(බිඟුන් මේනක ගමගේ )
පළාත් පාලන ආයතනවල වසරක ප්‍රගතිය විමර්ශනය කර වාර්තාවක් සකස් කරන්නේ යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානයේ(සී.එම්.ඊ.වී) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
පළාත් පාලන ආයතනවලට අයත් දිවයින පුරා පිහිටි මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල ආදායම් වර්ධනයක් වීද, ඒවා නිසියාකාරව පවත්වාගෙන යන්නේද, මහජන කමිටු පිහිටුවා තිබේද හා කාන්තා නියෝජනය වැඩිකිරීමේ අභිලාශ ඉටුවී තිබේද යන මූලික කාරණා සම්බන්ධයෙන් මෙහිදී සොයාබැලෙන්නේ යැයි ගජනායක මහතා අවධාරණය කළේය.
පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්, දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හා එම සභාවලට පත් වූ මන්ත්‍රීවරියන් සම්මුඛ සාකච්ඡාවලට ලක්කරමින් හා විවිධ දත්ත වාර්තා ඔස්සේ ඊට අදාළ විස්තර ඒකරාශි කෙරෙන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
88 ක්ව පැවැති පළාත් පාලන ආයතනවල කාන්තා සභිකයන් ගණන පසුගිය මැතිවරණයෙන් පසුව 1919 දක්වා වැඩි වී සමස්ත සභිකයන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී යැයි කී ගජනායක මහතා මෙවැනි විශාල දේශපාලන පරිවර්තනයකින් පසුව අදාළ මහජන නියෝජන ආයතන පද්ධතිය සම්බන්ධයෙන් පසුවිපරමක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් යැයි ද කීවේය.
ඒ අනුව මෙම වාර්තාව ලබන මස මුල වනවිට සකසා අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද එහි මුල් පිටපත් මැතිවරණ කොමිසමට හා දේශපාලන පක්ෂ නායකයන්ට බාරදෙන්නේ යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ගැන පසුවිපරමක්
Recommended Articles