සුපිරි මඟේ රථවාහන වැරදි නඩු 77,111 ක්


(ඉන්දිකා රාමනායක)
 
දක්ෂිණ හා කටුනායක  අධිවේගී මාර්ගවල  2018 වසරේ  රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 77111 ක්  ලබාගෙන ඇති බව  රථවාහන පොලිස් මුලස්ථානය කියයි.

මින් නඩු 27681 ක්  අධික වේගයෙන් ධාවනය කිරීම සම්බන්ධයෙන් ද, 84 ක් බීමතින් රථවාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් ද, 18631 ක්  සංඥා  ලාම්පු නොදැල්වීම සම්බන්ධයෙන් ද,  1005 ආසන පටි   නොදැමීමෙන්ද,  1461 ක්  ජංගම දුරකතන භාවිතා කරමින් රථ ධාවනය කිරීම හේතුවෙන්   නඩු ලබාගෙන තිබු බව රථවාහන පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම වසරේ අධිවේගී මාර්ගයේ  අනතුරු 597 න්  සිදුව ඇති බවත්  ඉන්  8 දෙනකු මියගොස් 101 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි. 

අධිවේගී මාර්ග  විවෘත කළ දිනයේ සිට මේ දක්වා   සිදුවූ රිය අතුරුවලින්  පුද්ගලයන් 31 දෙනකු මියගොස් තවත් 462 ක් තුවාල ලබා  ඇති බවද පොලිසිය කියයි.

2019  වසරේ  නව තාක්ෂණය භාවිතා කරමින්   රිය අනතුරු අවම කිරීමට  වැඩසටහනක් කි‍්‍රයාත්මක කර ඇති බව රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පැවසීය.

ඉදිරියේ දී අධිවේගී මාර්ගයේ   අධික වේගයෙන්, බීමතින්, ආසන පටි  නොදමා,   ජංගම දුරකතන භාවිතා කරමින්, රථ ධාවනය කරන  රියදුරන්ට එරෙහිව නව තාක්ෂණය   ඔස්සේ දැඩි  නීතිමය පියවර ගන්නා බවද  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය.