිසාම කොළඹ නගරාධිපති වූ ප්‍රථම නළුවා ලෙස ඇන්. ඇම්. ඉතිහාසගත වී ඇත.
ආසියාවේ කිසිදු නගරසභාවකට නැති ලිඛිත ඉතිහාසයක් කොළම නගර සභාවට ඇත. ප්‍රථම වරට, ආසියාවේ වාෂ්ප බලයෙන් ක්‍රියාකරන ගල්රෝලක් ගෙන ඒමේ ගෞරවය හිමිවෙන්නේ කොළඹ නගරසභාවටය. මෙය ඒ සන්දියේ හඳුන්වා ඇත්තේ ගල් කෝච්චිය නමිනි. කොළම වරායේ සිට කොල්ලුපිටියේ වූ නගර සභාවේ වැඩබිමක් වෙත මෙය පදවාගෙන ගොස් ඇත්තේ උත්සවශ්‍රීයෙනි. එහෙත් මේ ගල්රෝල ගැන නගරසභා කෞතුකාගාරයෙන් විමසුවත් ඔවුනට මේ ගැන අවබෝධයක් නො වීය.
රේවන් හාට් නම් ඉංග්‍රීසි ලේඛකයා මේ ගැන තැබූ සටහනක් එවකට ප්‍රකාශයට පත් කෙරුණු “මොනින් ලීඩර්” නම් පුවත්පතේ පළකොට ඇත. මෙය හඳුන්වා ඇත්තේ ගල් කෝච්චියේ මංගල ගමන නමිනි. මනා ලෙස සරසන ලද මෙම ගල් රෝල පදවාගෙන ගොස් ඇත්තේ ඉංග්‍රිසි ජාතිකයෙකු විසිනි. කොළඹ වරායේ සිට රැජින වීදිය, ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය නගර සභා වැඩ බිමට ගල් කෝච්චිය පදවාගෙන එන දසුන දැකීමට මග දෙපස පිරිස් පුල පුලා බලා සිටි අන්දම රේවන් හාට්ගේ ලිපිය රාමුකර නගර සභා ශාලාවේ එම යුගයේ ප්‍රදර්ශනය කොට තිබේ.
ආමි සහ නේවි ලෙස සේවක පිරිසක් සිටි ආයතනය වෙන්නේ කොළඹ නගර සභාවය. ආමි යනු දිනකට පැමිණ වැටුප් ලබන පිරිසය. නේවි යනු, යම් ප්‍රධානියෙකු සේවකයින්ගේ නම ලේඛනයට වැටුප් ලැබුණු විට ඔවුන්ට සුළු මුදලක් දී ඉතිරිය මාටියා ගැසීමය. ඔවුන් සේවයට එන්නේ වැටුප් ලබාගැනීමට පමණි. තවත් පිරිසක් නාමලේඛනයේ අත්සන් කළ පසු ත්‍රීරෝද පැදවීමටත්, කඩසාප්පු වල වැඩටත් යති. ඔවුන් නැවත එන්නේ වැඩ අවසන් කිරීමට අත්සන් කිරීමට හෝ ඇඟිල්ල ගැසීමට පමණි.
1911 දී කොළඹ නගරසභාවේ නාගරික අනුජීව රසායනාගාරයේ ප්‍රථම අනුජීවක වෛද්‍යවරයා, වෛද්‍ය නෝ බියන් හර්ට්ස්, එකල කොළඹ මහාමාරියා වසංගතය පැතිර යාමත් සමඟ එම රසායනාගාරය අරඹන ලදී. මහාමාරිය බෝ වෙන්නේ මැක්කෙකුගෙන් බව සොයාගන්නා ලද්දේ මෙම රසායනාගාරයේ දීය. එය මෙරට නගරසභාවක් සතු එකම අනුජීව රසායනාගාරයයි.
2012 දී කොළඹ නගරසභා ඉතිහාසයේ අවුරුදු 143 කට පසු පෙරළියක් විය. ඒ මුදල් කාරක සභාවේ බලය නගරසභාවේ බලය හිමි එජාපයෙන් ගිලිහී විපක්ෂයට හිමිවීමය. වත්මන් ජනපති අනුර, තමන්ට බලය පිහිටුවන නගරසභාවලට පමණක් අරමුදල් ලබාදෙන බවට කළ ප්‍රකාශය මතකයට එන්නේ නිතැතිනි.
දැන් ජාජබ තීරණය වී ඇත්තේ කොළම නගරසභාවේ බලය හොඳින් හෝ වක්‍රාකාරයෙන් පිහිටුවීටමය. 2011 දී කොළඹ නගරසභාවේ අය වැය විවාදයේ දී ඊට විරුද්ධ වූ එකම මන්ත්‍රීවරයා වූයේ (ජේ.වී.පියේ)නීතිඥ සුනිල් වටගලය. ඔහු ඒ විවාදයේ දී කළ කතාව කොළඹ නගර සභාවේ බලය අල්ලන්ට යන මාලිමා ආණ්ඩුවට අනුගමනයට කදිම උපදේශයක් කර ජනපතිතුමාගේ අවධානයට එය යොමු කරමි.
මෙන්න වටගල වසර 14කට පෙර කියූ දේ, “වර්ෂ 1෮874 කොළඹ මහනගර සභාවේ පළමු රැස්වීම පැවැත් වුණා. එදා සිට රැස්වීම් ගණනාවකි. පාලන තන්ත්ර ගණනාවක් තිබිලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. හැබැයි වෙනස් නොවිච්ච එක පිරිසක් කොළඹ නගරය තුළ ඉන්නවා. ඒ තමයි කොළඹ නගරයේ ජීවත් වෙන වතු ජනතාව. කොළඹ ආශ්‍රිතව දියුණු කළාට කොළඹ වතු ජනතාව ඉන්නේ අන්ත දුකේ. අද පැය භාගයක් වැස්සොත් කොළඹ යටවෙනවා. ඩෙංගු වසංගතය නගරයේ සෑම තැනකම පැතිර ගිහින්. වතු ජනතාවගේ දරුවෙකු ජාතික පාසලකට ඇතුළත් කරගන්නේ නැහැ. ඒ ජනතාව ඛේදනීය ඉරණමකට පත්වෙලා. මේ දේවල් පෙන්වලා දෙන අතරම පුස්තකාල සංවර්ධනයට අදාළ යෝජනා ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි යෝජනා කරනවා. ”
මහින්ද රණවීර