දිඹුලාගල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක


(නිමල් ජයරත්න)

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා සංඝරත්නය සහ නුවරගල ගම්මාන කිහිපයක ජනතාව නුවරගල මාර්ගය අවහිර කරමින් යක්කුරේ පාසල ඉදිරිපිට දී අද (06) විරෝධතාවයක නිරතවූහ.

දිළිඳු පවුල් සඳහා මුදල් සහ වෙනත් වරප්‍රසාද ලබාදෙන බව පවසමින් ජනතාව මූලධර්මවාදයට බඳවාගැනීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්විණි.

ඉහළ යක්කුරේ, පහළ යක්කුරේ, පිහිටිවැව, නුවරගල, දමනේවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව ඉහළ යක්කුරේ ශ‍්‍රී සුමංගලාරාමයේ සිට පා ගමනින් පැමිණ ඉහළ යක්කුරේ මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවයේ නිරතවූහ.

ඉහළ යක්කුරේ ගම්මානය පුරා කළු කොඩි ඔසවා මාර්ගයේ ටයර් පුලුස්සා විරෝධතාකරුවන් පවසා සිටියේ ප‍්‍රදේශයේ ජනතාව සහ අනෙකුත් දිළිදු පවුල්වලට විවිධ වරප්‍රසාද ලබාදෙමින් මුලධර්මවාදයට බඳවා ගැනීමේ ක්‍රමවේදයට නීති පනවන ලෙසයි.

දිඹුලාගල උතුරු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි අත්තනකඩවල ජනතාලංකාර මහවැලි සී කලාපයේ උප ප‍්‍රධාන සංඝනායක මාම්පිට චන්ද්‍රවිමල, දිඹුලාගල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පාකඩ සුමංගල ඉහළ යක්කුරේ ශ‍්‍රී සුමංගලාරාමාධිපති මැදයායේ සද්ධානන්ද යන නාහිමිවරු ඇතුළු විහාරාධිපති ස්වාමින් වහන්සේලා 15නමකට අධික හිමිවරු මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

දිඹුලාගල ග‍්‍රාමසේවා වසම් 56 පුරා දිළිදු ජනතාව තොරාගනිමින් ඔවුන්ගේ නිදන්ගත රෝග සුවකර වැසිකිලි, නිවාස හා දරුවන්ට පාසල් උපකරන ලබා දෙන බවට පවසා මුලධර්මවාදින් ජනතාව  මුලධර්මවාදයට බදවා ගනිමින් සිදු කරන ව්‍යාපාරය නවතාලිමට රජය වහා පියවර ගතයුතු බව නා හිමිවරු පැවසූහ.