මාධ්‍ය නිදහසට එරෙහිව සුදු ඇඳගෙන එන ආණ්ඩුවේ කෙටුම්පත


ශ්‍රී ලංකාවේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම අතිශයින්ම තීරණාත්මක විය හැකි පියවරකට යොමුවීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබේ.

2026 ජුනි මස 05 වනදා නිකුත් කර ඇති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇති “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත”‍ හරහා කරළියට ගෙන ඇත්තේ රජයේ එකී සූදානමය. රජයේ මෙම ප්‍රයත්නය දෙස සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය පමණක් නොව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ගරුත්වයක් හා අවධානයක් ඇති සියලු‍ම පාර්ශ්වයන්ම දැඩි ලෙස අවධානය යොමු කළ යුතුව තිබේ.

මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිති හඳුන්වාදීමේ සහ පවත්වාගෙන යාමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම එම පනත් කෙටුම්පතෙහි අභිලාෂය බව කියැවේ.

බැලූ බැල්මට එහි අරමුණ පවිත්‍රය; එමෙන්ම ඒ සඳහා ඇතිකරන්නට සූදානම් වන ආයතනයේ දක්වා ඇති පරමාර්ථ ද ඉතාමත්ම විචිත්‍රය. එහෙත් එකී පනත් කෙටුම්පත සියුම් ලෙස අධ්‍යයනය කිරීමේදී, ප්‍රකාශනය ඇතුළු භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සෑම පුරවැසියකුටම සහතික කරන අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩුයටිකුරු කරන ස්වභාවයකට අමතරව, මාධ්‍යවේදියාගේ ගරුත්වයට, නිදහසට මෙන්ම ශ්‍රී ලංකාව තුළ සියවස් දෙකකට වඩා කාලයක් තිස්සේ අභියෝග මැද වර්ධනය කරගනිමින් සිටින නිදහස් මාධ්‍ය සංස්කෘතියට අතිශය මාරාන්තික විය හැකි විසකුරු සර්පයෙක් ඒ තුළ දැකගත හැකිය.

“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය”‍ නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන මෙම පනත යටතේ බිහිකරන්නට යන්නේ රාජ්‍ය සංස්ථාපිත මණ්ඩලයකි; එනම් රාජ්‍ය ආයතනයකි. එබැවින් මෙය දැනට බලාත්මක පුවත්පත් මණ්ඩලය ආකාරයේ ආයතනයක් මිස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනයක් නොවේ. එමෙන්ම වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය හෝ වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය වැනි ස්වාධීන වෘත්තීය ආයතනයක් ද නොවේ. මන්ද, එවැනි වෘත්තීය ආයතන සඳහා වරලත් වෘත්තික බලපත්‍ර දීමේ බලය සම්පූර්ණයෙන් පවරන්නේ රජයේ සෘජු පරිපාලන පාලනය යටතේ නොවන බැවිනි. අනෙක් අතට, දැනට බලාත්මක පුවත්පත් මණ්ඩලයට පවා නොමැති, මාධ්‍යකරුවන්ගේ ඉරණම තීන්දු කළ හැකි සුවිශේෂී බලයක් මේ ආයතනයට ආරෝපණය වීමට නියමිතය. මේ රටේ මාධ්‍ය සමාජය බරපතළ ලෙස අවධානය යොමුකළ යුතු පළමු කරුණ වන්නේ එයයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය ප්‍රමිති හඳුන්වාදීම, එම ප්‍රමිති සංවර්ධනය කිරීම, පවත්වාගෙන යාම සහ අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, ආයතනයේ පරමාර්ථ සහ කර්තව්‍ය සිදුකරගෙන යාම සඳහා ආයතනයේ මතය පරිදි අවශ්‍ය හෝ යෝග්‍ය වන වෙනත් යම් සියලු‍ ක්‍රියා සිදු කිරීම වැනි බලතල මෙකී ආයතනයට පැවරෙන බව පනත් කෙටුම්පතෙහි පැහැදිලිවම සඳහන්ය. එවැනි බලයක් මෙවැනි ආයතනයකට ලබා දීමෙන් පෙනෙන්නේ සමස්ත මාධ්‍ය ක්‍රියාවලියම රාජ්‍ය කේන්ද්‍රගතව හසුරුවාලීමට බලය ලැබෙන බවය. ලංකාවට අදාළව මෙම තත්ත්වය තේරුම්ගත යුත්තේ, බලයේ සිටින ආණ්ඩුවේ අභිමතය පරිදි මාධ්‍ය හැසිරවීම යන්නයි.

සුනිල් ජයසේකර

ආයතනයේ කටයුතු කළමනාකරණය සහ පරිපාලනය සඳහා තෝරා පත්කරගනු ලබන ව්‍යුහය ද විධායකයේ ආධිපත්‍යය හෙවත් ආණ්ඩුවේ බලාධිකාරීත්වය පැහැදිලි කරන තවත් සාධකයකි. එකී ආයතනයට සාමාජිකයන් 08 දෙනෙකුගෙන් යුත් පාලන ව්‍යුහයක් වන බව සඳහන්ය. ඔවුන් 08 දෙනා තෝරා පත්කරගන්නා බව පැවසීමෙන් ගම්‍ය වන්නේ ඡන්දයකින් වැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් තෝරාගන්නා බවක් වුවද, ඒ සඳහා ඡන්ද බලය හිමිවන්නේ කාට ද යන්න පැහැදිලි නැත. එහිදී අනුමාන කළ හැක්කේ පසුව සඳහන් වන අන්තර් කමිටුව මගින් ඒ සඳහා ප්‍රතිපත්ති හා රීති සාදනු ඇති බවයි. එමෙන්ම, පත්කරගනු ලබන තවත් සාමාජිකයන් 07 දෙනකු ද පරිපාලන කමිටුවට අයත් වන බව කියැවේ. එම 7 දෙනා පත්කරන්නේ කවුරුන් විසින් ද? ඇමැතිවරයාද, අමාත්‍යාංශ ලේකම්වරයා ද? කවුරුන් විසින් පත්කරනු ලැබුව ද ඔවුන් විධායක බලයක් සහිත ආයතනයකින් පත්කරවන නියෝජිතයන්ය. ඡන්දයකින් හෝ ඒ හා සමාන ආකාරයකින් පත්වන්නේ සාමාජිකයන් 08 දෙනකු වන විට, වෙනත් ආකාරයකින් සාමාජිකයන් 07 දෙනකු පත්කරගන්නා පරිපාලන ව්‍යුහයක් කිසිසේත්ම සාධාරණ හා යුක්තිසහගත එකක් විය නොහැක.

ඉගිලෙන්නට යන කණකොකාගේ සුද පෙනෙන්නේ පනත් කෙටුම්පතෙහි සඳහන් අතුරු සභාව කෙරෙහි අවධානය යොමුකිරීමේදීය. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය යටතේ සාදනු ලබන රීතිවලට අනුකූලව සභාවේ සාමාජිකයන් පත්කරන තෙක් පත්කරනු ලබන අතුරු සභාවේ සියලු‍ම සාමාජිකයන් පත්කරන්නේ අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි. ඒ සියල්ලම දේශපාලන හෝ විධායකයේ පත්කිරීම්ය. ඒ අනුව පැහැදිලි වන්නේ මේ ආයතනයේ ප්‍රතිපත්ති, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවල පැවැත්මට අදාළ සියලු‍ නිර්නායක, ආචාරධර්ම, විනය කටයුතු ආදී සියල්ල ආරම්භයේදීම සකසා තහවුරු කරන්නේ එකී දේශපාලන උවමනා අනුව පත්කරන ලද ව්‍යුහයකින් බවයි. එකී ව්‍යුහය මගින් සකස් කරන ප්‍රතිපත්ති, රීති හා ක්‍රමවේද ආයතනයේ අනාගත පැවැත්මෙහි පදනම වනු ඇත.

එමෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ අනාගත ඉරණම තීන්දු කරන, පත්වන සභාවේ ගණපූර්ණයට සභාපතිවරයා ඇතුළු 05 දෙනකු සිටීම ප්‍රමාණවත් බව කියැවේ. ඒ අනුව සාමාජිකයන් 03 දෙනකුට ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ගැන තීන්දු ගත හැකිය. එයද අතිශය බරපතළ තත්ත්වයකි. ගැසට් පත්‍රයේ අනෙකුත් සියලු‍ම කාරණා ද ඉහත දක්වා ඇති කරුණුවලට සමානය. නිදහස් මාධ්‍ය පැවැත්මට එරෙහි වන, අධිකාරීවාදී ඒකාධිපති පාලනයන් යටතේ පමණක් පැවැතිය හැකි මාධ්‍ය පාලන ආකෘතියක දැකිය හැකි ලක්ෂණ ඒ සියල්ලෙහිම පාහේ අන්තර්ගතය.

මෙම තත්ත්වය අතිශයින්ම බරපතළ වන අතර, එවන් තත්ත්වයක් තුළ සාධාරණ හා යුක්තිසහගත නිර්නායක අපේක්ෂා කළ නොහැක. නිදහස් මාධ්‍ය සංස්කෘතියක් හා නිදහස් මාධ්‍යයේ පැවැත්මක් පිළිබඳව තවදුරටත් අපේක්ෂා කළ නොහැකිය. එවැන්නක් සිදුවුවහොත් ඒ මගින් ආකෘතිගත වනු ඇත්තේ උතුරු කොරියාවේ හා චීනයේ අද ක්‍රියාත්මක වන ආකාරයේ මාධ්‍ය පරිපාලන ආකෘතියකි.

මෙහිදී විශේෂයෙන්ම අප රටේ මාධ්‍යවේදීන් ප්‍රමුඛ සමස්ත මාධ්‍ය සමාජයම අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ, නූතන ලෝක රටාව තුළ සමස්ත සාම්ප්‍රදායික මාධ්‍ය කර්මාන්තය මුහුණ දෙමින් සිටින අභියෝග සැලකීමේදී මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව ඇති බවය. මාධ්‍ය වෘත්තිකයාගේ දැනුම, පුහුණුව මෙන්ම වෘත්තීය ආචාරධර්ම පිළිබඳව නව සංවාදයක් මෙන්ම මාධ්‍ය සමාජය තුළ ඒ පිළිබඳ සම්මුතියක් ඇතිකරගැනීම එහිදී අතිශයින්ම වැදගත් වන බව අවිවාදිතය. එහෙත් එය සිදුවිය යුත්තේ මාධ්‍ය සමාජය අතරිනි. එය ආණ්ඩු වෙත පවරා නොදිය යුතු වනවා පමණක් නොව, ආණ්ඩුව ද එය තම අධිකාරී බලය යොදවා තමන් වෙත පවරා නොගත යුතුය.

එහිදී පුරවැසියන්ගේ නිදහස ද ඇතුළු රටේ යහපැවැත්ම සහතික කරලීමේ වගකීමට බැඳී සිටින ආණ්ඩුව වෙත පැවරෙන වගකීම වන්නේ, රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගතව කටයුතු කරමින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීමය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුලුනක් වන නිදහස් මාධ්‍යයට වැට බඳින කිසිදු ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව නොපිවිසිය යුතුය. රටේ මාධ්‍ය කර්මාන්තයේ උන්නතිය උදෙසා මැදිහත්වීමට රජය අවංකවම අපේක්ෂා කරන්නේ නම්, ඒ පිළිබඳව මාධ්‍ය සමාජය ප්‍රමුඛ කරගත් සිවිල් සමාජය සමග සිදුකරන පුළුල් සංවාදයකින් අනතුරුව එය සිදුකළ යුතුව තිබේ. එවැන්නකින් තොරව අණපනත් පැනවීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන රජයකට කිසිසේත්ම සිදුකළ නොහැක්කකි.

තම අධිකාරී බලය කෙරෙහි පමණක් පිහිටා කටයුතු කරමින් මාධ්‍යවේදියා කවුරුන්දැයි නිර්වචනය කරමින්, මාධ්‍ය ආචාරධර්ම පනමමින්, මාධ්‍යවේදියාගේ විනය බලධාරියා ලෙස මාධ්‍ය සමාජයේ සමස්ත ඉරණම ආණ්ඩුවට තීරණය කළ හැකි රාජ්‍ය ආයතනයක් නීතිගත කරන්නට ගන්නා මෙම උත්සාහය අතිශයින්ම බිහිසුණුය. මේ රටේ මාධ්‍ය සමාජය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු‍ම පාර්ශ්වයන් මේ පිළිබඳව ගැඹුරු අවධානයක් යොමුකළ යුතුව තිබේ. මන්ද, මාධ්‍ය නිදහසේ පරිමාව තීන්දු කරන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ වපසරියයි; එනම් ජනතාවගේ අභිමානය රැඳී පවතින නිදහසේ සීමාවයි.