ඇය අපේ වස්තුවයි


ආදරය සොයා ආ මාලනීය, ආදරය වින්ද මාලනිය 78 වැනි උපන් දිනය සමරා අප අතර ජීවත් වූයේ සති කිහිපයකි. හෙළ සිනමාව අද්විතීය රංගනයෙන් හැඩගැන්වූ මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය මැයි 24 වැනිදා ලාංකීය සිනමාවේ රන් පරිච්ඡේදයක පුරාවෘත්තය එසේ අවසන් කළාය. 

වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා උපන්නේ 1947 අප්‍රේල් 30 වන දින කැලණියේදීය.  ගිල්බට් සහ සීලවතී  ෆොන්සේකා  පවුලේ තුන්වැනි දරුවා වූ මාලනී ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. පසුව කැලණියේ ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇගේ පළමු වේදිකා රංගනය 1965 දී නොරත රත නම් වේදිකා නාට්‍යයෙන් ඇරඹෙද්දී ඇගේ වයස අවුරුදු 16කි.

1969 දී, අකල් වැස්ස නාට්‍යයේ චරිතය වෙනුවෙන් ඇය ජාතික නාට්‍ය උලෙළේදී හොඳම නිළිය සම්මානය දිනා ගන්නේ තමා තුළ සිටි දක්ෂ රංගන ශිල්පිනිය කරළියට ගෙන එමිනි. ඇය සිනමා චාරිකාව ආරම්භ කළේ තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ පුංචි බබා චිත්‍රපටයෙනි. ඒ 1969 දී ය. 
එතැන් පටන් සිංහල සිනමාවට මෙන්ම මාලනියටද ස්වර්ණමය යුගයක් විය. තමාට ලැබෙන සෑම චරිතයක් තුලටම ඇය ජීවත් වූවාය. හැඬුවාය, පෙම්කරාය, සුරතල් පෙම්වතියක් වූවාය. දඩබ්බර ගැහැනියක් වූවාය. විරහවේ කඳුලු සටහන් පිටපතේ මෙන්ම සැබෑ ජීවිතයේද ඇය පුදුමාකාර ශක්තිවන්තව දරා ගත්තාය. ඒ නිසාම ඇගේ රුවටත් රඟපෑමටත් ප්‍රේක්ෂකයා පෙම් බැන්දේ හදවතේ ගැඹුරුම තැනින්ය.  පුංචි බබාගේ සිට දශක හයක් චිත්‍රපට 140 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් හැඩගැන්වූ මාලනිය විශේෂ වන්නේ ඇය කිසි විටෙකත් එක් රාමුවකට කොටු  නොවූ පුළුල් පරාසයක අද්විතීය රංගන ශිල්පිනයක වූ නිසාය.

ඒ ප්‍රතාපවත් රාජිණිය ගැන බොහෝ දේ ලියවී කියවී ඇත. එහෙත් තව ලිවීමට කීමට බොහෝ දේ ඇත. ලියා අවසන් කරන්නට නොහැකි ජීවන රඟමඩලේ පිරවිය නොහැකි හිස්තැනක සිට මේ ලියන්නේ මාලිනියගේ ඔබ නොදුටු එක් පැතිකඩකි.

මාලනී ෆොන්සේකා මියගොස් සත් දිනකි. තවමත් ඒ වේදනාව රසික හදවත්වල එලෙසමය. මෙරට රසික හදවත් ඇයට ප්‍රේම කළේ ඇයගේ රුවට, රංගනයට වුවත් ඇය තුළ තිබූ උතුම් ගුණාංග බොහෝ දෙනා එළියේ තිරයේ දැක්කේ නැත.

සාමාන්‍ය ජීවිතයේදී නිතරම ඇය අරගල කළේ සිය පවුලේ සහෝදර සහෝදරයන්ගේ සතුට යහපත වෙනුවෙන්ම ය. ඒ පිළිබඳ සාක්ෂි බොහෝය. පිටින් පෙනෙනවාට වඩා ඇය තුළ තිබූ දාරක සහෝදර ප්‍රේමය ලොව අන් කිසිවකටත් වඩා ඇයට ඉහළ විය. හැම මොහොතකම දිවි හිමියෙන් පවුලේ අය වෙනුවෙන් ජීවිතයම කැප කළ මේ තමයි ඒ අපූරු මාලනී.

මේ මතකය අවදි කරන්නේ මාලනියගේ බාල සහෝදරයා නිමල් ෆොන්සේකා ය.

 ලෝකෙටම නිළි රැජින වුණත් ගෙදර උළුඅස්සෙන් අැතුළේ එයා 
 අපි හැමෝගෙම අම්මා වුණා 

"අපේ පවුලේ ලොකුම අයියා දයානන්ද ෆොන්සේකා, ඊළඟට රංජිත් ෆොන්සේකා, ඊට පස්සේ  තමයි මාලනී අක්කා, එයා ළඟට මහින්ද  ෆොන්සේකා,ආනන්ද ෆොන්සේකා, කල්‍යාණි ෆොන්සේකා, උපාලි ෆොන්සේකා, ශ්‍රියානි ෆොන්සේකා, ඊට පස්සේ මම නිමල් ෆොන්සේකා, රසාදරි ෆොන්සේකා, දමයන්ති ෆොන්සේකා. අපේ අම්මාට දරුවෝ 11ක්. මාලනී අක්කා තමයි තුන්වෙනියා. 

අපි ඔක්කොම ඉපදුණේ කැලණියේ වරාගොඩ වෙදමුල්ලේ. කැලණියේ අම්මාට උරුමයෙන් ලැබුණ ගෙදර තමයි අපි ජීවත් වුණේ.අපේ තාත්තා වැඩ කළේ රජයේ මුද්‍රණාලයේ  .තාත්තාගේ සුළු පඩියෙන් තමයි අපි 11 දෙනාම උස් මහත් කළේ. අම්මාත් කඩයප්පන් හදලා කඩවලට දැම්මා. අපි  ජීවත් වුණේ පොල් අතුගෙයක.  තාත්තා විශ්‍රාම ගියාට පස්සේ හරි අමාරුවෙන් ජීවත් වුණේ. වේලක් ඇර වේලක් කාපු දවසුත් තිබුණා. ඒ වෙනකොට මාලනී අක්කා කලා වැඩවලට ආපු මුල් කාලේ.  ඔය අතරේ වැඩිමල් අයියලා දෙන්නා තාත්තා වැඩ කරපු රජයේ මුද්‍රණාලෙට දැම්මා. 

1972 වෙනකොට පොල් අතුගේ කඩලා සිමෙන්ති ගඩොල් වලින් පොඩි ගෙයක් බැන්දා. තාත්තා විශ්‍රාම ගත්ත වෙලාවේ යම් මුදලක් ලැබුණා. ඒකයි මාලනී අක්කා රඟපාලා හම්බ කරපු සල්ලියි අයියලා දෙන්නා හම්බ කරපු සල්ලියි දාලා තමයි පොඩියට ගෙයක් හදාගත්තේ. අක්කා පාසලෙන් පිට වේදිකා නාට්‍යයකට තෝර ගත්තා එච්. ඩී. වීරසිරි කියන නාට්‍ය ශිල්පියා. එතනදි 1969 දි ලංකා කලා මණ්ඩලයෙන් හොඳම නිළිය සම්මානයත් අක්කාට ලැබුණා.  

අශාන් ෆොන්සේකා ලොකු නැන්දා සමග

ඒක දැකලා තමයි  තිස්ස ලියනසූරිය මහත්මයා අක්කා හොයාගෙන එන්නේ පුංචි බබා කියන චිත්‍රපට  ගන්න. අක්කාට චිත්‍රපටයේ අවස්ථාවක් ලැබෙනවා කිව්වාම අම්මා හරි සතුටු වුණා. ඒ වුණාට තාත්තා මාලනි අක්කා රඟපාන්න යනවට කැමති වුණේ නැහැ. පස්සේ අම්මායි අයියලා දෙන්නායි තාත්තාගෙන් කැමැත්ත අරගෙන කොහොම හරි චිත්‍රපටියට යැව්වා. අක්කා පුංචි බබා චිත්‍රපටයේ රඟපානකොට මට අවුරුදු 7 ක් විතර ඇති.  පුංචි බබා චිත්‍රපයෙන් පස්සේ තමයි ඇත්තටම මාලනී අක්කාගේ ජීවිතේ වෙනස් වෙන්නේ. එතැන් පටන් අක්කා  සිනමාවට සින්නම වුණා. පුංචි බබා චිත්‍රපටය රඟපැවට පස්සේ අක්කාට රුපියල් එක්දාස් ගාණක් ලැබිලා තිබුණා. ඒක තමයි අක්කාට ලැබුණ මුල්ම පඩිය. අක්කා හරි සතුටෙන් එදා ගෙදර අවේ. අක්කා හම්බ කරපු හැම සතේම ගෙනැත් දුන්නේ අම්මාට. අම්මා ඒ සල්ලි පරිස්සම් කරලා තියාගත්තා. 

හැම විටම මාලනිය නිළියක් වූයේ කැමරාව ඉදිරියේ පමණි.  ඇය කෙතරම් ජනප්‍රිය වුවත්, ඇයට කෙතරම් කාර්ය බහුල වුවත්, ඇය රට නිළි රැජින වුවත් ඇයගේ නිවසේ ප්‍රධාන උළුඅස්සෙන් ඇතුළත ඇයගේ මවට පියාට සහෝදර සහෝදරියන්ට පවුලේ දරුවන්ට ඇය ලොකු දුව, ලොකු නැන්දා එහෙම නැත්නම් දෙවැනි මව වූවාය.

"මාලනී අක්කා ජනප්‍රිය වුණා. කාර්ය බහුල වුණා. හැබැයි අක්කා නිළිය වුණේ ගෙදර උළු අස්සේන් එළියට විතරයි. ගෙදර දොරෙන් ඇතුලු වුණාම එයා සාමාන්‍ය අපේ ලොකු අක්කාම තමයි. සමාජයට කොච්චර ජනප්‍රිය නිළිය වුණත් අම්මා පවරපු වැඩ ටික කරලා තමයි මාලනී අක්කාට උදේට ෂූටින් යන්න ඕන. ඒක තමයි අම්මගේ නීතිය වුණේ. 

මාලනී ෆොන්සේකා සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන් සමග

මාලනි අක්කා වැඩිපුරම ආදරේ කළේ මටයි නංගිලා දෙන්නාටයි. අපි තුන්දෙනා එයාට වඩා අවුරුදු 10 ක් බාලයි. පොඩි කාලේ අපේ රෙදි පවා සේදුවේ අක්කා. අපිව ඉස්කෝලේ යැව්වේ ඉගෙන ගන්න වියදම් කළෙත් අක්කා. අපේ විවාහ උත්සව පවා කළේ අක්කා. එයා නිතරම බැලුවේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත රැකගන්නේ කොහොමද, අපිව කොහොමද ජීවත් කරවන්න ඕන කියලා විතරයි. 

තාත්තා නැති වුණේ 96 දි විතර. අම්මා නැති වුණා 2003 දි. අම්මා මැරෙන්න කලින්  අක්කාට කිව්වා "උඹ මේ දහදෙනාවම බලාගන්න ඕන කියලා" අම්මා නැති වුණාට පස්සේ අපේ මුළු පවුලෙම බර කරට අරන් අම්මා වුණේ ඇය.  

මට මතකයි, වරාගොඩ මාලනී අක්කාගේ මහන්සියෙන් හදපු ගෙදර මම පවුලේ බාලයා කියලා මට දෙන්න කියලා අම්මා කිව්වා. ඒ වෙනකොට අපි 10 දෙනාටම ස්ථිර ගෙවල් තිබුණා. හැබැයි මාලනී අක්කාට කියලා ගෙයක් තිබුණේ නැහැ. ඒත් එයා කිව්වා මට කුලියට යන්න පුළුවන් කියලා මට ඒ ගේ ලියන්න හැදුවා.

මාලනීගේ මව සමග සහෝදර සහෝදරියන් 11 දෙනා

මම කිව්වා මට ඒ ගේ එපා  වරාගොඩ ගෙදර විකුණලා වෙන පැත්තකින් ගෙයක් හදමු කියලා. ඊට පස්සෙ තමයි  මාලනී අක්කා වරාගොඩ ගෙදර විකුණලා මාදිවෙල දැන් එයා පදිංචි ගෙදර හැදුවේ. මගේ අක්කා හරි පුදුම විදිහේ පරිත්‍යාගශීලි ගැහැණියක්” 

එදා විජය මාලනී විවාහය එදා වුණා නම්? ඒ ගැන මේ දිනවල විවිධ මත පල වෙනවා,

“එහෙම වුණා නම් අක්කාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා. විජය - මාලනී විවාහය නතර වීමත් එක්ක අක්කා මානසික අතින් කඩාගෙනම වැටුණා.  ජීවිතේ ප්‍රශ්න ආපු හැම තැනකදිම ශක්තිවන්තව ඒවා දරාගත්ත විදිය මම දැක්කා. එයාට එයාගේ ජීවිතේ කොතැනක හිරි වැරදුණා කියලා සහෝදර සහෝදරියන්ගේ ජීවිතවලට වරදින්න දුන්නේ නැහැ. මාලනී අක්කාගේ ජීවිතේ සියයට 50ක් ම අසාර්ථක වුණේ පවුලටම ඇලිලා අපි වෙනුවෙන්ම කැප වුණ නිසා. අක්කා එයාගේ ජීවිතය ගැන හිතුවෙම නෑ.”

මාලනිය යම් යම් රෝගවලින් පීඩා වින්දත්  තම සහෝදරියකට සහෝදරයකුට දරුවකුට අසනීපයක් නම් තම ජීවිතයට කලින් ඇය සිතුවේ ඇය බැලුවේ, ඒ අයගේ ජීවිත ගැනය.  

"අක්කා අසනීප වෙලා ඉද්දිම මමත් හෘදයාබාධයක් හැදිලා රෝහල් ගත කළා. ඒ වෙලාවෙදිත් මාව දොස්තරලාට පෙන්නලා හැමදේම කළේ මාලනී අක්කා. 

අක්කා දැඩිසත්කාර ඒකකයට දැම්මාට පස්සේ මම අක්කා බලන්න ගියේ නැහැ. අක්කා එහෙම ඉන්නවා මට බලන්න බෑ. මේ මොහොතෙත් මම කල්පනා කරන්නේ එයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. එයා තමයි අපේ ගෙදර වස්තුව. 

- මාලනියගේ බාල සහෝදරයෙකු වූ උපාලි ෆොන්සේකාගේ දියණිය සෙනාලි ෆොන්සේකා නැන්දනිය ගැන අවදි කල මතක, 

 "අම්මයි තාත්තයි නැති වුණාට 
 පස්සේ මම තදින්ම අල්ල ගත්තේ 
 ලොකු නැන්දව. මගේ අම්මයි 
 තාත්තායි දෙන්නම වුණේ ඇය” 

"පොඩි කාලේ ඉඳන් මම ලොකු නැන්දට ගරුත්වයක් තිබුණා. මම කලාවට එන්නේ මං කලාවට ආදරේ කරන්න පුරුදු වුණේ, ඉගෙන ගත්තේ ලොකු නැන්දා නිසා. පොඩි කාලේ ඉඳලා නැන්දා වගේ මේකප් කරන්න, කොණ්ඩේ ගොතන්න හරි ආසයි.  ජීවිතේ පළමු වතාවට අඩිය උස සපත්තු දෙකක් දැම්මේ නැන්දාගේ සපත්තු දෙකක්. මට තාම මතකයි එක්තරා පාසලේ ප්‍රසංගයකට නැටුමක් පුරුදු වෙලා මම එ්ක නැන්දාට කරලා පෙන්නුවාම එයා මගේ ඔළුව අතගාලා ඔයා කලාව පැත්තෙන් ගොඩක් දුර යන්න පුළුවන් කෙනෙක් කියලා පොඩි අනාවැකියක් දුන්නා.

සෙනාලි ඇගේ ලොකු නැන්දනිය සමග

නැන්දා එයාගේ සහෝදර සහෝදරයන්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. මගේ තාත්තත් නැන්දට ගොඩක් ආදරේ කළා. මගේ අම්මයි තාත්තයි හොඳින් ඉන්න කාලෙදී මට කියලා තිබුණා අපි දෙන්නට වඩා ඔයා ලොකු නැන්දා හොඳින් බලාගන්න ඕන කියලා. මගේ තාත්තා කොරෝනා හැදිලා එංගලන්තෙදි නැති වෙනකොට මට එයා ළඟ ඉන්න ලැබුණේ නැහැ. මං ලංකාවේ හිර වුණා. ඒ හැම වෙලාවකම මට ශක්තියක් වුණේ නැන්දා. නැන්දා එයා පණ වගේ ආදරය කරපු මල්ලි, මගේ තාත්තා අවසන් හුස්ම හෙලන මොහොතෙත් නැන්ද මාත් එක්ක හිටියා. මම නැන්දාගෙන් ප්‍රගුණ කරපු එකම දේ තමයි ඕනම දුකක් ඕන ප්‍රශ්නයක් හිනාවෙලා විඳ දරාගන්න කෙහොමද කියන එක. ඊට පස්සේ මගේ අම්මාත් නැති වෙනවා. 

අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ මම තදින්ම අල්ල ගත්තේ ලොකු නැන්දව. මගේ අම්මයි තාත්තයි දෙන්නම වුණේ එයා. මම මනසින් කඩා වැටිච්ච වෙලාවෙදී මාව ශක්තිමත් කරන්න මාව නැගිට්ටවන්න මගේ ඔලුව හදන්න ලොකු කාලයක් කැප කිරීමක් නැන්දා මං වෙනුවෙන් කළා.
නැන්දාගෙ අවුරුදු අන්තිම අවුරුදු එකහමාර මං නැන්දා ළඟින්ම හිටියා. අන්තිම සතියේත් රෝහලින් ඇය බලන්න ඉඩ දෙන හැම මොහොතකදීම ඇය බලන්න එළියේ බංකුවක් උඩ හරි වාඩිවෙලා හිටියා. අන්තිමට මං එයාගේ ආසම හිනාව දැක්කේ නැන්දාව දැඩිසත්කාර ඒකකයේ මැෂින් එකට දාන්න කලින්. මම බලන්න ගියා. ඒ වෙලාවේ රූගතකිරිමකට  මම කොණ්ඩේ දිගට දාලා තිබුණා. මං ළඟට ගිහින් කිව්වා "මං කොණ්ඩෙ දික් කළා ඒ කාලේ ඔයා වගේද කියලා චුට්ටක් බලන්නකෝ  කියලා මම කිව්වාම නැන්දා  මගේ කොණ්ඩෙ දිහා බලලා හරි ලස්සනයි කියන දේ හිනාවෙන් මූණෙම ප්‍රකාශ කළා.

අශාන් ෆොන්සේකා තම ලොකු නැන්දනිය ගැන අවදි කළ මතකය

 ලොකු නැන්දාට හැම වෙලාවෙම 
 ඕන වුණේ එයාගේ සහෝදර 
 සහෝදරියෝ, එයාලගේ 
 දරුවෝ ළඟ තියාගන්න 

චූටි කාලේ ඉඳලා මම හැදුණේ තාත්තලගේ මහ ගෙදර ආච්චි අම්මා සහ ලොකු නැන්දා එක්ක.  ලොකු නැන්දා තමයි මාව කලා ක්ෂේත්‍රයට ගෙනාවේ. ඇය විසින්ම අධ්‍යක්ෂණය කරපු ජාතික රුපවාහිනියේ විකාශය වුණ දියවර ටෙලි නාට්‍යයේ මම ප්‍රධාන චරිතය කළා. එතකොට මට අවුරුදු 11ක් විතර ඇති. ඊට පස්සේ මම නිරූපණය පැත්තට තමයි ගොඩාක්ම නැඹුරු වුණේ. 

හැමදේම අපි කියන්නේත් නැන්දා එක්ක. ජීවිතේ විශේෂ තීරණ පවා ගත්තේ නැන්දාගේ උපදෙස් මත. නැන්දාගේ සහෝදර සහෝදරයන්ගේ දරුවන්ගෙන් පිරිමි දරුවෙක් විදිහට කලාවට ආවේ මම විතරයි. 

ලොකු නැන්දාට හැම වෙලාවෙම ඕන වුණේ එයාගේ සහෝදර සහෝදරියෝ එයාලගේ දරුවෝ එකට  එකතු කරගෙන එයා ළඟ තියාගන්න.  සිංහල අවුරුද්ද කියන්නේ මගේ ලොකු නැන්දා ගොඩක්ම ආසම දවස් ටික.  නමුත් ඇය දැඩි ලෙස රෝගතුර වුණාට පස්සේ  විෂබීජ යන හන්දා අපි කට්ටිය එකතු වුණේ නැහැ. නැන්දා  හැම තිස්සේම මුල්තැන දුන්නේ පවුලට. එයාගේ ජීවිතේම අපි. ඇයගේ අඩුව අපේ ජීවිතවලට කවදාවත් පුරවන්න බැහැ. ඇය නැතුව ඇය එක්ක ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන මගේ ලොකු නැන්දා අවුරුදු විස්සක් සෙවනැල්ල වගේ බලාගත්තේ එයාගේ තනිනොතනියට හිටිය නිලූකා. අවසාන මොහොතෙත් නිලූකගේ නම තමයි ලොකු නැන්දා කිව්වේ. එයා කරපු හැම දේකටම පින් කියලා මං කියනවා.

- මාලනීගේ හොඳම මිතුරිය රේඛා වික්‍රමසිංහ 

 ගෞරවයෙන් ඇය පිළිගත් 
 ස්ථානයකදීම ගරුත්වය 
 කෙලෙසීම ගැන 
 අවසාන මොහොතත් ඇය 
 සිත් තැවුලෙන්, සිටියා 

අපේ මිතුරුකමට වසර විස්සක් විසිපහක් විතර ඇති. ඇත්තම කියනවා නම් ඇයගේ මිතුරියන් අතර ඇගේ මිතුරියක් වීම මම මේ ජීවිතයේ ලැබූ ලොකු වාසනාවක්. ඇය තරම් උතුම් මසුස්ස ගතිගුණ පිරි ගැහැනියක් මා දැක නැති තරම්. අක්කාගේ වියෝවෙන් පසුව ඇය ගැන සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙච්චි සමහර කතා දැක්කම මට ලොකු කලකිරීමක් ඇති වුණා. වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නැමැති ජනාධිපති අරමුදල් අවභාවිතා කතාව නොකියාම සිටින්නට සිටියත් දැන් නොකියාම බැරි සත්‍ය මම කියන්න ඕන කියලා සිතුවා. 

මාලනීගේ හොඳම මිතුරියක් වන රේඛා සමග

ලංකාවේදී නොකරන සිංගප්පූරුව හෝ එංගලන්තය වැනි රටක පමණක් කර හැකි හදවත් සැත්කමක් මාලනී අක්කාට කළ යුතු බව අනාවරණය වූයේ 2022 මැද භාගයේදී. ඇයගේ හදවත් ආශ්‍රිත රෝග සඳහා බෙහෙත් කරන වෛද්‍ය මොහාන් රාජකරුණා මහතාගේ උපකාරයෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ මේ සඳහාම වෛද්‍ය සායි සතිශ් තෝරා ගැනුණේ අඩුම වියදමක් දරා කරගත හැකි එකම ස්ථානය එය බව සොයා ගත්තාට පස්සේ.  

ඊට පස්සේ වෛද්‍ය මොහාන් රාජකරුණා, වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, දමයන්ති ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජයන්ත ධර්මදාස කණ්ඩායම එකතු කරගෙන Fonseka TAVi යනුවෙන් නිර්මාණය කරගත් Whatsapp group  එකක් මගින් සියලුම කාරණා  වෛද්‍ය සායි සතිශ් දැනුවත් කළා. එහිදී මේ සඳහා වැයවෙන මුදල ලංකා මුදලින් කෝටි එකහමාරකට වඩා වැඩි බව ඇස්තමේන්තු වුණා. අක්කාට ඒ වෙනකොට තවත් රෝග කීපයකට ප්‍රතිකාර කරපු නිසා බොහෝ මුදල් අවශ්‍ය වුණා. ඒ නිසා සැත්කමට එතරම් මුදලක් ඇය සතුව තිබුණේ නැහැ.

එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන්නුවා. රවීන්ද්‍ර රන්දෙණිය මහතා මගින් සියලු ලිපි ලේඛන සමග මේ කරුණු සමන් ආතාවුදහෙට්ටි මහතා මාර්ගයෙන් යොමු කරලා හමුවක් අපි ඉල්ලා හිටියා.

අසනීපයෙන් පසුවන නිසා අක්කාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දුරකථනයෙන් කතා කරලා අවශ්‍ය කාරණය ඉටු කර දෙනවා කියලා පොරොන්දු වුණා. අක්කාගේ ජීවිතය බේරගන්න ඒ වෙලාවේ ලොකුම ශක්තිය වුණ රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුදකරනවා.

චන්ද්‍රිකා මැතිනිය සහ මහින්ද රාජපක්ෂ මහතා කළ උදව්වලට ස්තූති පූරකව සිහිපත් කරනවා. මොකද මාලනීගේ ජීවිතය රැකගන්න කළ මෙහෙයට. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබා දිය හැකි උපරිම මුදල ලෙස රුපියල්  ලක්ෂ පනහක මුදලක් ලබා දෙන්න කටයුතු කළා. ඒ මුදල ඇපලෝ රෝහලට ගෙව්වේ එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින්. වියදම් අවම කිරීමට අක්කා ඒ ගමන ගියේ  තනියම.  ඒ වෙනකොට මම හිටියේ ඉන්දියාවේ සංචාරයක. මම මගේ වැඩ අවසන් කරලා ඇය ඉන්දියාවට එනතෙක් චෙන්නායි මහාබෝධියෙ නැවතිලා හිටියා. 

මාලනී අක්කාත් මහාබෝධියෙ ම තමයි සැත්කමට යන්න කලින් නතර වුණේ. 

ඒ වෙලාවේ මාලනිය හෙළ සිනමා රැජින බවත් ඇය කලකට පෙර ශිවාජි ගනේශන් සමග පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටය ප්‍රධාන නිළිය බවත් දැනගත් ඇපලෝ රෝහල් කාර්ය මණ්‍ඩලය ඉහළම ගෞරවය දුන්නා.

සැත්කමෙන් පසු රෝහල් ගාස්තු අප යන කාලයේ  වැඩි වී තිබුණා.  TAVI එක සඳහා වැයවෙන වැඩි මුදල වෛද්‍ය සායි සතිශ් අරමුදලෙන් ගෙවන්නත් තීරණය කළා. මව්බිමෙන් ඈත එක ඉන්දීය නළුවෙක් හා රඟපෑ පමණින් ඇයට මේතරම් සැලකුවා නම් ඇය ඉන්දියාවේ නිළි රැජින වූවා නම් කියලා මම එදාත් හිතුවා. ඇත්තටම අදත් හිතනවා. 

2022 දෙසැම්බර් 10 වැනි දින අක්කාට සැත්කම සිදු කළා.

දෙවියෙක් මම මෙලොව දුටුවා නම් ඒ සායි සතිශ් දොස්තර මහතා.  ශල්‍යාගාර දොරකඩ ළගට වෙලා මම ඉතිපිසෝ ගාථාව කියමින් තනිව හඬන කොට සැණින් දිව විත් Everything is ok කියලා වෛද්‍යවරයා කිව්වාම මට දැනුණේ මම ආයේ ඉපදුණා වගේ. දෙසැම්බර් 16 වන විට ඇය  යථා තත්ත්වයට ආවා.  චෙන්නායි  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පොරොන්දු වූ මුදල් ගෙව්වා. ඉතිරි මුදල මාලනී අක්කාත් සතිශ් දොස්තර මහතාගේ පදනමත් දැරුවා.

නැවත මාස තුනකින් පැමිණ සියල්ල පරීක්ෂා කරවා ගන්න කියලා දීපු උපදෙස් මත අක්කායි මායි නැවතත් ඇපලෝ රෝහලට ගියා. එහි සියලු පරීක්ෂණ සහ සේවා  අක්කාට දුන්නේ නොමිලේ. 

ඒ සියල්ලම  මම කෘතගුණවේදීව සිහිපත් කරනවා.මාලනී අක්කාගේ අසනීප අවස්ථාවලදී සිටි මම වගේම ඇයට සෙනෙහසින් ශක්තියත් වුණ චන්දිකත්, මංජුත්, නිල්හාන්වත් මම ආදරයෙන් සිහිපත් කරනවා. වරක් ගෞරවයෙන් ඇය පිළිගත් ස්ථානයකදීම එම ගරැත්වය කෙලෙසීම ගැන මාලනි අක්කා අවසාන මොහොතත්  සිත් තැවුලෙන් කනගාටුවෙන් සිටියා.

මට අවසානයටත් කියන්න තියෙන්නේ මාලනී ෆොන්සේකා ජාතික වස්තුවක්. ආයේ ඒකේ විවාදයක නැහැ. අපට නැති වුණේ මාලනී ෆොන්සේකා නොවෙයි. යළි කිසි කලෙකවත් නොලබන රට ජාත්‍යන්තරව කීර්තිමත් කළ රටේ වටිනාම වස්තුවක්.

නදීශා අතුකෝරළ