ගව ප්‍රවාහනයට දකුණේ බලපත් අත්හිටුවයි


(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
ගවයන්ට වැළඳෙන කුර සහ මුඛ රෝගය දකුණු පළාතේ පැතිරයාම වැළැක්වීම සඳහා මෙම සත්වයන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇතැයි අද (03) ඉමදූව පශු වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මධුරි ජයවික්‍රම මහත්මිය පැවසුවාය.
 
වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සභාපතීත්වයෙන් අද පැවැති ඉමදූව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේ දී මෙම කරුණ අනාවරණය විය.
 
දැනට මෙම රෝගය ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ වයඹ පළාත්වල තදින් පැතිර පවතින බව ද පශු වෛද්‍යවරිය කියා සිටියාය.
 
කුර සහ මුඛ රෝගය ගවයන්ට වැළඳීම හේතුවෙන් එම සතුන් දුර්වලවන බවද,  කිරි නිෂ්පාදනය අඩාල වන බව ද පශු වෛද්‍ය අංශ පෙන්වා දෙයි.
 
2014 වර්ෂයේ දී කුර හා මුඛ රෝගය ශ්‍රී ලංකාවේ තදින් පැතිරගියේ ය. කෙසේ වෙතත් මෙම රෝගය වළක්වා ගැනීම සඳහා වසරකට දෙවරක් ගව ආදී සතුන් වෙත එන්නත් ලබාදෙන බවද, ඒ හේතුවෙන් මෙවර රෝගය පාලනය විය හැකි බවද පශු  වෛද්‍ය ජයවික්‍රම මහත්මිය පෙන්වා දුන්නා ය.