හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ


බොහෝ පැරණි ගම් පිහිටි ප්‍රදේශවල එම පෙදෙස්වලටම සීමා වූ ප්‍රාදේශීය දෙවිවරුන් වන්දනා කිරීම අදටත් දැකගත හැකිය. එම දෙවිවරුන් අතර ප්‍රාදේශියව වන්දනාමාන කරනු ලබන සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවට හා හේවාගම් කෝරළයට සීමාවූ දෙවිවරයකු ලෙසත්  කැලණි නදියේ මිටියාවටත් , ගඟබඩ පත්තුවටත් අධිගෘහිත දෙවියන් ලෙසත් රංවල දෙවියන්ට පුද සත්කාර කරන අන්දම දැකගත හැකිය. රංවල දෙවියන් හඳුන්වනු ලබන්නේ දෙවියකු බවට පත්වූ ගැමියකු ලෙසය.  

කැලණි දෙගම්බඩට අධිපති "රංවල දෙවියන්” කැලණි නදියේ එගොඩින් කැලණි ගං දෙගම්බඩ පිහිටි, රංවල, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, නිකවල, කුමාරිමුල්ල, කපුගොඩ, කිරිඳිවැල, හංවැල්ල, සමණබැද්ද, දොම්පේ, මාපිටිගම වැනි එගොඩින් ගම් සහ මෙගොඩින් ගම් දනව් හැටකට ආසන්න ජනතාවගේ පුද පූජාවන්ට ලක්වන බව රංවල දේව කන්නලව්වේ කියැවෙයි. එම ගම්වාසීහු ගම්වල ගොක්කොළවලින් තැනූ පුහුල් පහන් නමින් හැඳින්වෙන, පුහුල් ගෙඩියක් ආකාරයේ පහනක් දැල්වමින් පූජා පවත්වති. රංවල දෙවියන් උදෙසා සෑම කෙම්මුර දිනයකදීම ඉහත කී ගම දනව් අශ්‍රිත බොහෝ වෙහෙර විහාරස්‌ථානවලද පුහුල් පහන් දැල්වීම දැකගත හැකිය. මේ හැරෙන්නට රංවල දෙවියන් සඳහා දානය පිරිනැමීමද ජනතාව චාරිත්‍ර වශයෙන් සිදු කරති. 

රංවල දෙවියන්ගේ උපත ගැන  පවතින ජනප්‍රවාද සියල්ලෙන්ම කියැවෙන්නේ ඉතා ධාර්මික මනුෂ්‍යයකු මරණින් පසු දේවත්වයට පත් වූ කතා පුවතය. 

උඩගෙදර රාළගේ උපත

රංවල දෙවියන්ගේ උත්පත්ති නාමය ලෙස සඳහන් වන්නේ උඩගෙදර රාළ ලෙසය.  රංවල දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතී. ඒ අතරින් වඩාත් ප්‍රකට ජනප්‍රවාදය වන්නේ, රංවල දෙවියන් මහනුවර පාලන සමයේ රජගෙදර වාසලේ සිටි අයකු ලෙස සිටි බවට පවතින පුරා වෘත්තයයි. උඩගෙදර රාළ පිළිබඳව වඩාත් කතා බහට ලක්වන්නේ රජ වාසලේ සිටි කාලය අතරතුරය. 

ක්‍රිස්තු වර්ෂ 1635 සිට 1687 දක්වා මහනුවර රාජධානියේ කිරුළු දරූ දෙවැනි රාජසිංහ රජුට අයත් වී අටුවක් බලාකියාගැනීමට යෙදවූ සේනාව අතර රංවල ගමේ තරුණයන් දෙදෙනෙකු සිට ඇත. ඉන් එක් තරුණයකු වී ඇත්තේ මෙම උඩගෙදර රාලයි. ආහාර හිඟ කාලයකදී නැති බැරි මිනිසුන්ට මෙම තරුණයන් දෙදෙනා අටුව කඩා ආහාර කොටසක්  දුන්නා යැයි ජනප්‍රවාදයේ සඳහන්ය.  අටුව කඩා, එහි තිබූ වී මේ තරුණයන් දෙදෙනා සොරකම් කළ බවට ගම්මු රජුට ගතු කීහ. රජවාසලෙන් ගම්වාසින් හතළිහක ප්‍රමාණයක සේනාවක් යවා මෙම තරුණයන් දෙදෙනා සොයන්නට පිටත් කළත් ඒ වන විට රාජ උදහසට ලක්‌ව සිටි තරුණයන් දෙදෙනා ඉන් බේරීමට ගම අතහැර පලා ගියහ. 

ඒ අනුව රජවාසලේ සිට පැන ආ මේ දෙදෙනා ගලිගමුව, රංගල හරහා කරවනැල්ලට පැමිණ එතැනින් යටියන්තොට පැමිණ යටියන්තොටින්  පහුරක් සාදා කැලණි ගඟ පහළට ගමන් අරඹා ඇත. රාත්‍රිය ළඟා වූ විට ඔවුන්ගේ ගමන ඉතා දුෂ්කර වූ නිසා එක් ස්ථානයකින් ගොඩ වී  තිබේ. ඒ ගොඩ වූ ගම රංවල ග්‍රාමයයි.  

එතැන් පටන් එම ගමේ ජීවත් වූ උඩගෙදර රාළ කැලෑව එළිපෙහෙළි කොට හේනක් වගාකර හොඳ අස්වැන්නක්ද ලබාගැනීම ඇරඹූ බවත් මෙම සරුසාර බිමේ හේන් කොටා වැඩි අස්වැන්නක් ලබාගැනීමට අවට තවත් පිරිස් පැමිණි බවත් දංගල්ල ක්‍රමයෙන් ගමක් බවට පත් වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එකල ගොවිතැන් කිරිමේදී ගොවිතැනට හානි වන අවස්ථාවල කෙම් ක්‍රම භාවිත කළ උඩගෙදර රාළ, පුහුල් පහනක් පත්තු කර කොරටුවේ එල්ලා නිරීක්ෂණය කරන විට කෘමීන් ඒ පහන් දැල්ලට හසුවී විනාශ  වී ගිය නිසා ගොවිතැනට කෘමින්ගෙන් සිදුවන හානිය මඟ හරවා ගැනීමට කොරටුව පුරාම පුහුල් පහන් දල්වා ඇත. අද එම ගම්වාසීන් දේව කන්නලව් ලෙස සිදු කරන පුහුල් පහන් පූජාව ආරම්භ වී ඇත්තේ එලෙසය. එපමණක් නොව එම ගමේ ජීවත්ව සිටි කාලයේදී මිනිස්කමට එහා ගිය දැහැමි ගුණාංග පැවති උඩගෙදර රාල  අවට වැසියන්ට උදව් උපකාර කිරීමද සිදුකර තිබේ.

එම නිසාම  නිරතුරුවම ගමේ දියුණුවට කටයුතු කළ ඔහුට ගම්මුන්ගේ ගරු බුහුමන් නිතර හිමි විය. සැමට කරුණාව මෛත්‍රිය දක්වමින් උඩගෙදර රාළ සෑම පොහොය දිනකම සිල් සමාදන් වීම සඳහා සුදුවතින් සැරසී ගඟ දිගේ පාරුවකින් කැලණි විහාරයට යාම සිදුකර තිබේ. මේ නිසා ටික කලක් ගත වනවිට ඔහු ගංදෑලේ කා අතරත් ප්‍රසිද්ධ වුණේ රංවල උපාසක යනුවෙනි.

රංවල දෙවියන් මුලින්ම ජීවත්වූ බවට සැලකෙන ස්වාභාවික ලෙන පැපිලියවලට නුදුරු මීතිරිගල, හේනෙගම වනගතව පිහිටි අතර එම ස්ථානය හඳුන්වා ඇත්තේ ලැගුම්බිම යනුවෙනි. මෑත අතීතයේදී එම ස්ථානනයෙහි ආරණ්‍ය සේනාසනයක් පිහිටුවා තිබේ. තවත් ජන විශ්වාසයක් වන්නේ රංවල දෙවියන්ගේ ලැගුම්බිම ලෙස පවතින්නේ දංගල්ල රජ මහා විහාරයේ රංවල දේවාලය බවය. රංවල ගම අදටත් මහා පුදුම විදිහේ දෙවියන්ගේ බලයක් ඇති ස්ථානයක් බවද ගම්මුන්ගේ විශ්වාසයයි. 

රංවල දෙවියන් වෙනුවෙන් පුහුල් පහන්

උඩගෙදර රාළ උපාසකගේ මරණයෙන් පසු ගම්වාසීන් ඔහු විසින් ආරම්භ කළ සිරිතක් වූ ගං ඉවුර දිගේ ‘පුහුල් පහන්’ දල්වා උපහාර දැක්වීමට පටන් ගත් බවත්  ටික කලක් ගතවන විට ඔහු දේවත්වයට පත්ව ගැමියන්ට පිහිට වන දෙවි කෙනකු ලෙස ප්‍රකට වූ බවත් ජනප්‍රවාදයෙහි සඳහන් වේ. ඉන් පසුව රංවල දෙවියන් ලෙස ගම්මුන් විසින් හැඳින්වූ අතර මෙම උපාසක මහතා නිතර භාවනා කළ කෙනෙකු නිසා ඉන් දේව ආත්මයක් ලබා ගැනීමට හැකිවී  ඇති බව ගම්මුන්ගේ විශ්වාසයයි. උඩගෙදර රාළගේ මරණයෙන් පසු ගම්මුන්ට අවතාරයක් සේ රංවල දෙවියන් පෙනෙන්නට පටන් ගත් බවත් එම අවතාරය දුටු එක් ගම්වැසියෙක් පුහුල් පහනක් පත්තුකරමින් ගම්මුන්ට කරදර නොකර පිහිට වනු මැනැයි දෙවියන් කන්නලව් කර බවත් ජනප්‍රවාදයේ සඳහන්ය. එදා පටන් ගම්මුන්ගේ දුකට කරදරයට හොඳට නරක සියලු දේටම පිහිට වූ බව ගම්මුන්ගේ විශ්වාසයයි.  

අදටත් සීතාවකින් පහළට වන්නට කැලණි ගං දෙගම්බඩ පිහිටි හිඟුරල, රන්වල, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, නිකවල, කුමාරිමුල්ල, කපුගොඩ, හංවැල්ල, මල්වාන වැනි ගම්වල ගොක්කොළවලින් තැනූ ‘පුහුල් පහන්’ නමින් හැඳින්වෙන, පුහුල් ගෙඩියක් ආකාරයේ පහනක් දැල්වීම  රංවල දෙවියන් වෙනුවෙන් සිදු කිරීම කරන අතර එම දෙවියන්ගේ පිහිට පතා  පතා ගම්මඬු, පුනාමඬු, දෙවොල්මඬු, නැටීම මෙන් ම පුදපූජා පැවැත්වීම ද සිදුකරනු ලබයි. 

රංවල දේවාල සහ රන්වල දෙවියන්ගේ පිහිට

සියනෑ කෝරළේ මීතිරිගල රංවල ගමේ ශෛලාසනාරාම පුරාණ විහාරස්‌ථානයේ පිහිටි රංවල දේවාලය දැනට පවතින පැරණිම දේවාලය ලෙස සැලකේ. එමෙන්ම දංගල්ල රජමහා විහාරස්‌ථානයේද පැරණි රංවල දේවාලයක්‌ තිබේ.  එම කුඩා දෙවොල තනා තිබෙන්නේ විහාරබිමේ ගල්පර්වත සහිත තැනකය.හිසෙහි තලප්පාවක් බැඳගෙන සුදු හැඳගෙන අතකින් හැරමිටියක් දරාගෙන උඩු රැවුලකින් සහ උපාසක පෙනුමකින් යුතු රංවල දෙවියන් උදෙසා සැදුණු ප්‍රසිද්ධ දේවාල කීපයක්‌ම කැලණි ගඟබඩ තිබේ. 17 වැනි සියවසේ සිටම රංවල දේවාල ඉදි වූ බවටද සාක්ෂි ඇත. අදටත් රංවල දෙවියන් හතර පෝයට කැලණිය වෙහෙර වහන්සේ අසලට වැඩ පිං ගැනීම සිදු කරන බවත් ගම්මු විශ්‍වාස කරති. 

වෙසමුනි දෙවියන් ඔහුගේ සීලයේ බලගතු කම දැක කැලණියට පැමිණ පිං ගන්නැයි කළ ආරාධනාවක් අනුව පැමිණ පිං ගත්තා යැයිද ජනප්‍රවාදයේ සඳහන් වේ. 

තවද , රංවල දෙවියන් උදෙසා වූ දේවාල කිහිපයක්ම සියනෑ කෝරළයේ පිහිටා තිබේ. දෙවියන්ට වූ භාරහාර ඔප්පු කිරීමට පූජාවක් ලෙස දේවාල බිමේ වැලක් ඇද එහි පුහුල් පහන් කිහිපයක් පත්තු කර වන්දනා කිරීම අදටත් සිදුවීම දැකගත හැකිය. නවගමුව පත්තිනි දේවාල බිමේද රංවල දෙවියන්ට වෙන්වූ කුටියක් පවති.  කොළඹ මාර්ගයේ පුවක්පිටිය හිඟුරළ පිහිටි රන්වල පහන නමින් ප්‍රසිද්ධ දේවාලයද බැතිමතුන්ගේ පුදපෙත්වලට නිතර ලක්වන තැනකි. හයිලෙවල් පාරේ ගමන් ගන්නා වාහන එහි නවතා ගමනේ ආරක්ෂාවට පඬුරු දැමීම කලක පටන්ම සිරිතක් කරගෙන තිබේ. ඒ වගේම ගඟේ ගිලී මැරණ අයගේ මළසිරුරු සොයා ගැනීමට අපහසු  වූ විටත් රංවල දෙවියන්ට මල්පැලක් හදා භාර වී  වරු තුන යන්නට පෙර මළසිරුර ලැබෙන බව ද ගම්මුන්ගේ විශ්‍වාසයයි.  

රන්වල දෙවියන්ට වූ භාර ඔප්පු කිරීමේදී පුහුල් පහන් දල්වා දෙවියන්ට පින්පෙත් දීම සිරිතකි. එදිනෙදා එම මාර්ගයේ ගමන් බිමන් යන ජනතාව සිය වාහන නවතා පඬුරු දමා දේවාශීර්වාදය ලැබීමටත් පුරුදුව සිටිති.  ගොවිතැන් කරන උදවිය වපුරන අවස්ථාවන්හිදී , දරුවන්ට ඇති වන අසනීප තත්වයන්හිදී, වසංගත තත්වයන්හිදී මෙන්ම සතුරු කරදරවලදී ගම්මු රංවල දෙවියන්ට භාරහාර වෙති.  කැලණි ගඟේ වැලිතොටුපළ ඇරඹීමේදී, සහ ගඩොල් පෝරණු ආරම්භ කිරීමේදී මෙන්ම පෞද්ගලික ජීවිතයේ කෙරෙන සෑම සුබ කටයුත්තකදීම රංවල දෙවියන්ට බාර හාරවීමටද එම භාරහාර නියමිත දිනයන්ට ඔප්පු සිද්ධ කිරීමටද කැලණි නිම්නයේ ජනතාව පුරුදුව සිටිති. කැලණි ගම් මිටියාවතේ මෙන්ම නවගමුව, රංවල මීතිරිගල වෙදගම යන ගඟ දෙපස ප්‍රදේශවල ගම්වාසීන් නිවසේ පහන් පැලක් පත්තු කර අදහන අය අදටත් සිටිති.  විශේෂයෙන් එක කාලයකදී කැලණි ගඟේ අවට ගංවතුර කාලයට මේ මිනිස් ජීවිත අහිමි වීම් වැඩි විය. එකල රංවල දෙවියන්ගේ ආරක්‌ෂාව පතා දන් පිරිනමා පිරිත් දේශනා  පවත්වා දෙවියන්ට පිං පැමිණවීමට ගම්මු පෙලඹුණහ. රංවල දෙවියන් වෙනුවෙන් සෑම වසරක්ම පාසා පෙරහැරක ගිනි පෑගීම් වැනි උත්සවාකාරයෙන් පින්දීම සිදුවේ. 

පිරිමි අත්වලින් පමණක් ඉදෙන රංවල දෙවියන්ගේ දානය

බෙහෝ අවස්ථාවල රංවලට දෙවියන් උදෙසා වන භාර හාරවලදී ගම්මු එ්වා ඔප්පු කිරිමට දාන මාන පිරිනැමීම  සිදු කරති. එහිදී ඕනෑම ව්‍යංජනයක් මෙම දානය සඳහා සැදෙන අතර  මස් මාළු නැතිව කරවල හාල්මැස්සන් දානය සඳහා එකතු කිරිම විශේෂත්වයකි.  නිවෙස්වලද රංවල දෙවියන් සඳහා දාන මාන දීම්  සිදු කරන විට පහන් පැලක් ඉදිකොට යාතිකාවක් කොට පිරිසිදුව සකසාගත් දාන කොටසෙන් අග්‍රකොටස රංවල දෙවියන් වෙනුවෙන් පුදා කපු මහතා ඇතුළු නිවැසියන් කෙසෙල් 

කොළ අතිරු කොළවල දානය ඉඳුල් කර දෙවියන් පින් දීම සිදු කෙරේ. රංවල දෙවියන් වෙනුවෙන් පිසෙන දානය සෑදෙන්නේ පිරිමි අය අතින් පමණි. කාන්තා පාර්ශ්වයට එදිනට මුළුතැන්ගෙය තහනම් වේ. 

අදටත් රංවල දෙවියන් කාර්යය නියමයක් නැති මහා බලප්‍රඥාවක් ඇති දෙවි කෙනෙකි.  රංවල ගම් දනම්වල සෑම නිවෙසකම රංවල දෙවියන්ට මිදුලේ තැනුණු පහන් පැලක් ඇත. අදටත් ගැමියන් අතර උන්වහන්සේ ජීවමාන දේව ආත්මයක් වන්නේය.

නදීශා අතුකෝරළ