- රන්-රිදී-ලෝකඩ පදක්කම් දිනා ගත්තේ ශූරයින් 101 අබිබවා
පසුගිය 24 වැනිදා නවසීලන්තයේ Taupo නගරයේදී පැවැති ග්‍රේට් ලේක් ක්ලැසික් නම් වූ (Natural National Body Building) කායවර්ධන ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව් ගයාන් සුරංග පෙරේරා නම් කායවර්ධන ශූරයා විසින් තරගකරුවන් 101 දෙනෙක් සමග තරග වැදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් මෙන්ම, ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විණි.
එය මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක දී ශ්‍රී ලාංකීය කායවර්ධන ශූරයකු ලැබූ විශිෂ්ට ජයක් යැයි සඳහන් කළ හැකිය. එමෙන්ම කායවර්ධන අංශයේ විශේෂිත තරගාවලියක් ලෙස වර්ගීකරණය වී ඇති නවසීලන්තයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී එරට කායවර්ධන ශූරයකු නොවන විදේශිකයකු ට්‍රාන්ස්ෆෝමේෂන් යන වර්ගීකරණයට අදාළව රන් පදක්කමක් දිනූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්වීමට පුළුවන.
මෙලෙසින් විශිෂ්ට ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් කීර්තියක් අත්පත් කර දුන් ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. මේ කායවර්ධන ශූරයා යනු එක්තරා විදිහකට බලන කල, ලංකාව සොයා නොගත්, ලෝකය සොයා ගත්, දක්ෂයකු යැයි කිව හැකිය. ලංකාව සේවයක් නොගත්, ඔහුගේ සේවය ලබන්නේ විදෙස් රටවල්ය. නිහඬව තම හැකියාව ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන ඔහු ගැන ලියැවෙන සටහනකි මේ.
“මගේ නම ගයාන් සුරංග පෙරේරා. ගම නිට්ටඹුව. ඉගෙන ගත්තෙ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන්. මගේ මව්පියන් කටයුතු කරන්නෙ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ. එක් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. මේ වන විට මම විවාහකයි, දූලා දෙදෙනෙක් සහ පුතකු සිටිනවා.”
එසේ පවසන ගයාන් සුරංග සිය පවුල සමග මේ වනවිට පදිංචිව සිටින්නේ - නවසීලන්තයේ වෙලිංටන් නගරයේය. එහි වෙසෙන ඔහු එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති රජයේ ආයතනයක විශේෂ වගකීමක් ඇති රැකියාවක නිරත වෙයි. එයද ලාංකිකයකු ලැබූ විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. ගයාන් සුරංග මේ ලෙසින් ජාත්‍යන්තරයට අවැසි මිනිසකු වීම දක්වා ගිය ගමන මල් මාවතක් ඔස්සේ ආ ගමනක් නම් නොවන වග පෙනී යයි. ඔහු ආ ඒ ගමන ගැන අපට කීවේ මෙසේය.
“කුඩා කාලයේ දී ක්‍රිකට් සහ මලල ක්‍රීඩා අංශයේ නිරත වෙලා, පාසල් සහ ජාතික මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. කායවර්ධන අංශයට ඒමට පෙර ජිම් එකකට යන්න පටන් ගත්තෙ, මලල ක්‍රීඩා වෙනුවෙන් අවශ්‍ය අභ්‍යාස සහ ව්‍යායාම් කරන්න හිතාගෙනයි. මුලින්ම ගියේ රන්පොකුණගම ෂා ෆිට්නස් ආයතනයට. මලල ක්‍රීඩා සඳහා වන අභ්‍යාසවල නිරත වෙන්න එහිදී මට පුළුවන් වුණා. මුලින්ම පුහුණුවීම් ලැබුවේ අනුර අධිකාරි සහ සුනිල් ප්‍රේමරත්න පුහුණුකරුවන් යටතේ. ඒ අනුව 2005 වසරේ දී පාසල් අයෝම පුරුෂයා ලෙසත්, 2009 දී මිස්ටර් ශ්‍රී ලංකා ලෙසත්, කිරුළු දරන්න පුළුවන් වුණේ ඒ වෙනුවෙන් නොකඩවා කළ කැපකිරීම් සහ ව්‍යායාම් නිසයි. 2009 මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ ලැබීමත් එක්ක සෙලින්කෝ ව්‍යාපාරයේ ගම්පහ ශාඛාවේ විධායක නිලධාරියකු විදිහට සේවය කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි කායවර්ධන කටයුතු පුහුණුවීම් නම් අත්හැරියේ නැහැ. සේවය කරන අතරේදී ගම්පහ සුප්‍රීම් ෆිට්නස් ආයතනයට ගිහින් දිගටම පුහුණුවීම් කටයුතු කරන්න පටන් ගත්තා. පසුව ජාත්‍යන්තරව මගේ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ 2012 දී ඩුබායි රාජ්‍යයට යාමත් සමගයි.”
ඩුබායි වෙත ගිය ගයාන් සුරංග හට කායවර්ධන අංශයේ තාක්ෂණය ගැන මෙන්ම නව්‍යතාවන් සහ බොහෝ දේ දැන ගැනීමේ අවකාශය ලැබිණ. එරට විවිධ මට්ටමේ චරිත සමග කටයුතු කිරීමට ලැබීමට අමතරව කායවර්ධන අංශයේ බොහෝ දේ ඉගෙන ගන්නා අතරේ, පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමටද ඔහුට හැකිවිණ. ඔහුගේ හැකියාවන් ගැන හොඳ ඉවක් තිබූ එමිරේට්ස් සමාගම ඔහුගේ සේවය ලබා ගැනීමට පටන් ගත්තේ ඒ අතරවාරයේ දීය.
“එමිරේට්ස් සමාගම යටතේ විශේෂ වැඩ කොටසක් කිරීමේ රාජකාරිය පැවරීමත් එක්ක මට ලෝකයේ රටවල් 50 කට වඩා යාමට අවස්ථාව ලැබුණා. ආරක්ෂාව සම්බන්ධයෙන් වූ රාජකාරියක් තමයි මට පැවරී තිබුණෙ. මාව ජාත්‍යන්තර මට්ටමට ගෙනාවේ ඩුබායි රජය සහ එමිරේට්ස් ආයතනයයි. මට රජය සහ එමිරේට්ස් ආයතනය සැළකුවේ ඒ රටේම කෙනෙකුට විදිහටයි. ඉන්පසුව 2024 දී එරට සේවයෙන් ඉවත් වෙද්දී මට ජ්‍යෙෂ්ඨ ගුවන් ආරක්ෂක නිලධාරියකු දක්වා උසස්වීම් ලබා දුන්නා. ඇත්තටම එයාලා මට සැලකුව විදිහ ගැන අදටත් මට තියෙන්නෙ ලොකු ගරුත්වයක්. එමිරේට්ස්හි රැකියාව කරන අතරේ ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් හෙවත් කායවර්ධන පුහුණුකරුවකු ලෙස එරට තරු චරිත රැසකගේ පුද්ගලික පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා මට මගේ සුන්දර රට ගැන එයාලට විස්තර කරන්නත් පුළුවන් වීම ගැන තියෙන්නෙ ලොකු සතුටක්. ට්‍රේන් විත් ගයාන් කියන සන්නාමය මට එරට ප්‍රචලිත කරලා එන්න පුළුවන් වුණා.”
මැද පෙරදිග ගිහින් රැකියා කරන සමහර ශ්‍රී ලාංකිකයින් ගැන අපට අහන්නට වෙන්නේ මෙවැනි අභිමානවත් කතා නොවේ. ලංකාවේ නමට කැළලක් වන සිදුවීම් ය. එහෙත් ලාංකීය තරුණයකු ලෙස ගයාන් සුරංග ඩුබායි රාජ්‍යයේ ගරුත්වයට නතුවීම ඔහු පුද්ගලිකව ලද කීර්තියකට වඩා ලංකාව වෙනුවෙන් ලබා දුන් කීර්තියක් නොවේද?. ඒ කීර්ති-ප්‍රසංසා අතරේ ඔහුට තවත් රටකින් ඇරයුම් ලැබුණේ එරට රජයේ ආරක්ෂක අංශයට අයත් ආයතනයක සේවය කිරීම වෙනුවෙනි. එනම් වත්මනෙහි ඔහු සේවය ලබා දෙන්නේ සුන්දර නවසීලන්ත රාජ්‍යය වෙතය.
“එමිරේට්ස් ගුවන් සේවයේ මම ලබපු අත්දැකීම් නිසා තමයි මට නවසීලන්තයේ රාජ්‍ය ආයතනයක රැකියාව කරන්න අවස්ථාව ලැබුණෙ. එමිරේට්ස් ආයතනයේ ආරක්ෂාව සම්බන්ධ නිලධාරියකු ලෙස සේවය කරද්දී ඩුබායි ගුවන් තොටුපළේ ආරක්ෂාව, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව, වගේම ගුවන් ගමන්වලදී ගුවන් කාර්ය මඩුල්ලේ ආත්ම ආරක්ෂාව යන වගකීම් මට පැවරිලා තිබුණෙ. ඒ නිසා ලැබූ අත්දැකීම් බොහෝමයි. ඒ ලැබූ අත්දැකීම් නිසා තමයි නවසීලන්ත රජය වෙනුවෙන් සේවය ලබා දෙන්න අවකාශය ලැබුණෙ. ඒකයි මම කිව්වෙ මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක ඩුබායි රජය සහ එමිරේට්ස් කියලා. දැන් නවසීලන්තයේ දී මගේ රාජකාරියේ ස්වභාවය එක්ක වගකීම් රාශියක් පැවරී තිබෙනවා. අද වන විට මම සේවය ලබා දෙන්නෙ නවසීලන්තයේ තියෙන ලොකුම බන්ධනාගාර ආයතනයට. එමිරේට්ස් වෙත සේවය ලබා දෙද්දී ලෝකයේ ලොකුම අපරාධකාරයින්ව රටින්-රටට පිටමං කිරීමට ගෙන යාමේ වගකීම එදා පැවරී තිබුණෙ මට. එය මට ගෙන දුන්නෙ අලුත් අත්දැකීමක්. ඒ වගේම ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් ගමන් ගනිද්දී ඒ අය වෙනුවෙන් ආරක්ෂාව ලබා දීලත් තියෙනවා. ඊට අමතරව විවිධ අපරාධකාරයින්ව ගෙන යද්දී හැමදාම ලැබුවේ අලුත් අත්දැකීමක්. සමහර අපරාධකාරයින්ව ගෙන ගියේ මාංචු දාලා, මෙල්ල කරගෙන. ඒ විදිහට ලැබූ අත්දැකීම් නම් එමටයි. එදා ඒ ලැබූ අත්දැකීම් නිසා අද නවසීලන්තයේ රැකියාව කිරීමේ දී මට එය ලොකු පහසුවක් වෙලා තියෙන බව කියන්න පුළුවනි. නවසීලන්තයේ ආරක්ෂාවට සම්බන්ධ ආයතනයක සේවය කරන නිසා වගකීම් රාශියක් මට පැවරී තිබෙනවා. ඔවුන් මා ගැන විශ්වාස කර බොහොම සංවේදී වගකීම් රැසක් පවරා ඇති බව කියන්න පුළුවනි. ඒ සියල්ල අකුරටම සහ වඩාත් නීති ගරුකව ඉටු කිරීම තමයි මගේ වගකීම. මම සේවය ලබා දෙන්නේ ඒ සියලු වගකීම් හඳුනාගෙන. මේ විදිහට මට වගකීම් සහිත රැකියාව කරගෙන යාමට නිදහස ලැබී තිබෙන්නෙ මගේ බිරිඳ සහ දරුවන්ගෙන් ලැබෙන සහයෝගය නිසයි. අපි මෙහේ ස්වභාවික සෞන්දර්යයේ රසය විඳිමින් සතුටින් ජීවත් වෙනවා.”
ඔහු ඔහුගේ හැකියාව අනුව ලාංකීය නාමය රැගෙන සමුදුරෙන් එහා රටක අද මේ විදිහට සේවය ලබා දෙන්නේ අභිමානවත් ලාංකිකයකු හැටියට යැයි අපට හැඟේ. ඔහු මෙන් ශක්තිවන්ත ගමනක් තවත් තරුණයකුට, තවත් ශ්‍රී ලාංකිකයකුට යා හැකිද? එසේ නම් ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද? මේ සටහන නිමා කිරීමට පෙර ලංකාවට කීර්තියක් ගෙන දුන් කායවර්ධනශූර ගයාන් සුරංග ගෙන් අපි විමසීමු.
“අපි නිතරම ප්‍රශ්න කරන්න ඕනෑ අපෙන්මයි. මම කවුද මම මොනවද කරන්නෙ? කියන ප්‍රශ්න ටික අපෙන්ම අහනවා නම් අපි අතින් වැරදීම් වෙනවා හරි අඩුයි. ඒ වගේම තමුන් නියැලෙන රාජකාරියට සීයයට සීයක්ම කැපවීම කළ යුතුමයි. එහෙම කළොත් අපට අපේ හීන වලට ළඟා වෙන්න ගොඩාක් ලෙහෙසි වෙනවා. තමුන් තමුන් ගැන ආත්ම විශ්වාසය තබා ගැනීම වගේම තමා විවාහක නම් මොන දේ කළත්, පවුල වෙනුවෙන් උපරිම අවංක වීම ඉතා යහපත් යැයි මම විශ්වාස කරන දෙයක්.”
තම සිරුර වර්ධනය කරගත් මේ අපූරු ශක්තිවන්තයා බාහිරින් පෙනෙන ජවයට වඩා ඇතුලාන්තයෙන් මෘදු ගතිගුණ ඇති, තැන්පත්, යහපත් සහ ධෛර්යවන්ත මිනිසකු යැයි කිව හැකිය.
නදීෂා අතුකෝරළ