
ජාතික ජන බලවේග ආණ්ඩුවට තව මාස දෙක තුනකින් වසර දෙකක් සම්පූර්ණ වේ. ආණ්ඩුකරණය සඳහා තවත් ඉතිරි වන්නේ මාස 36 ක කාලයකි. වංචා දූෂණ සොරකම නාස්තිය අනන්‍ය ලක්ෂණ වෙමින් පසුගිය දශක ගණනාවක් තිස්සේ රටේ වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” නමැති මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයේ හරය යි..
දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීම පහසු නැති බව මුලින්ම තේරුම් ගත යුතු ය. ඒ, එම සංස්කෘතියේ ඒජන්තයන් හා එයින් පෝෂණය වන පිරිස් එවැනි පරිවර්තනයකට කොන්දේසි විරහිතව එරෙහි වන නිසා ය . එහි අනිත් පැත්තද තේරුම් ගැනීම වටී. එනම්, ලංකා ඉතිහාසයේ තුනෙන් දෙක ඉක්ම වූ පාර්ලිමේන්තු බලයක් ප්‍රථම වරට ලැබුණේ මේ ආණ්ඩුවට බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්රකාශනයෙන් රටට පොරොන්දු වූ ඒ සංස්කෘතික වෙනස සිදුකිරීම ආණ්ඩුවේ අත්හළ නොහැකි වගකීමක් බවත් ය.
වංචා දූෂණ අපරාධවලට සම්බන්ධ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කරමින් ක්‍රියාත්මක වේ. එය අගය කළ යුතු වර්ධනයකි. එය රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්රමුඛ පියවරක් ද වේ. එහෙත් දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීමේදී ඉන් එහාට ගොස් කළ යුතු තවත් බොහෝ දේවල් තිබේ. ඒවා ගැන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ද එකින් එක විස්තර වේ. එහිලා ආණ්ඩුවේ මූලික පොරොන්දු දෙකක් මතක් කළ යුතු ය. එකක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමය. දෙවැන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ය. පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව අසන ලද ප්‍රශ්නයකට දුන් පිළිතුරෙන් පැහැදිලි වෙන්නේ දැන් ආණ්ඩුවට ඒ ගැන විශාල තැකීමක් නැති බව ය. එහිදී ඔහු පවසා තිබුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද යන්න ගැන ආණ්ඩුව තවමත් තීරණයක් ගෙන නොමැති බව ය. ව්‍යවස්ථාව හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට මේ මොහොතේ පැහැදිලි ස්ථාවරයක් නැති බව ඇමති නලින්ද එම මාධ්‍ය හමුවේදී අදාළ ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි වේ.
තුනෙන් දෙකත් ඉක්ම වූ බලයක් රටවැසියන් මේ ආණ්ඩුවට දුන්නේ හොරු අල්ලන්නට පමණක් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය. එමෙන් ම හොරු ඇල්ලීමෙන් පමණක් රටක දේශපාලන සංස්කෘතිය වෙනස් කළ නොහැකි බව ද වටහා ගත යුතු ය. ව්‍යවස්ථාමය සහ ආයතනික වෙනස්කම් නොකර ලංකාව වගේ රටක දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අමු විහිළුවකි. ආණ්ඩුකරණය ගැන අත්දැකීම් නැති ජවිපෙට ඒ ගැන පාඩම් ඉගෙන ගැනීමට 2015 යහපාලන ආණ්ඩුවට වුණේ මොකක්දැයි සොයා බැලීම වැදගත් ය. ජවිපෙත් හවුල් වූ යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව පවසමිනි. වංචා දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම, අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ප්‍රධාන පොරොන්දු ගණනාවක් ඒ සංස්කෘතික වෙනසට ඇතුළත් වී තිබිණි. සුප්‍රකට දින සියයේ වැඩසටහන ඒවායෙන් සමහර ඒවා ක්‍රියාත්මක කිරීමට කාල රාමුවක් සපයන ලද්දක් විය. රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ සිද්ධි කිහිපයක් ගැන ලහිලහියේ විමර්ශන ආරම්භ කළ ද 2018 අගභාගයේ රාජපක්ෂ කඳවුරේ නායකයා වූ මහින්ද රාජපක්ෂ එවක ජනාධිපති සිරිසේන විසින් අගමැති පුටුවේ වාඩි කරවනු ලැබීමත් සමග යහපාලන ආණ්ඩුවේ වංචා දූෂණ වැඩපිළිවෙළ හබක් විය.
ජනතාව බලා සිටියේ දේශපාලන සංස්කෘතියේ වෙනස සිදුවන තෙක් ය. විශේෂයෙන්ම මැද පාන්තිකයෝ ඒ ක්‍රම වෙනස වෙනුවෙන් දැඩිව පෙනී සිටියහ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම එහි අනිවාර්ය අංග බව ඔවුහු විශ්වාස කළහ. විධායක ජනාධිපති ධුරයේ බලතල යම් ප්‍රමාණයක් කප්පාදු කිරීමෙන් එහාට යන්නට ඒ ආණ්ඩුවට හැකි වූයේ නැත. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කර එයිනුත් ඔබ්බට යමින් ක්ෂේත්‍ර හයක වාර්තා සකස් කිරීමට කමිටු හයක් ද පත් කෙරිණි. එම කමිටු හයේ වාර්තා ඇතුළත් අතුරු කමිටු වාර්තාවක් ද එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් ඒ වාර්තා පදනම් කරගෙන අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩසටහන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේ නැත. එපරිදි ආයතනික සහ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමෙන් ආණ්ඩුව හිතාමතාම ඉවත් වූයෙන් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි වූයේ නැත. සිදු වූ එකම දෙය නොයෙක් කමිටු පත්කරමින් ඒවායේ සේවය කළ අයට මහජන මුදලින් දීමනා ගෙවීම පමණි.
තුනෙන් දෙකත් ඉක්ම වූ බලයක් රටවැසියන් මේ ආණ්ඩුවට දුන්නේ හොරු අල්ලන්නට පමණක් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය. එමෙන් ම හොරු ඇල්ලීමෙන් පමණක් රටක දේශපාලන සංස්කෘතිය වෙනස් කළ නොහැකි බව ද වටහා ගත යුතු ය. ව්‍යවස්ථාමය සහ ආයතනික වෙනස්කම් නොකර ලංකාව වගේ රටක දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අමු විහිළුවකි.
ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දූ වූ අලුත් ආණඩුක්රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන ප්‍රශ්න කරන විට වැනෙන පිළිතුරු දීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ද යන්න අපි නොදනිමු. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පසුවට කල්දැමීම විශාල අනර්ථයකට මගපෑදිය හැකි තරමේ වරදක් බව ද ඉහතදී මතක් කළ යහපාලන ආණ්ඩුවේ අත්දැකීමෙන් මාලිමා ආණ්ඩුව තේරුම් ගත යුතු ය. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවමත් කාලය තිබෙන්නේ යැයි ආණ්ඩුව දැන් සිතා සිටින්නේ නම් එහි තේරුම එය නොකෙරෙන වෙදකමක් බව ය. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක ජනප්‍රියත්වය රඳා පවතින්නේ මුල් අවුරුදු දෙකේදී හෝ තුනේදී පමණි. අනිත් අතට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ බලය ලද වහාම සිදු කළ යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වැනි බැරෑරුම් කටයුත්තක් බලයට පැමිණ මසෙකින් දෙකකින් කළ හැකි යැයි අපි නොකියමු. එහෙත් එය කරන කාලරාමුවක් සහ නිශ්චිත වැඩපිළිවෙළක් රට හමුවේ තැබිය යුතු ය. එසේ නොකර වැනෙන පිළිතුරු දීමෙන් සිදුවන්නේ මේ ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුව වගේ ඒ දේවල්වලින් කර අරින බවක් ජනතාවට ඒත්තු යෑම ය.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනා පමණින් රටේ සියලු ප්‍රශ්න විසඳෙන්නේවත් පොරොන්දු වූ ක්‍රම වෙනස එක රැයෙන් සිදුවෙන්නේ වත් නැත. එහෙත් ආණ්ඩුව පොරොන්දු වූ දේශපාලන සංස්කෘතියේ වෙනසට මූලික අඩිතාලමක් සහ ශක්තිමත් පදනමක් නිර්මාණය කළ හැකි ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරයට ලබා දී තිබුණු අසීමිත බලතල සීමා කර ඒවායෙන් බොහෝ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නමැති ස්වාධීන ආයතනයට ලබා දීමට මුල් වූ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 දී සම්මත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කැපීපෙනන වැඩකොටසක් කළ බව මාලිමා ආණ්ඩුවට මතක් කරදීමට ද කැමතිය. ඇත්තෙන්ම ජේ.ආර්.ගේ වචනයෙන් කියනවා නම් ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක කිරීමත් හැර අන් සෑම දෙයක්ම කළ හැකි අනුහස් තනතුරක් හැටියට පැවති විධායක ජනාධිපති ධුරයේ තටු කැපුණේ එම ව්‍යවස්ථා සංශෝධනයෙනි. එසේ ම එයින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 19 සහ 21 යන ව්‍යවස්ථා සංශෝධනවලින් ද හඳුන්වා දීමෙන් පැහැදිලි වන්නේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ය.
එහෙව් ප්රගතිශීලී වෙනසක් වෙනුවෙන් එවක පෙනී සිටි ජවිපෙට ඒ ඉතිහාසය අමතක වෙන තරමේ දේශපාලන ඩිමෙන්ෂියාවක් වැලඳී ඇතැයි අපි නොසිතමු. කල්මැරීම දේශපාලන පාපයකි. තව කාලය ඇතැයි සිතා කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පමා කරන්නේ නම් දැන් සමීක්ෂණවලින් පෙන්නන ආණ්ඩුවේ සියයට 70 ඉක්ම වූ ජනප්‍රියත්වය ඉතිරි මාස 36 ක කාලයේදී කොපමණ ප්‍රමාණයකින් කඩාවැටේ ද යන්න දැන ගත හැකි වනු ඇත. මැතිවරණයක් පැවැත් වූ පසු ඒ සමීක්ෂණ ප්‍රතිඵලය ජනතාව විසින් ම ලබා දෙනු ඇත.
ජනතාවගේ එකම සලකා බැලීම දේශපාලනය නොවන බව ද වටහා ගත යුතු ය. විශේෂයෙන් ම 2022 උද්ගත වූ උග්‍ර ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වූ ජනයා දැන් සොයමින් සිටින්නේ හොඳ ආර්ථික ජීවිතයකි. එහෙයින් දේශපාලන සංස්කෘතිය පමණක් වෙනස් කිරීමෙන් ඵලක් නැත. සමාජ ආර්ථික ක්ෂේත්රවල ද බරපතළ වෙනස්කම් කළ යුතු ය. ආර්ථික අංශයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග ඉදිරියට යනවා හැරෙන්නට ගත වූ මාස 18ක කාලයේ දී ආණ්ඩුව තමන්ගේ ම වූ ආර්ථික වැඩපිළිවෙළක් දර්ශනයක් සමාජගත කළේ නැත. කාර්මික අංශයේ පිබිදීමක් ද සිදු නොවුණි. එහෙත් බොහෝ සාධනීය යෝජනා ඉදිරිපත් කර ඇති ආකාරයක් දැකිය හැකි ය. ඊට දැක්විය හැකි හොඳම නිදසුනක් වන්නේ විදේශ ආයෝජකයන්ට පහසු පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කළ ජාතික තනි කවුළුව වැඩසටහන (National Single Window for Investments) යි. මෙය 2026 සිට ක්‍රියාත්මක කරන බව ද ඔහු කීවේ ය. ඉදිරිපත් කරනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරීමත් ඒ ඔස්සේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමත් ආර්ථික සංස්කෘතියේ වෙනසක් සඳහා ඉතා වැදගත් වනු ඇත.
දේශපාලන සහ ආර්ථික සංස්කෘතීන්වල කරනු ලැබිය යුතු වෙනස්කම් පසුවට කල්දැමීම මගින් ආණ්ඩුවට ඉතුරු වී තිබෙන මාස 36 ක කාලය හුස්මක් කටක් ගැනීමට තරම් ඉස්පාසුවක් නැති කාර්යබහුල කාලපරිච්ඡේදයක් බවට පත්වනු ඇත. ආණ්ඩුවම පොරොන්දු වූ දේශපාලන සංස්කෘතියේ වෙනස අනුව අප තවමත් සිතා සිටින්නේ අනුර කුමාර දිසානායක මේ රටේ අවසන් විධායක ජනාධිපති බව ය. එසේ නම් එම ධුරය මේ රටේ තවත් පවතින්නේ මාස 36 ක කලයක් පමණි. ඒ කාලය ඇතුළත පොරොන්දු වූ ඒ වෙනස යථාර්ථයක් බවට පත් කරන්නේ දැයි අපි බලා සිටිමු.
උපුල් වික්‍රමසිංහ

