මෝරුන්ට දැල එලන “බදු ශක්ති” ජාතික බදු සතිය


රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීම සහ බදු පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව ගැන කාලයක් තිස්සේ සාකච්ඡා වුව ද මෑත ඉතිහාසයේ ඒ අරබයා ප්‍රයෝජනවත් ක්‍රියාමාර්ග ගත් බවක් අපි නොදුටුවෙමු. මේ ප්‍රශ්නයට අාමන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ සම්බන්ධීකරණයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රජයේ බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන වන සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල සහභාගීත්වය ඇතුව “බදු ශක්ති” නමින් හඳුන්වන බදු අනුකූලතාව සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබේ. එහි සමාරම්භක උත්සවය ජූනි මස 02 වැනි දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ. එම වැඩසටහන හා එහි අරමුණු සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී.එන්. ජයවීර සහ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් කිහිපදෙනකුද සම්බන්ධ කර ගනිමින් ඉරිදා ලංකාදීපය පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවෙහි සටහන මෙසේ ය.

• මොකක්ද මේ බදු ශක්ති ජාතික බදු සතිය වැඩසටහන කියන්නෙ? 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී.එන්. ජයවීර: ජනාධිපතිතුමා රජයේ බදු ආදායම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. රටේ බදු ආදායම ඉහළ නංවාගැනීමට විශාල විභවයක් තියෙන බව පැහැදිලි වෙලා තියෙනවා. ඒ කටයුතු පහසුකරලීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය යටතේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයක් පිහිටුවලා තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවලින් රජයට ලැබෙන බදු ආදායම රජයේ මුළු ආදායමෙන් සියයට 90 කට වැඩියි. මේ බදු ආදායම තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මේ අලුත් කාර්යාංශය පිහිටුවලා තියෙනවා. 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයට අනුව, මේ වසර වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් ට්‍රිලියන 7.1 ක් වෙනවා. ට්‍රිලියන 4.9 ක ආදායමක් බදු සහ බදු නොවෙන මූලාශ්‍රවලින් ලබා ගැනීමට රජය අපේක්ෂා කරනවා. එතකොට රුපියල් ට්‍රිලියන 2.2 ක වෙනසක් තියෙනවා. ඒ මුදල ණය හා වෙනත් ආකාරවලින් ලබාගැනීමට සිදු වෙනවා. ඒ මුදල් ලබා ගැනීමේදී ඉහළ පොලියක් ඇතුළු විශාල වැය බරක් දරන්නට සිදු වෙනවා.

බදු හා බදු නොවන මූලාශ්‍රවලින් අපේක්ෂා කරන රුපියල් ට්‍රිලියන 4.2 ක මුදල අපට තව රුපියල් ට්‍රිලියනයකින් විතර වැඩි කරගන්න පුළුවන් නම් රජයේ වැය බර විශාල වශයෙන් අඩු වෙනවා. ජනාධිපතිතුමා විශේෂයෙන් කියන්නෙ, රජය වෙනුවෙන් බදු ආදායම් එකතු කරන මේ ආයතන තුනට ඒ ඉලක්කයට යන්න පුළුවන් කියලා. ඒ ඉලක්කය සම්පූර්ණ කරන එක තමයි මේ කාර්යාංශයේ අරමුණ. මේ කාර්යාංශය පිහිටුවීමත් සමග බදු පරිපාලනය කාර්යක්ෂමව කරගෙන යෑම වෙනුවෙන් ඒ ආයතන තුනේම මෙහෙයුම් කමිටු පිහිටුවලා තියෙනවා.

• බදු අය කර ගැනීමේදී මේ ආයතනවලට අදාළ අණ පනත්වලින් පැනනගින බාධා තියෙන්න පුළුවන්. ඒ විදිහෙ නීතිමය වෙනස්කම් සමග මේ කාර්යාංශය මගින් බදු පදනම පුළුල් කර ගැනීමට අදාළව ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා ද?

යූ.ඩී.එන්. ජයවීර: අපි දකින, වෙනස් විය යුතු තැන්, මුදල් අමාත්‍යවරයා වෙන ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා. බදු ආදායම එකතු කර ගැනීමේ දී තියෙන ප්‍රායෝගික බාධා ගැන හොඳින්ම දන්නෙ ඒ ඒ දෙපාර්තමේන්තුවල ඉන්න නිලධාරීන්. ඒ නිලධාරීන් සමග කරන සාකච්ඡාවලදී අපි ඒ ප්‍රායෝගික බාධා හඳුනා ගන්නවා. ඒ අනුව කළ යුතු නීතිමය සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා.

• බොහෝ වෙලාවට ප්‍රකාශ වෙන්නේ මේ ආයතන තුනට බදු ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට නොහැකි බව. ඒ ඒ ආයතනවල බදු ඉලක්ක සහ ඒවා සපුරා ගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ: ශ්‍රී ලංකා රේගුවට ලබා දුන් ආදායම් ඉලක්ක ඉක්මවූ මුදලක් 2023 හා 2024 වසරවලදී රජයට ලබා දීලා තියෙනවා. ඒ අනුව, 2023 දී අපේ ආයතනයට ලබා දුන් බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 892 ක්. නමුත් ඒ අවුරුද්දෙ දී රුපියල් බිලියන 975 ක් එකතු කරගන්න අපට පුළුවන් වුණා. 2024 දී ලබා දුන් බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,531 ක්. ඒ වසරේදී අපට රුපියල් බිලියන 1,532 ක් එකතු කරන්න හැකියාව ලැබුණා. 2025 වසරට ලබා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 2,115 ක්. දැනට අපි ඒ ඉලක්කය කරා සාර්ථකව ළඟා වෙමින් ඉන්නවා. අපේ ආයතනයට මේ බදු ආදායම් තව වැඩි කර ගැනීමේ හැකියාව තියෙන බව අපි පිළිගන්නවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය කර ගැනීමට නොහැකි වූ යම් බදු මුදලක් තියෙනවා. යම් නිශ්චිත දිනයක් වනවිට අය කර ගත යුතුව තිබූ, එහෙත් අය කර ගැනීමට නොහැකි වුණු මුදල් මේ වනවිට අය කරමින් යනවා. ඒ මුදලට තවත් මුදලක් එකතු වෙනවා. හිඟ බදු ප්‍රමාණය වැඩි වෙනවා කියන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගෙ කාර්යභාරය හරියට කරනවා කියන එක. බදු ගෙවන්නෙ නැති පිරිස් සොයාගෙන, ඔවුන්ට තක්සේරු නිකුත් කිරීමත් කරනවා. එසේ කිරීමත් සමග අදාළ පුද්ගලයන් අභියාචනා කළොත් එවැනි අවස්ථාවල අදාළ බද්ද අය කර ගැනීම අත්හිටුවනවා. තවත් පිරිසක් ඉන්නවා බදු ගෙවිය යුතු වුවත් විවිධ හේතු මත ගෙවීම කළ නොහැකි. ඒ අය ටික ටික ඒ බදු මුදල් ගෙවමින් යනවා.

2024 දෙසැම්බර් 31 වැනිදා වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුළු හිඟ බදු මුදල රුපියල් බිලියන 1,150 ක්. එයින් රුපියල් බිලියන 974 ක් ‘හෙල්ඩ් ඕවර්’ කරලා තියෙන්නෙ. අපි ඉදිරිපත් කරපු බදු තක්සේරුවලට අභියාචනා කිරීම හේතුවෙන් තමයි ඒ සා මුදලක් හෙල්ඩ් ඕවර් කරලා තියෙන්නෙ. 2024 අවසාන වෙනකොට ඇත්තටම අය කර ගත යුතුව තිබුණු බදු මුදල රුපියල් බිලියන 176 ක්. ඒ මුදලෙන් රුපියල් බිලියන 5.6 ක් 2025 මාර්තු 31 වන විට එකතු කරගෙන තියෙනවා. ඊට අමතරව එම මුදල රුපියල් බිලියන 19.8 කින් අඩු කරගෙන තියෙනවා. ඒ අනුව, 2025 මාර්තු 31 වනවිට එකතු කළ යුතුව තිබුණු සමස්ත මුදල රුපියල් බිලියන 150.6 ක්. මේ මුදල ඇතුළෙ හිඟ බදු මුදල් වගේම දෙපාර්තමේන්තුවෙන් පනවපු දඩ සහ පොලී මුදලුත් තියෙනවා. මෙවර අයවැයේ ඇතුළත් යෝජනාවකට අනුව, 2022 සහ 2023 දක්වා තියෙන හිඟ බදු මුදල් අදාළ සංශෝධනය ක්‍රියාත්මක වුණු දා ඉඳන් මාස හයක් ඇතුළත ගෙවනවා නම් හිඟ බදු මුදල් මත අය කරන පොලී මුදල ඉවත් කෙරෙනවා. පොලී ගෙවීමකින් තොරව හිඟ බදු මුදල් ගෙවීමට අවස්ථාව මේ මාස හයේදී ලැබෙනවා.

• බදු පදනම පුළුල් කිරීමේ දී බදු දැලෙන් එපිට ඉන්න පාර්ශ්ව බදු දැලට ගෙන ඒමේ වැදගත්කම නිතර අවධාරණය වෙනවා. මේ බදු ශක්ති වැඩසටහනෙන් මේ කාරණයට අවධානය යොමු කරන්නෙ කෙසේ ද?

යූ.ඩී.එන්. ජයවීර: මේ වැඩපිළිවෙළේදී විශාල කාර්යභාරයක් පැවරෙන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත්තොත්, බදු අනුකූලතාව ඉතාම පහළ මට්ටමක තියෙන්නෙ. රජයේ බදු ආදායම වැඩි කර ගැනීමට නම් බදු අනුකූලතාව ඉහළ නංවා ගැනීම වැදගත්. ලංකාවේ හුඟක් බදුගෙවන්නන් දැනුවත් වෙලා නෑ බදු වාර්තාවක් භාර දෙන්න තමන් වගවෙලා ඉන්නවා කියලා. 

ආදායම් බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් තිබුණත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් ඉන්නෙ අඩු ප්‍රමාණයක්. ඒ නිසා නිලධාරීන්ට සියලුම බදු ලිපිගොනු කෙරෙහි අවධානය යොමු කරන්න අමාරුයි. මේ වැඩසටහන ඔස්සේ අපි රටම දැනුවත් කරනවා බදු වාර්තාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දෙන එක යුතුකමක් කියලා. ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්ම යොදවනවාය යන තේමාවෙන් තමයි මේක කරන්නෙ. බදු වාර්තා අනුකූලතාව ඉහළ නැංවීම මගින් බදු ගෙවීමත් වැඩි වෙනවා. හිඟ බදු මුදල් ගෙවන්න තියෙන අයට අපි දැනුම් දෙනවා ඒ බදු මුදල් ඉක්මනට ගෙවන්න කියලා. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවට වඩා, තමන් ගෙවිය යුතු බදු මුදල නිසි වෙලාවෙ ගෙවලා බදු වාර්තාව භාර දීම වැදගත් කියන පණිවුඩය මේ ඔස්සේ ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා.

බදු පදනම පුළුල් කිරීම ගැනත් මේ වැඩසටහනෙන් අවධානය යොමු කරනවා. බදු ගෙවිය යුතු ආදායම් මට්ටමේ සිටින අය, ඒ ඒ බදු මුදල් ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුය කියන ඉල්ලීම අපි ජනතාවගෙන් කරන අතරේ, ජනතාව ගෙවන බදු මුදල් රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන බවට රජය වග වෙනවාය යන පණිවුඩයත් ලබා දෙනවා. මේ විදියට බදු ආදායම් ඉහළ නංවාගැනීම තමයි මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නෙ.

• බදු පදනම පුළුල් කළ යුතුය කියන මාතෘකාවට අදාළව බදු ව්‍යුහය සරල විය යුතු බවත් බදු එකතු කරන ආයතනවල කටයුතු ඩිජිටල්කරණය කළ යුතු බවත් නිතර ප්‍රකාශ වෙනවා. මේ වැඩසටහනෙන් මේ කාරණා ගැන අවධානය යොමු කරන්නෙ කොහොම ද?

යූ.ඩී.එන්. ජයවීර: ඒක හොඳ ප්‍රශ්නයක්. මේ කාරණාවලදී වැඩිමනත් අවධානයක් යොමු වෙන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. ඩිජිටල්කරණයට අදාළව ගත්තොත්, ඒ දෙපාර්තමේන්තුවේ දැනටමත් රැමිස් පද්ධතියේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. නමුත් බදු නීතිවල තියෙන සංකීර්ණතාවලට ගැළපෙන විදියේ ක්‍රමවේදයක් හදන එක අමාරුයි. ඒ නිසා මුලින්ම බදු නීති සරල කරගන්න ඕනැ. අපේ කාර්යාංශයේ තවත් අරමුණක් තමයි බදු ව්‍යුහය සරල කරලා බදු අනුකූලතාව ඉහළ නංවාගැනීම. ඊට අදාළ යෝජනා අපි ඉදිරිපත් කරමින් යනවා.

• මේ ආයතන තුනේ අණ පනත්වල කළ යුතු සංශෝධන හඳුනා ගෙන ද තියෙන්නෙ?

යූ.ඩී.එන්. ජයවීර: මෙහෙයුම් කමිටු ඔස්සේ ඒ දෙපාර්තමේන්තුවල ඉන්න නිලධාරීන් ඒ කටයුතුවලට මැදිහත් වී ඉන්නවා. ඒ නිලධාරීන්ගේ සහායත් ලබාගෙන කළයුතු සංශෝධන අපි ඉදිරියේ දී ඉදිරිපත් කරනවා.

සීවලී අරුක්ගොඩ: රේගුව පැත්තෙන් ගත්තොත්, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රේගු නීතියේ වෙනස් විය යුතු තැන් හඳුනාගැනීම සඳහා කමිටුවක් පිහිටුවලා තියෙනවා. කළ යුතු ඇතැම් සංශෝධන අපි දැනටමත් හඳුනාගෙන තියෙනවා.

• පසුගිය වසරේදී පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා, 2023 අවසන් වෙද්දී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1.1 ක හිඟ බදු මුදලක් මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය කරගෙන නැති බව. ඒ මුදල් අය කරගැනීමේ කටයුතු සිදු වෙනවා ද? 2024 අවසන් වෙද්දි අය කර නොගත් මුළු හිඟ බදු මුදල් ප්‍රමාණය කොපමණ ද?

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ: ඔය හිඟ බදු මුදල් අය කර නොගැනීම සම්බන්ධ ප්‍රශ්නය තිබුණෙ ප්‍රධාන මත්පැන් සමාගම් දෙකක් සම්බන්ධයෙන්. ලංකාවේ දැනට ක්‍රියාත්මක මට්ටමේ තියෙන්නෙ මත්පැන් සමාගම් 23 ක් පමණයි. අර සමාගම් දෙකෙන් එක සමාගමක් ඔවුන්ගෙ හිඟ බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළා. අනිත් සමාගම තමයි මෙන්ඩිස් සමාගම. ඔවුන් බදු මුදල් ගෙවීම පැහැර හැරිය නිසා මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටෙව්වා. ඒ අනුව එම සමාගමේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය නතර වෙලා තියෙන්නෙ. යම් ආයතනයක් නොගෙවා සිටින හිඟ බදු මුදලක් වෙනුවෙන් හැම මාසෙකම සියයට තුනක් එකතු වෙනවා.

යූ.ඩී.එන්. ජයවීර: බදු එකතු කර ගැනීමට අදාළව, සුරාබදු ආඥා පනතෙ පැහැදිලිවම බාධාවක් තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යම් පාර්ශ්වයක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදලක් තිබුණොත්, අදාළ පාර්ශ්වයට අයත් බැංකු ගිණුමක් පවත්වා ගෙන යන බැංකුවට දැනුම් දෙන්න පුළුවන් ඒ මුදල් ප්‍රමාණය දෙපාර්තමේන්තුවට එවන්න කියලා. නැත්නම් වත්කම් විකුණලා අදාළ බදු මුදල් අය කරගන්න පුළුවන්. නමුත් සුරාබදු ආඥා පනතේ හිඟ බදු අය කරගැනීමේ නීතිමය ප්‍රතිපාදන ඇතුළත් නෑ. අපි ඒක හඳුනාගෙන තියෙන්නෙ. ඒ ප්‍රතිපාදන ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගේන්න කටයුතු සිදු වෙනවා.

• බදු දැලෙන් එපිට සිටින ඇතැම් වෘත්තිකයනුත් මේ බදු දැල ඇතුළට ගේන ප්‍රතිපාදන මේ බදු ශක්ති වැඩසටහනෙන් යෝජනා කරනවා ද?

යූ.ඩී.එන්. ජයවීර: දේශීය ආදායම් පනතට අලුතින් නිකුත් කරපු ගැසට් නිවේදනයක් තියෙනවා. ඒකට අනුව, වාර්ෂික ආදායම ලක්ෂ 18ට වැඩි නම් ඒ අය ආදායම් බද්දට ලියාපදිංචි වෙන්න ඕනැ. බද්දට යටත් වෙන ආදායම් සීමාවෙ නැති වුණත්, ව්‍යාපාර ලියාපදිංචි කරලා තියෙන අයත් මේ බද්දට ලියාපදිංචි වෙන්න ඕනැ. ඉංජිනේරු, වෛද්‍ය, නීතිඥ ආදී සියලුම වෘත්තීන්වල අයත් මේ ආදායම් බද්දට ලියාපදිංචි විය යුතු බව ඒ ගැසට් නිවේදනයෙහි දැක්වෙනවා. මේ පණිවුඩයත් නිවැරදිව සමාජගත කිරීම මේ වැඩපිළිවෙළෙහි එක් අරමුණක්.

• සමහර වෘත්තිකයන් උපයන ආදායම් නිවැරදිව වාර්තා වෙන්නෙ නෑ. බදු එකතු කරන ආයතනවලට මේක ප්‍රශ්නයක් නොවෙයි ද?

යූ.ඩී.එන්. ජයවීර: අලුත් දේශීය ආදායම් පනතට කරලා තියෙන සංශෝධන අනුව සියලු බැංකුවල තියෙන තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එවන්න ඕනැ. ඒ නිසා ඒ අය බැංකුවක් මගින් ගනුදෙනුවක් කරනවා නම් ඒ සියලු තොරතුරු දෙපාර්තමේන්තුවට එනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට සම්බන්ධ කරලා තියෙන්නෙ. මේ දෙපාර්තමේන්තු මගින් යම් ගනුදෙනුවක් කරනවා නම් ඒ තොරතුරුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එනවා. මේ සියලු තොරතුරු පාවිච්චි කරලා පුද්ගල ආදායම් බදු ලිපිගොනු වැඩිකරගෙන තියෙනවා.

• බදු එකතු කරන ආයතනවල ඉන්න ඇතැම් නිලධාරීන් දූෂණය නමැති වරද කරන අවස්ථා මාධ්‍යයෙන් අපි දකිනවා. මේ තත්ත්වය තුරන් කිරීම කෙරෙහිත් මේ වැඩපිළිවෙළින් අවධානය යොමු කරනවා ද?

යූ.ඩී.එන්. ජයවීර: ඒ වෙනුවෙන් හැම ආයතනයකම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ මැදිහත්වීම මත විශේෂ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවලා තියෙනවා. මේ ආයතනවල ඉන්න නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වෙන පැමිණිලි ඒ ඒකක මගින් විමර්ශනය කරලා අල්ලස් කොමිසමට ඒවා වාර්තා කරනවා. 

සීවලී අරුක්ගොඩ: රේගුවෙ ස්ථාපිත කරලා තියෙන ඒ අභ්‍යන්තර කටයුතු ඒකකයට රේගු නිලධාරීන් සම්බන්ධ පැමිණිලි ක්‍රම හතකින් ඉදිරිපත් කරන්න ජනතාවට පුළුවන්. ඒ විදියට පැමිණිලි ලැබුණු ගමන් අපි අදාළ තැනට ගිහින් ඒවා විසඳනවා. දැනට අධ්‍යක්ෂවරුන්ගේ මට්ටමේ සිට ඉහළ නිලධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා.

යූ.ඩී.එන්. ජයවීර: දේශීය ආදායම් පනතට අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා බදුගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත යුතුයි. බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කිරීමේදී, වාහනයක් ලියාපදිංචි කිරීමේදී, පළාත් පාලන ආයතනයකින් ඉඩම් සැලැස්මක් ලබාගැනීම ආදී විශේෂ කටයුතුවලදී ටින් අංකය ඉදිරිපත්කිරීම අත්‍යවශ්‍යයි. එය ළඟදීම නීතියක් බවට පත් වෙනවා. ටින් අංකයක් ලබාගැනීමයි බදු ලිපිගොනුවක් විවෘත කිරීමයි කියන්නෙ දෙකක්. මේ වෙද්දි දේශීය ආදායම් දෙපාර්තම්න්තුව විසින් විවිධ මූලාශ්‍රවලින් ගත්ත තොරතුරු පාවිච්චි කරලා මිලියන 10.5 කට වැඩි ටින් අංක නිකුත් කරලා තියෙනවා. තමන්ට ටින් අංකයක් ලැබිලා තියෙනවාද කියලා ඕනැ කෙනෙකුට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් පරීක්ෂා කරන්න පුළුවන්.

සමන් ශාන්ත: 2023 මැයි මාසෙ නිකුත් කරපු ගැසට් නිවේදනයට අනුව කාණ්ඩ 14 කට අයත් සියලු දෙනාම ටින් අංක ලබාගත යුතුයි. ඊට අමතරව, අවුරුදු 18 සම්පූර්ණ කරන සහ ඊට වැඩි සියලු දෙනා 2024 ජනවාරි පළමු වැනිදා සිට ටින් අංක ලබා ගත යුතුයි. නමුත් ටින් අංක ලබා ගත් පිරිසෙහි යම් අඩුවක් තිබුණු නිසා අපි විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු හොයාගෙන මිලියන 10 කට වැඩි ප්‍රමාණයකට ටින් අංක නිකුත් කරලා තියෙනවා. බැංකු තැන්පතු මත අය කරනු ලබන රඳවාගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කළා. යම් කෙනෙකුගෙ වාර්ෂික ආදායම රුපයල් ලක්ෂ 18 ඉක්මවා නොයන්නේ නම් අදාළ පුද්ගලයාට බැංකුවෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් රඳවා ගැනීමේ බද්ද අඩු කරන්න එපා කියලා. ඒ ඉල්ලීම කරන්නත් ටින් අංකයක් තිබීම අනිවාර්ය වී තිබුණා.

ඉදිරියේදී ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් සහ වෙනත් ඕනෑම ගිණුමක් විවෘත කිරීමේ දී ටින් අංකය අත්‍යවශ්‍ය වෙනවා. පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් අනුමත කර ගන්නා විට, මෝටර් වාහනයක් ලියාපදිංචියේදී, බලපත්‍රය අලුත් කිරීමේ දී, ඉඩමක හිමිකමක් වෙනත් කෙනෙකුගේ නමට පැවරීමේදී, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, සමාගමක කොටස් වෙන පාර්ශ්වයකට පැවරීමේදී, ක්‍රෙඩිට් කාඩ්පතක් අයැදුම් කිරීමේදී ටින් අංකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙන නීති ඉදිරියේදී ඉදිරිපත් කරනවා. මේ සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ළඟදීම ගැසට් කරයි කියලා හිතනවා. මේ වෙද්දි ලංකාවේ තියෙන සියලුම බැංකු සහ මූල්‍ය ආයතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඒ සියලු තොරතුරු අපිට ලැබෙනවා. මේ ඔක්කොම නීතිගත වෙලා එද්දි කෙනෙකුට තමන්ගෙ ආදායම හංගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. Global Forum වැඩසටහන ඔස්සේ ඉදිරියේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලෝකයේ අනිත් රටවල් සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ රටවල තියෙන වත්කම් පිළිබඳ තොරතුරුත් අපිට ගන්න පුළුවන් වෙනවා. 

සාකච්ඡා කළේ  - උපුල් වික්‍රමසිංහ