
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂයේ සියලු පක්ෂ නායකයන් කැඳවා කළ සාකච්ඡාවක් ඉකුත් සතිය මැද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලු පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබිණ. විපක්ෂ නායකවරයා මෙම රැස්වීම කැඳවුයේ අගවිනිසුරුවරයාගේ සහ සෙසු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කිරීම සඳහාය. මෑත කාලයේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් පාහේ එකට එකතු වූ ප්‍රධාන රැස්වීම මෙය වේ.
ආණ්ඩුවේ තීන්දුවකට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ මේ ආකාරයෙන් ඒකරාශිවීම විරුද්ධ පාක්ෂික ජනතාවගේ ආණ්ඩු විරෝධී බලාපොරොත්තුවලට අගනා උත්තේජයකි. එහෙත් මෙවැනි එකමුතුවක් අනාගත ප්‍රධානම මැතිවරණය වන ජනාධිපතිවරණය දක්වා ගෙන යාමට හැකි වේ නම් එය ආණ්ඩුවේ පැවැත්ම අවසන් කරන බලවේගයක් වන බව නිසැකය. විපක්ෂයට එසේ කළ හැකි ද මෙවැනි පොදු කරුණක දී එකතු වුවද බලය සඳහා කෙරෙන ප්‍රධාන මැතිවරණයේ දී විපක්ෂයට එක්ව තරග වැදිය හැකි ද? යන්න සලකා බැලිය යුතුය.
ඉකුත් ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායකට අහඹු ජයග්‍රහණයක් ලබා ගැනීමට හේතු වූයේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ බෙදී වෙන්වී වෙන් වෙන්ව ජනාධිපතිවරණයට තරග කිරීම නිසාය. එදා බෙදුණු විපක්ෂයේ මෙම පක්ෂ මේ වනතුරුත් ආණ්ඩුවට එරෙහිව තනි බලවේගයක් ලෙස ඒකරාශි කර ගැනීමට කිසිවකුටවත් හැකියාවක් ලැබී නැත. පරාජය වූ සහ මැතිවරණයට තරග නොකළ දේශපාලකයෝ විශාල පිරිසක් මේ වනතුරුත් විපක්ෂයේ කිසිදු බලවේගයකට එකතු නොවී සිදුවන දෙයක් තේරුම් ගත නොහැකිව බලා සිටින බවක් ද දැකගත හැකිය.
හැත්තෑ හතේදී සුවිශාල ජයග්‍රහණයක් ලැබූ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සෑම විටම පම්පෝරි ගැසුවේ බලය ගත්තේ යළිත් වෙනත් පක්ෂයකට දෙන්නට නොවන බවය. හැත්තෑ හතේ ජුලි මාසයේ නොසිතූ වීරු බලයක් ලැබුණු එජාපය එතෙක් තිබූ රට සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වේය. එජාපය බලය අතහැරියේ වසර දාහතක් රට පාලනය කිරීමෙන් ඉක්බිතිවය. පක්ෂ අභ්‍යන්තරයෙන් නැගුණු විශාල කැරැල්ලක් නිසා නොවේ නම් 1994 දී එජාප බලය ඇද වැටීම ඇතැම්විට සිදු නොවන්නටත් ඉඩ තිබිණි.
එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන ලද විධායක ජනාධිපතිධූරය යටතේම එජාපය දෙකට බෙදී ඉන්පසුව පාලන බලය ද අහිමි කර ගත්තේය. එජාපය සහ සජබය ලෙස අද පවතින පක්ෂ දෙක හේතුවෙන් කලකිරී කිසිම මැතිවරණයක දී ඡන්ද පොළට නොයන පැරණි ඡන්දදායකයන් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. ඉකුත් මැතිවරණයේ දී ඡන්දය නොදී වර්ජනය කළ ලක්ෂ හැට නවයක ජනතාවගෙන් අති බහුතරයක් මෙම පක්ෂ දෙක බෙදි යාම නිසා දේශපාලනය එපාවූ පිරිස බව නිගමනය කළ හැකිය. පක්ෂ දෙක එකතුවීමකින් මෙයින් සැලකිය යුතු පිරිසක් යළිත් ඡන්ද පොළට යවා ගත හැකිවනු ඇත.
විධායක ජනාධිපති ධූරය බිහිවූ පසු මෙරට විපක්ෂය ඉතාම බෙලහීන තත්ත්වයකට පත්වුණේය. ජේ.ආර්. ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සෑම ජනාධිපතිවරයකුම බෙලහීන වී සිටි විපක්ෂයේ ද යම් කණ්ඩායමක් දෙකක් තමාට කීකරු ලෙස පවත්වාගෙන ගියේය. මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යටතේ එවැනි බලයක් ජනාධිපතිවරයාට ලබා ගත නොහැකිවුවත් අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ වර්තමානයේ ද විපක්ෂයේ යම් පිරිසක් ජනාධිපතිවරයාට හීලැ කරගෙන ඇත. විවිධ නඩු හබ ආදියෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා ද විපක්ෂයේ යම් යම් පිරිස් පාලනය කරගෙන සිටින අතර විපක්ෂයට ප්‍රධානම හානියක්ව ඇත්තේ මෙම තත්ත්වයයි. මේ නිසා ඉදිරි මැතිවරණය දක්වාම විපක්ෂයේ යම් පිරිසකට තමාගේ නාස් ලණුව දුර ඇති තාක් පමණක් නිදහසේ හැසිරීමට ඉඩ ලැබෙනු ඇත.
විශේෂ මහාධිකරණ යටතේ විභාග කෙරෙන නඩු කටයුතු මේ වනවිට විපක්ෂයේ දේශපාලකයන් ගණනාවකටම සිපිරිගෙය උරුම කර ඇත. තවත් කිහිප දෙනකුටම ළඟදීම දඬුවම් ලැබෙන බව ද ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මතය වේ. මේ අනුව ලබන ප්‍රධාන මැතිවරණය වනවිට විපක්ෂයේ ප්‍රධාන චරිත ගණනාවකටම තරග වැදීමට නොලැබෙනු ඇති බවට සැකයක් නැත.
දෙමළ කතා කරන පක්ෂ පහේ වෙනස
මේ වනවිට විපක්ෂයට මතු වී ඇති එක් ප්‍රබල අභියෝගයක් වන්නේ දෙමළ භාෂාව කතා කරන පක්ෂ එක් පෙරමුණක් තුළට ගොනුවීමය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ජාතික සංධානය වැනි ප්‍රධාන පක්ෂ දෙක සමග අතාවුල්ලාගේ පක්ෂය, තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු පක්ෂ හයක එකමුතුවක් මේ වනවිට ගොඩනැගි ඇත. මෙම පක්ස ඉතිහාසය පුරාම වැඩිම දේශපාලන වටිනාකම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සමග කේවල් කළ අතර ජාතික ජන බලවේගය තනිවම තුනෙන් දෙක බහුතරයක් ලැබූ නිසා ඉකුත් මහ මැතිවරණයේදි එම කේවල් කිරීමේ හැකියාව ඔවුන්ට අහිමි විය. එහෙත් මේ වනවිට ඔවුන් යළිත් එම කේවල් කිරීමේ හැකියාව ලබා ගැනිමට උත්සාහ දරමින් සිටී. විපක්ෂයේ ප්‍රධානතම පක්ෂයක මහලේකම්වරයකු මෙම ලේඛකයා සමග පැවසුවේ අනාගත ප්‍රධාන මැතිවරණයකදී ඔවුන් තම ඡන්දවලට වැඩි වඩිනාකමක් ලබාගැනීම සඳහා සියලු පක්ෂ සමග කේවෙල් කරනු ඇති බවය. ඇතැම් අයගේ අදහස වන්නේ ජනාධිපතිවරයා මීළඟ මැතිවරණයට පෙර ජවිපෙ අතහැර ජාතික ජනබලවේගය පුළුල් කරනු ඇති බවත් එයට මෙම දෙමළ කතා කරන පක්ෂවල සහායද හිමිවනු ඇති බවත්ය. මිළඟ ජනාධිපතිවරණයට එසේ පිහිටුවනු ලබන පුළුල් සංධානයක් යටතේ ජනාධිපතිවරයා යළිත් තරග වදිනු ඇති බව එම පිරිසේ අදහසය. එවැනි තත්ත්වයක් විපක්ෂයට බලවත් හානියක් කරනු ඇති බවද නිසැකය.
දෙමළ හා මුස්ලිම් පක්ෂ නොමැති මෑත කාලින දෙවැනි ආණ්ඩුව වන්නේ මෙයයි. මෙයට පෙර ගෝඨාභය රාජපක්ෂ රජයද සුළු ජාතික පක්ෂවලින් තොරව ආණ්ඩුවක් පිහිටුවීය. එහෙත් වත්මන් රජය සමග උතුරේ දේශපාලන කටයුතුවලදී මෙම කුඩා පක්ෂවල අනෝන්‍ය අවබෝධයක් ඇති අතර අනාගතයේ එළැඹෙන මැතිවරණයක දී මෙම පක්ෂ මාලිමාව සමග එක්ව පොදු සංධානයකට එළඹේදැයි දේශපාලන අංශ අතර කතාබහට ලක්ව ඇත.
සජිත්, නාමල් සහ රනිල් යන තිදෙනාම ලබන ජනාධිපතිවරණයටත් තරග වැදෙනු ඇතැයි උපකල්පනය කළද ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ බොහෝ දුරට දේශපාලන ක්‍රමය එපාවී සිටින ඡන්දදායක පිරිසකටය. වසර ගණනාවක් තිස්සේම මෙම දේශපාලනය එපාවන ඡන්දදායක සංඛ්‍යාව වැඩිවීම හැර අඩුවීමක් නැත. මේ වනවිට දේශපාලකයෝ විහිළු කාරයන් බවටද බොරු කාරයන් බවටද පත්ව සිටිති. දේශපාලන සාකච්ඡා දේශපාලකයන්ගේ කතා අසා සිටින්නේ ඉතාම සුළු පිරිසකි. දේශපාලන පක්ෂ විසින් ඉදිරියට දමා සිටින දේශපාලකයන් ජනතාව අතර හෑල්ලුවට ලක් වූවන්ය. උගත්කමක් නැති, අවංකභාවයක් නැති පිරිසකගෙන් මෙරට දේශපාලනය සකස්වී ඇති අතර එය විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට ද පොදුය. ඉකුත් මැතිවරණවලින් පරාජය වූ ප්‍රභූ පන්තිය පැරණි ජරාජීර්ණ චරිත ටිකම අදටත් මහජනයා හමුවට එවා සිටින අතර ඔවුන් නිසා දේශපාලනය තවදුරටත් එපාවීම හැර ජනතා ආකර්ෂණයක් අලුතෙන් ඇතිවන්නේ නැත.
මේ වනවිට විපක්ෂයේ පක්ෂ තුනක් බල කඳවුරු තුනක් ලෙස දේශපාලනය කරන අතර බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ මෙයින් සජබය සහ එජාපය එකතු විය යුතු බවය. එම පක්ෂ දෙක එකතු වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සජබ සමග එකතු වන්නේ නැත. පැරණි දේශපාලනයේ නිල් සහ කොළ ලෙස බෙදී සිටි දේශපාලන මතවාදය තවමත් බිම් මට්ටමේ ඡන්දදායකයන් තුළ පැවතීම එයට හේතුවය. ඉකුත් ජනාධිපතිවරණයේදී ද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පුටුව දක්වා ඔසවා තබන්නට හේතු වූ විපක්ෂයේ මෙම බෙදුණු මතවාදය 2029 දී එළඹෙන ජනාධිපතිවරණයේදී ද වෙනස් වන්නේ නැත. ඒ අනුව අවම වශයෙන් එජාප සහ සජබ පොදු අපේක්ෂකයකුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකුද එම ජනාධිපතිවරණයට තරග වදිනු ඇත. එහිදී ද දැනට විපක්ෂයේ ඇති ඡන්ද ප්‍රමාණය දෙකඩ වන අතර ආණ්ඩුවේ අපේක්ෂකයා පරාජය කිරීමට හැකි ඡන්ද ප්‍රමාණයක් විපක්ෂයේ එක් අපේකෂකයකුට ලැබේ දැයි දැනට තහවුරු කළ නොහැකිය. මේ නිසා විපක්ෂයේ බොහෝ දෙනාගේ අදහස වන්නේ විපක්ෂය වෙනුවෙන් තනි අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් විය යුතු බවය. 1994 දී එජාපය පරාජය වූයේ එවැනි විපක්ෂයේ පොදු අපේක්ෂකයකුගෙනි. එහෙත් එවැනි කැපකිරීමක් කිරීමට විපක්ෂයේ දැනට ඇති බලවේග තුනෙන් කිසිවකු හෝ සුදානම් දැයි සැක සහිතය.
ප්‍රේමකීර්ති රණතුංග

