තහනම් පන්න ක්‍රමයෙන් මසුන් මැරූ ධීවරයන් සිව්දෙනෙකු දැලේ


(ඔගස්ටින් ප්‍රනාන්දු)

තහනම් පන්න ක්‍රමයක් යොදා ගෙන වෙන්නප්පුව මුහුදෙහි අද ( 6)  මසුන් මරමින් සිටි ධීවරයන්  සිව්දෙනෙකු අත්අඩංගුවට ගත හැකිවු බව හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

සැකකරුවෝ  වෙන්නප්පුව කඩවත් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සමඟ  ධීවර යාත්‍රා දෙකක් ද වාහන බැටරි දෙකක් ද විදුලි පහන් දෙකක් ද බාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා වෙරළා රක්ෂක දෙපාර්තමේන්තුව ලද තොරතුරක් අනුව, අධිවේගි යාත්‍රාවක් යොදවා වෙන්නප්පුව මුහුදෙහි කළ සෝදිසි මෙහෙයුමක දි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

වාහනවල‍ට යොදන  බැටරි යොදා ගෙන විදුලි පහන් මගින් ආලෝකය යොදවා මසුන් මරමින් සිටියදි මොවුන් අත්අඩංගුවට ගත් බව කාර්යාලය කියයි.

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත්  පනත යටතේ දැක්වෙන මෙහෙයුම් නියෝග අනුව විදුලි පහන් යොදාගෙන මසුන් මැරීම සපුරා තහනම් වන බවද, එම නීතිය උල්ලංඝනය කරමින් මසුන් මැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද හලාවත නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා කීය.

සැකකරුවන් හා අත්අඩංගුවට ගත් උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.