
2004 වනවිට කොළඹ පාතාලය සිංහල, දෙමළ හා මුස්ලිම් යනුවෙන් කොටස් 3කට බෙදී තිබුණි. සිංහල පාතාලය මෙහෙවූයේ ප්‍රින්ස් කොලම් ය. දෙමළ පාතාලය මෙහෙයවූයේ සින්නයියා ගුණසේකරම් හෙවත් කිඹුලාඇළ ගුණා ය. මුස්ලිම් පාතාලය මෙහෙයවූයේ අයුබ් ඛාන් ය.
මේ කණ්ඩායම් තුන එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කළේ නැත. පාතාල කණ්ඩායම් තුනම ප්‍රබල මට්ටමක පැවතීම ඊට හේතු විය. දෙමළ පාතාලය එල්.ටී.ටී.ඊ.ය සමග සෘජු සබඳතා පැවැත්වූ අතර, මුස්ලිම් පාතාලය ද එම සංවිධානයෙන් අවි ආයුධ මිලදී ගැනීම් සිදුකළ බවට තොරතුරු පැවතිණි. විශේෂයෙන් කිඹුලාඇළ ගුණා සහ එල්.ටී.ටී.ඊ.ය අතර පැවති සබඳතාව කොතෙක්ද යත්, කිඹුලාඇළ ගුණා 1999 දෙසැම්බර් 18දා කොළඹ නගරසභා පිටියේ පැවති ජනාධිපතිවරණ රැලියක් අතරතුර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනයට තැත්කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට නවාතැන් හා ආධාර අනුබල ලබාදීමේ සැකකරුවෙක් ද ලෙස ද නම්කරනු ලැබීය.
කිඹුලාඇළ ගුණාගේ දෙවැනි පෙළ නායකයා ලෙස කටයුතු කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ සින්නයියා සුරේන්ද්‍රන් නොහොත් විජේ නැමැත්තාය. කිඹුලාඇළ ගුණාගේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ මත්කුඩු ව්‍යාපාරයයි. සිය ව්‍යාපාරය තමන්ට රිසි ලෙස ව්‍යාප්ත කරමින් සිටි ඔහුට එරෙහිවන්නන් ඝාතනය කිරීමට ඔහු දෙවරක් නොසිතුවේය. එසේම තමන්ගෙන් කුඩු ලබාගෙන මුදල් වංචා කරන්නන්ට ද ඔහු ගෙන් කිසිදු සමාවක් හිමි නොවීය. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් භාණ්ඩ රැගෙනවිත් බෙදාහැරීමේ අනීතික ව්‍යාපාරය ද කිඹුලාඇළ ගුණා ජයටම කරගෙන ගියේ සිය ඉන්දියානු සබඳතා ප්‍රයෝජනයට ගනිමිනි. එසේම තම බල ප්‍රදේශයෙන් පිටතින් පැමිණ කප්පම් ගැනීමට තැත් කළහොත් ඔවුන්ට ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. එසේම ගුණා විසින් කප්පම් ගෙවිය යුතු බවට නම් කරන අයවලුන් කප්පම් නොගෙවා සිටියහොත් ඔහුගෙන් ගැලවීමක් නොවීය. විශේෂයෙන් කොළඹ උතුර කොට්ඨාසයට අයත් ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, දෙමටගොඩ, මෝදර, වෙරළබඩ බ්ලුමැන්ඩල්, මට්ටක්කුළිය, හා කොළඹ වරාය ආදීපොලිස් බල ප්‍රදේශ තුළ සිය අණසක පතුරවමින් සිටි කිඹුලාඇළ ගුණා නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටියහ.
තම කණ්ඩායමේ සිටි වෙඩික්කරුවන් ඉලක්කය සපුරා ගැනීමේ දී දුර්වල බවට කිඹුලාඇළ ගුණා තුළ පැවති මතය නිසා ඔහු විසින් කොට ගාමිණී නම් පාතාල කණ්ඩායමේ සිටි ප්‍රධාන වෙඩික්කරුවන් දෙදෙනා වූ බ්ලුමැන්ඩල්හි පදිංචිව සිටි මොහොමඩ් රිස්වාන් හෙවත් ජින්නා සහ පූගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නිලංග කුමාර තම කණ්ඩායමට බඳවා ගනු ලැබුවේ, වැටුප් ලෙස අතිවිශාල මුදලක් ගෙවීමේ පදනම මතය. මොවුන් දෙදෙනා කොට ගාමිණී කල්ලියේ සිටිනා සමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් මෙන්ඩිස් ඝාතනයට ද සම්බන්ධ බව පැවසේ. ඔවුන් දෙදෙනා සිය කණ්ඩායමට එක්කර ගැනීමත් සමග කිඹුලාඇළ ගුණා ගේ ඝාතන හා බියවද්දා කප්පම් ගැනීම් හා දරුණු ප්‍රහාර එල්ල කරමින් ජනතාව භීතියට පත්කිරීම් කිහිප ගුණයකින් ඉහළ නැංවුණි.

එසේම කිරුළපන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වත්තල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් රු.ලක්ෂ 70ක කප්පම් ලබාගැනීම ද කිඹුලාඇළ ගුණාගේ නියමයෙන් සිදුකරන ලද්දේ මෙම දෙදෙනා බව පොලිසියට අනාවරණය වී තිබුණි.
මෙවන් පසුබිමක පාතාලය මර්දනය සඳහාම එවක පොලිස්පතිගේ නියමයෙන් පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කු ගේ (චන්දන කොඩිතුවක්කු වර්තමානයේ මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරයි.)මූලිකත්වයෙන් යුතුව අරඹන ලද විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කිඹුලාඇළ ගුණාගේ කල්ලියෙන් පීඩාවටපත් පිරිසක ගෙන් ඔවුන් පිළිබඳතොරතුරු රැසක් ලැබී තිබුණි.
එම තොරතුරු මගින් කියැවුණේ කිඹුලාඇළ ගුණාගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්කරුවන් දෙදෙනා ටවුන් ඒස් වර්ගයේ මෝටර් රථයකින් මෝදර ප්‍රදේශයේ නිතර සැරිසරන බවය.
ඒ අනුව කොළඹ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී චන්දන කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායමක් මෝදර ප්‍රදේශයට යනු ලැබුවේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ අරමුණෙනි. නමුත් ඔචුන් එදින එම ප්‍රදේශයේ සැරිසැරීමක් සිදුනොකළත් ලැබුණු ඔත්තුව පිළිබඳ විශ්වාසයෙන් තවදුරටත් ප්‍රදේශය නිරීක්ෂණය කරනු ලැබීය.
කෙසේ නමුත් රාත්‍රි 9.00ට පමණ පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කුගේ දුරකථනයට ඇමතුමක් ලැබුණි. ඉන් කියවුණේ අදාළ පාතාල සාමාජිකයන් දෙදෙනා යම් අපරාධයක් සිදුකිරීම සඳහා මෝදර සිට කඩුවෙල බලා යන බවය. එසේම ඔවුන් ගමන් කරන්නේ අවිස්සාවේල - කොළඹ පැරණි මාර්ගයේ බවත්, ඔවුන් සන්නද්ධව සිටින බවත්, ඉන් කියවුණි. මෙහි විශේෂත්වය වන්නේ ජින්නා සහ නිලංග කිඹුලා ඇළ ගුණාගේ කල්ලිය හා සම්බන්ධවීමෙන් පසු ගුණාගෙන් කැපීගිය හිටපු සාමාජිකයන් විසින් මොවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු රැස්කර පොලීසිය වෙත ලබාදීමය. මෙය පොලිසිය නොමග යවා සැලසුම් සහගතව පොලිසියට ප්‍රහාරයක් එල්ලකිරීමේ ක්‍රියාවක් විය හැකි වුවත්, අවදානම තමන් දරාගනිමින් අදාළ ස්ථානයට ගොස් මොවුන් අත්අඩංගුවට ගතයුතු යැයි සිතූ පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කු සිය ප්‍රධානීන්ව දැනුවත් කර රාත්‍රි 10 පමණ වනවිට කඩුවෙල නගරයේ රාජ්‍ය බැංකුවක් අසළටවී රැකවල්ලාගෙන බලා සිටියේය.

තමන්ට ලැබුණු ඔත්තුව පිලිබඳව විශ්වාස කළ පොලිස් පරීක්ෂක චන්දන කොඩිත්වක්කු සිය කණ්ඩායම සමග තවත් විනාඩි 50ක් පමණ එතැනටවී සිට තීක්ෂණ දෑසින් බලාසිටන්නට විය. එලෙස සිටින විට අඳුර කපාගෙන අධික වේගයෙන් ගමන් ගන්නා මෝටර් රථයක් තමන් පසුකරගෙන ඉදිරියට යාමට පැමිණෙනු නිරීක්ෂණය කරනු ලැබුණි. ඒ අනුව පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකු අත දමා මෝටර් රථය නවතන ලෙසට සන් කළත්, එය මායිම් නොකල වෑන් රථයේ රියදුරු වේගය තවත් වැඩිකරමින් එම ස්ථානයෙන් පලායන්නට විය.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම ද කැබ් රථයක නැගී අදාළ වෑන් රථය හඹා යන්නට වූයේ, ත්‍රාසජනක සිනමා පටයක දර්ශන මෙනි. පොලිස් කැබ් රථයට වෙට්ටු දමමින් ගමන් කල වෑන් රථය නවගමුව ඉන්ධන පිරවුම්හල අසලදී ඉස්සර කිරීමට පොලිස් කැබ් රථය සමත් වනවාත් සමග වෑන් රථය දෙසින් වෙඩි වර්ෂාවක් පොලිස් කැබ් රථය දෙසට එල්ලවන්නට විය. වෙඩි ප්‍රහාර මධ්‍යයේ වෑන් රථය හරස් කර පොලිස් ජීප් රථය නවත්වනු ලැබූ අතර, වෑන් රථයෙන් බැසගත් අයෙක් පොලිස් රථය දෙසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් විය. ඒ සමගම ක්‍රියාත්මක වූ පොලිසිය බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට තැත්කළ පුද්ගලයා දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ, තම ආරක්ෂාව වෙනුවෙනි. ඒ සමගම වෑන් රථය දෙසින් තවත් වෙඩි ප්‍රහාරයක් පොලිසිය දෙසට එල්ල වූ අතර, පොලිසියට ඊට ප්‍රචාර දක්වනු ලැබීය. ඒ අතර වෑන් රථයේ සිටි අයෙක් පොලිසිය දෙසට වෙඩිතබමින් අඳුරේම පැනයන ආකාරයක් පොලිසියට නිරීක්ෂණය විණි.
අනතුරුව පොලිසිය වෑන් රථයට සමීපව නිරීක්ෂණය කිරීමේදී දෙදෙනකුට වෙඩි වැදී වැටී සිටිනු දක්නට ලැබුණි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායම තුවාලකරුවන් දෙදෙනා කඩිනමින් නවගමුව රෝහල වෙත රැගෙන යනු ලැබුවත්, ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව වෛද්‍යවරු තහවුරු කළහ.
වෙඩි හුවමාරුව සිදුවූ වෑන් රථය අසළ තිබී අත් බෝම්බයක් සහ ගිනි අවියක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර, වාහනයේ තිබූ තවත් ටී 56 ගිනි අවියක් පැනගිය පුද්ගලයා රැගෙන ගොස් ඇති බව හෙළි වුණි.
මියගිය පාතාල සාමාජිකයන් දෙදෙනා ගමන්ගත් වෑන් රථයේ අංක තහඩුව ද ව්‍යාජ එකක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ අතර වැඩිදුර විමර්ශනවලදී මියගිය නිලංග නැමැත්තා විමුක්ති සඳුන් නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සකසා භාවිත කරමින් සිටි බවද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය.
එසේම කිඹුලාඇළ ගුණාගේ මෙහෙයවීමෙන් මොවුන් විසින් ඝාතන 7ක් පමණ සිදුකර ඇති බවද පරීක්ෂණවලදී හෙළිවූ අතර, කිඹුලාඇල ගුණා විසින් සිදුකර ඇති ඝාතන සංඛ්‍යාව කොතෙක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් සිය සමීපතම වෙඩිකරුවන් දෙදෙනා ඝාතනයවීමෙන් පසු තමන් අත්අඩගුවට ගැනීමට පොලිසිය තමා පසුපස එන බව වටහා ගත් කිඹුලාඇළ ගුණා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැනගොස් තිබුණි. එතරම් බියක් ඔහුට පොලිසිය සම්බන්ධයෙන් ඇතිවීමත් සමග මෙරට තුළ ගතකළ සුඛෝපභෝගි දිවිය ද අමතක කර දමා පලායන්නට ඔහු දෙවරක් නොසිතීය. කෙසේ නමුත් ඉන්දියාව තුළ ද මත්කුඩු ජාවාරම් සිදුකිරීම නිසා 2007දී ඉන්දියානු මත්ද්‍රව්‍ය මධ්‍යම කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසර 5ක සිරදඬුවමකට ලක්ව සිට 2012දී නිදහස් වී තිබුණි.
කෙසේ නමුත් ඔහුට අපරාධමය ජීවිතයෙන් මිදීමට නොහැකි නිසා ඉන්දියාවේ චෙන්නායි හි වලසරවාක්කම් හිදී යළිත් 2021 දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
නිරෝෂාන් ප්‍රේමරත්න


