සහල් හිඟයකට කිසිම ඉඩක් නෑ


පසුගිය දින කිහිපයෙහි ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අපගේ ප්‍රධාන ආහාර භෝගය වන බත සපයන වී වගාව සිදුවන බොහොමයක් දිස්ත්‍රික්ක සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුවූව ද රට තුළ මේ වනවිට වාර්තාවෙමින් ඇති සමස්ත හානිය සලකා බැලූ විට ඉදිරි වසරවල කිසිසේත්ම සහල් හිඟයක් ඇතිවිය නොහැකි හෙයින් එවැනි බියක් ඇතිකරගතයුතු නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර් යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ආහාර පද්ධති අංශයේ අංශ ප්‍රධාන ජ්‍යේෂ්ඨ පර්‌යේෂක සහ ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක ඩබ්.එච්. දුමින්ද ප්‍රියදර්ශන පෙන්වා දෙයි. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.

මෙවර සිදුව ඇති වගා හානි තත්ත්වය සමස්ත නිෂ්පාදනයට සිදුකරන බලපෑම පිළිබඳ ඔබේ අදහස?

සාමාන්‍යයෙන් මහ කන්නයක් තුළ හෙක්ටයාර් ලක්‍ෂ 08 කට අධික ප්‍රමාණයක එනම් අක්කර ලක්ෂ විස්සකට අධික ප්‍රමාණයක වගාව සිදු වෙනවා. ඒ අනුව මෙවර 2025/26 මහ කන්නයෙහිද මෙම නොවැම්බර් මස අවසන්වන විට මහ කන්නයේ වගාව ආරම්භකර තිබුණා. ඉලක්කගත බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් ලක්ෂ හයක පමණ ප්‍රමාණයක් වගාව සිදුකර තිබුණා. ඇති වූ ආපදා තත්ත්වය නිසා මෙයින් දළ වශයෙන් හෙක්ටයාර් 108,000 පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානි සිදුවී ඇති බව දැනට වාර්තා වෙනවා, විශේෂයෙන් මෙවැනිම ප්‍රමාණයක් 2023/24 සහ 2024/2025 මහ කන්නයන් ආරම්භයේදී ද ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා හානි වුණා. මෙම වසරවල ද මෙලෙස හානි වූ බිම් ප්‍රමාණය සමස්ත නිෂ්පාදනයට සිදුකළ බලපෑම සීයට09 - 12 ක් තරම් වුණා. 

මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී නිෂ්පාදනය කෙතරම් පාරිභෝජන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වේ ද ?

දැනට  වගා කර ඇති බිම් ප්‍රමාණය සහ වගා හානි බිම් ප්‍රමාණය මෙන්ම දෙසැම්බර් මස සිදුකිරීමට නියමිත නැවත වගාබිම් ප්‍රමාණයත් සලකා බැලීමේදී අවම වශයෙන් වී මෙ.ටො. ලක්ෂ 25 ක ප්‍රමාණයක් මෙම මහ කන්නයෙන් අපේක්ෂා කළ හැකියි. රටේ පාරිභෝජන අවශ්‍යතාවෙන් අවම වශයෙන් මාස 07 කට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් එයින් ලබා ගතහැකියි. එසේම මෙවර මහ කන්නයෙන් මෙලෙස පතිත වූ අධික වර්ෂාපතන තත්ත්වයන් 2026 යල කන්නයේ සාර්ථකත්වයට ඉහළින්ම බලපානවා. ඉදිරි 2026 යල කන්නයෙන් අවම වශයෙන් වී හෙක්ටයාර් ලක්ෂ 05 කට අධික ප්‍රමාණයක් වගා කළ හැකියි. එයින් අවම වශයෙන් රටේ පාරිභෝජන අවශ්‍යතාවෙන් මාස 06 ක සහල් නිෂ්පාදනයක් අපේක්ෂා කළ හැකියි. 2024 වසරෙහිද පැවති අධික වර්ෂාව නිසා 2025 යල කන්නයට ප්‍රමාණවත් ජලය ලැබීමෙන් එම යල කන්නය සාර්ථක වුණා. ඒ අනුව ඉදිරි වසරෙහි සහල් හිඟයක් අපේක්ෂා නොකරන අතර පාරිභෝජන ඉල්ලු‍‍ම ඉහළයාම මත කීරි සම්බා සහ සම්බා ප්‍රමාණවත් සැපයුමක් සිදු නොවුවහොත් හැර සමස්ත සහල් නිෂ්පාදනයෙන් සීයට 80 කට ආසන්න ප්‍රමාණයක් නාඩු වී වගාව සිදුවෙනවා. ඒ අනුව දැනට පවතින කාලගුණික තත්ත්වය නැවත කිසියම් ආකාරයක අසාමාන්‍ය වෙනස්වීමක් ඇති වුවත් එය ඉදිරි වසර අවසන් මාස කිහිපයට ඇතිවන බලපෑමක් මිස දැනට පවතින වෙ​ෙළඳපොළ තත්ත්වයන්ට මෙම ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් කිසිසේත්ම සෘජු බලපෑමක් ඇති වෙන්න නෑ. 

දැනට පවතින තත්වය තුළ සහල් මිල ඉහළයාමක් ඇති වේ ද?

දැනට වෙෙළඳපළට ලැබෙන සහල් තොග මෙම වසර ආරම්භයේ පැවති 2024/25 මහ කන්නයෙන් සහ 2025 වසරේ යල කන්නයෙන් ලද නිෂ්පාදනවලින් සැපයෙන සහල් තොගයි. මෙම 2025 වසර වී නිෂ්පාදනය අතින් සාර්ථක බවත් මෙම වසර තුළින් ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් සිදුවූ බැවින් කිසිසේත්ම නාඩු සහල් මිල ගණන් ද ඉහළ යාමක් ඇතිවිය නොහැකි බවත් පෙන්වා දිය හැකියි. මෙම තත්ත්වය මෙයට පෙරද මා පෙන්වා දී තිබෙනවා. එනම් එම ආපදා තත්ත්වයන් ඇති වුවත් නැතත් මෙම වසරේ අවසන් මාසයේ දෙකෙහි මෙන්ම එළඹෙන ජනවාරි මස දී රටේ පරිභෝජනයට වෙළෙඳපොළ සැපයෙනුයේ 2025 වසර තුළ නිෂ්පාදනය වූ වී තොගවලින් ලැබෙන සහල්. එම නිසා මේ අවස්ථාවේදී සහල් මිල ඉහළ යා හැකි බව සහ අනවශ්‍ය සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇතැමුන් පෙන්වා දෙන කරුණු කිසිසේත්ම පිළිගත නොහැකි පදනම් විරහිත කරුණු බව පෙන්වා දිය හැකියි. සහල් වෙෙළඳපොළ සම්බන්ධයෙන් සහ වී නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින පර් යේෂණ දත්ත සහ තොරතුරු සහ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයකින් පසුව මෙම විග්‍රහය සිදුකරන සිදුකර තිබෙනවා.

කෘෂි ආපදා කළමනාකරණය ප්‍රමාණවත් ද?

විශේෂයෙන් රජයේ පශ්චාත් ආපදා කළමනාකරණයෙහි වී ඇතුළු ප්‍රධාන භෝග වගා නැවත වගාකරවීම සම්බන්ධයෙන් පවතින කඩිනම් වැඩපිළිවෙළ ද පැසසුමට ලක්කළ හැකියි. රජය විසින් මේ අවස්ථාවේ කෙටිකාලීන වී ප්‍රභේද එනම් අවම මාස 03 ක් වන වී ප්‍රභේද වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. එසේ නොවුවහොත් අස්වනු නෙළීමේදී වර්ෂාවට මුහුණදීම මෙන්ම ජල කළමනාකරණ ගැටලු ඇතිවිය හැකියි. එසේම රජය හානි වූ වී වගාව සඳහා ලබාදෙන වන්දි සෘජුවම වී වගාව සඳහාම යොමුවන්නේද යන්නත් අවධානය යොමුකිරීම ඉතා වැදගත් කරුණක්. මේ වනවිට ගොවිජනතාව මෙන්ම මෙම ක්ෂේත්‍රයට අදාළ මධ්‍යම රජය මෙන්ම පළාත් රාජ්‍ය ආයතන ද දැඩි කැපවීමකින් මහ කන්නය නැවත ගොඩනැගීම සඳහා දායකවෙමින් පවතිනවා. එය අත්‍යවශ්‍ය තත්ත්වයක් වන අතර වැව්අමුණු විශාල ප්‍රමාණයක් රාජ්‍ය මැදිහත්වීම මය ගොඩනැගිය යුතුයි. මේ සඳහා ගොවි සංවිධාන මෙන්ම ආරක්ෂක අංශ ද විශේෂයෙන් ඉහළ දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. පෙර කන්නයන් සමග මෙම සිදුව ඇති හානි තත්ත්වයන් වෙනස්වන අතර එම අවස්ථාවලදී නැවත වගාව සිදුවුවද මෙවර සිදුව ඇති හානිය දෙස බැලීමේදී බොහෝ කුඹුරුවල නැවත වගාව සිදුකිරීමට මෙම කන්නයේ නොහැකිවිය හැකියි. විශේෂයෙන් 2024/25 වසර මහ කන්නය ආරම්භයේද සිදු වූ අසාමාන්‍ය වර්ෂාව නිසා සිදු වූ වගා හානි වුණා. වී හෙක්ටයාර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වුවත් එය සමස්ත වී නිෂ්පාදනය පහළ යාමට සිදුකළ බලපෑම සීයට10 -12 ක් පමණයි. වෙළෙඳපොළ සහල් හිඟයක් ඇති වුණේ නෑ. එසේම මෙලෙසම 2023/24 මහ කන්නයේ ද හෙක්ටයාර්  92,000 ක පමණ වගා හානියත් ගංවතුර සහ විවිධ ව්‍යසනවලට ගොදුරුවීමත්‍ නිසා වාර්තා වුණා.  සමස්ත නිෂ්පාදනයට සිදු වූ බලපෑම සීයට9 ක් පමණ වුණා. වී වගා‌වේ ජලසැපයුම ගත්විට මහ කන්නයක සිදුකරන වගාව සඳහා සාමාන්‍යයෙන් මහා වාරිමාර්ගවලින් සීයට46 ක් පමණ ජලය භාවිත වෙනවා. සුළු වාරි මාර්ගවලින් සීයට27 ක් පමණද වර්ෂාපෝෂිතව සීයට 27  ක් පමණද  ජලය ලැබෙනවා.  යල කන්නයේ මහා වාරිවලින් 65 ක් පමණ වගාකරනවා.

ඒ අනුව මෙම 2025 වර්ෂයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු පුරෝකථන දත්ත අනුව 2024/25 මහ කන්නයෙන් වී මෙ.ටො. ලක්ෂ 26 ක නිෂ්පාදනයක් ලැබී ඇති බවත් 2025 යල කන්නයෙන් වී .මෙ.ටො. ලක්ෂ 23 කට ආසන්න ප්‍රමාණයක් ලද බවත් ඒ අනුව මෙම සමස්ත වාර්ෂික වී නිෂ්පාදනයෙන් මාස 14 කට පමණ පරිභෝජනයට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් ලැබෙනවා.  2025 වර්ෂයට අදාළව සහල් මෙ.ටො. 175,000 ක් පමණ ආනයනය කර තිබෙනවා. ඒ අනුව රට තුළ මෙම වර්ෂයෙහි සහල් මෙ. ටො. ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක්  පැවති බැවින් මේ වනවිට ද රට තුළ සහල් මෙ.ටො. ලක්ෂ 5 - 6 අතර අතිරික්ත ප්‍රමාණයක්  එනම් අවම මාස 03 ක පාරිභෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි තිබෙනවා. 

සහල් සුලභතාව ?

පෙර වසරවල දෙසැම්බර් මස මුල් සතිය වනවිට නාඩු සහල් මිල උපරිමයට පැමිණිය ද මෙම වසරෙහි එසේ සිදුව නොමැත. එනම් මේ වනවිට පාලන මිල ගණන්වලට රටේ බහුතරයක් පරිභෝජනය සිදුවන සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 195 - 200 අතර ද සුදු නාඩු සහ රතු නාඩු කිලෝවක් රුපියල්  210 - 230 අතර ද අලෙවි වෙනවා. රජය වී අලෙවි මණ්ඩලය හරහා මිලදීගත් ආරක්ෂිත වී තොග ද මෙතෙක් සහල්කර අලෙවි කිරීමට තරම් විවෘත වෙළෙඳපොළ තුළ සහල් මිල සම්බන්ධයෙන් ගැටලු‍‍වක් නැහැ. මෙලෙස ආරක්ෂිත වී තොග පැවතීමද සහල් මිල ඉහළයාම  සිදු නොවීමට හේතු වෙනවා. කෙසේ නමුත් දේශීය සම්බා සහ කීරි සම්බා සහල් මිල පාලන මිලෙන් ඉහළ අගයක පවතිනවා. මේ සඳහා ආදේශකයක් ලෙස ආනයනය කළ පොන්නි සහල් තොග පාලන මිලට හෝ ඉන් පහළ අගයන්වලට හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකියි. ඒ අනුව දැනට ද වෙළෙඳපොළෙහි කිසිදු හිඟයකින් තොරව සහල් තොග පවතිනවා. ඉදිරි වසර තුළ ද කිසිදු ආකාරයක අනවශ්‍ය බියක් සහල් හිඟයක් සම්බන්ධයෙන් ඇතිකර ගතයුතු නැහැ.