දෙමුහුන් අධිකරණයක් එපා- ජවිපෙ


(බිඟුන් මේනක ගමගේ) 
 
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන ආකාරයට යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කළ යුතු නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ‘ලංකාදීපයට ’ පැවැසීය.
 
යුද්ධයට පරිභාහිර වූ සිදුවීම් ගණනාවක් වී ඇති නමුත් ඒවා ලංකාව අභ්‍යන්තරයේ විසඳා ගත යුතුය යන්න ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය යැයි ද ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.
 
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවෙන් මෙම ඉල්ලීම කර ඇති අතර දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීමේ අරමුණ හැටියට එහි දක්වා ඇත්තේ ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමය.
 
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිය පක්ෂයේ මතය පැහැදිලි කරමින් වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය. 
 
 
ජිනීවා බලපෑම් යම් පමණකට හෝ අඩුවුණේ 2015 ආණ්ඩු මාරු සමගයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය පැත්තට පියවර තබලා ඒ අඩුවීමේ වාසිය ගන්න මේ ආණ්ඩුවලට බැරිවුණා. ඒ වෙනුවට දේශපාලන අර්බුද හදාගත්තා. නැවත මේ ගැටලු එන්නේ ඒ අර්බුද සමගයි. පළමු වැනි කාරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය බලවේග කොහොමත් අත ගහන්න ඕනෑ නෑ යන ස්ථාවරයේ සිටිනවා. ඒ නිසා දෙමුහුන් අධිකරණ ලංකාවට හරියන්නේ නෑ.
 
යුද්ධය තුළ මිනිස්සු මැරෙනවා. ඒක කවුරුත් පිළිගන්නවනෙ. හැබැයි යුද්ධයට පරිභාහිරව සිදු වූ කරුණු ගණනාවක් තිබෙනවා. කප්පම් ගැනීමට ළමයින් පැහැරගෙන ගොස් මරා දැමූ සිදුවීම් තිබෙනවා. මාධ්‍යවේදීන් මර්දනයට කළ මැදිහත්වීම් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදුවන අපරාධ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා. ඒ ගැන වුණත් ආණ්ඩුවේ එකිනෙකා සිටින්නේ විවිධ ස්ථාවරවලයි. ප්‍රශ්නය බරපතල වෙන්නේ ඒ සමගයි. 
 
දැන් ආණ්ඩුවක් නෑ. ආණ්ඩුව දෙකට බෙදිලා. ඒ නිසා රටේ පාලනයක් නෑ. කොහොම වුණත් මේ ආණ්ඩුවේ දුබලකම උද්ගත වූ තත්ත්වයට හේතුවයි. මේ අස්ථාවරය නැතිවෙන්න නම් ජනතාවගේ ආණ්ඩුවක්ම හැදෙන්න ඕනෑ. එහෙම නැතිව මේ ක්‍රමයට යන එකෙන් හරි නැත්තන් නැවත රාජපක්ෂ කෙනෙක් ගෙන්නීමෙන් පලක් වෙන්නේ නෑ.