ආණ්ඩුවේ සහන පැකේජය මායාවක්ද


දිට්වා සුළි කුණාටුව රටෙන් ඉවතට ගොස් සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් එය ඇති කළ විනාශයෙන් රට ගොඩගන්නට සති ගණනක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා මාස සහ අවුරුදු වලින් කාලය ගත විය හැකි ය. විනාශය ගණනය කිරීමත් පහසු නැත. අහිමි වූයේ ජීවිත ය. ඒවා යළි ගත නොහැකි ය. විනාශ වූයේ දේපොළ ය. ඒවා නැවත ඉදි කළ හැකි ය. දැන් අපි රටක් වශයෙන් ඒ කර්තව්‍යයට කරගනිමින් සිටිමු. පාස්කු ප්‍රහාරයේ, කොවිඩ් වසංගතයේ සහ ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් හෙම්බත් වූ ලංකාවේ ආර්ථිකයට මේ සා විනාශයක් තනිව දරා ගත නොහැකි ය. ඒ නිසා රජය දෙස් විදෙස් ආධාර පරිත්‍යාග නිල වශයෙන් භාර ගැනීමට Rebuilding Sri Lanka නමින් වැඩසටහනක් ද ආරම්භ කර තිබේ. 

ආපදාවෙන් හානි වූ, විනාශ වූ දේපොළ සහ ගොවි බිම්වලට ලබා දෙන වන්දි මුදල් ගැන ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේ ය. රුපියල් බිලියන 50 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් තවත් රුපියල් බිලියන 22.2 ක් ද ඇතුළුව රුපියල් බිලියන 72.2 ක් ඉදිරි දින 25 ක කාලයේ දී වියදම් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීවේ ය. ආපදාවෙන් වූ සමස්ත ආර්ථික අලාභය ගැන නිශ්චිත දත්ත දැක්වීමක් මේ දක්වා සිදුව නැතත් ඒ ඒ අංශවලට විණි යැයි උපකල්පනය කළ හැකි අලාභ දත්ත මත ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වන්දි පැකේජයේ ඇතුළත් ගණන් හිලව් සංසන්දනාත්මක විමසුමකට බඳුන් කරමින් සකස් කළ ලිපියක් මෙසේ ය. අදහස් දැක්වීම මහාචාර්ය වසන්ත අතුකෝරළගෙනි.

වසර 1957 න් පසු රටට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය හැටියට  මෙවර උද්ගත වූ ගංවතුර ආපදාව හැඳින්විය හැකි ය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යූඑන්ඩීපී) නිවේදනය කර ඇති පරිදි මෙම ව්‍යවසනයෙන් ලංකාවේ භූමියෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් යට වී තිබේ. ජනගහනයෙන් සියයට 10 ක පිරිසක් එනම් මිලියන 2.3 ක පමණ ජනතාවක් මෙයින් යම් ආකාරයක පීඩාවකට පත්වූ බවත් නාය යෑම් 1200 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. රටේ ගොඩනැගිලිවලින් 720,000 කට යම් බලපෑමක් සිදු වූ බව ද එම වාර්තාව කියයි. ඒවා අතර රෝහල් ගොඩනැගිලි 243 ක් ඇති බව ද එහි සඳහන් ය. 

මෙම ව්‍යසනයෙන් වූ හානිය අංශමය වශයෙන් සැලකීමේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල වූ බව පැහැදිලි ය. මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 9 කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කෙරෙන අතර තේ, රබර්, පොල් හැර සෙසු අතුරු භෝග තවත් හෙක්ටයාර් ලක්ෂයක පමණ භූමියක වගා කෙරේ. මෙම ගංවතුරෙන් මේ වගාවන් සම්පූර්ණයෙන් ම විනාශ නොවුණත් යම් බලපෑමක් එල්ල වූ බව බැහැර කළ නොහැකි ය. එයින් නොනැවතී කර්මාන්ත හා සේවා අංශවලට ද මෙහි බලපෑම් විහිද තිබේ. ඒ අනුව මේ ව්‍යසනයෙන් ලංකා ආර්ථිකයට විශාල හානියක් සිදු විය. මේ ස්වාභාවික අපදාවෙන් පීඩාවට පත් ජනතාව සහ අංශ නඟාසිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් සහන පැකේජයක් ප්‍රසිද්ධ කරනු ලැබී ය.

ඒ අනුව හානි වූ ධාන්‍ය වගා හෙක්ටයාර් එකක් වෙනුවෙන් රුපියල් 150,000 ක් ද එළවළු ගොවි බිම් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ දෙකක් ද විනාශ වී ඇති සත්ව ගොවිපළක් සඳහා රුපියල් ලක්ෂ දෙකක් ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා විනාශ වී ඇත්නම් ඒවාට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද විනාශ වූ ධීවර බෝට්ටුවකට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් ද ගෙවීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කීවේ ය. එමෙන් ම මේ ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් දරුවකුට රුපියල් 25,000 ක් ද හානි වූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් ද මුළුමනින් ම විනාශ වූ නිවෙසක් සඳහා රුපියල් ලක්ෂ 50 ක් ද පදිංචිව සිටින ඉඩමෙන් සහ නිවෙසෙන් ඉවත් කෙරෙන පවුලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 ක් ද ආපදාවෙන් මිය ගිය එක් අයකු සඳහා රුපියල් මිලියනයක් වශයෙන් ද මුදල් ගෙවන බවත් එහිදී ජනාධිපතිවරයා හෙළි කළේ ය. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මේ මස 10 වැනි දින නිකුත් කරන ලද තත්ත්ව වාර්තාව අනුව මෙම ව්‍යසනයෙන් පවුල් 524,678 කට බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් පුද්ගලයෝ දහ අට ලක්ෂ දාහතර දහස් හාර සිය විසි එකක් සිටිති. එදින වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 639 ක් බවත් අතුරුදන් පුද්ගලයන් ගණන 193 ක් බවත් එහි දැක්වේ. පූර්ණ වශයෙන් හානි වූ නිවාස 5,346 ක් ද අර්ධ වශයෙන් හානි වූ නිවාස 86,245 ක් ද වාර්තා වෙන බවත් එම වාර්තාව කියයි. සුරක්ෂිත මධ්‍යස්ථානවල 85,351 ක් රැඳී සිටිති.

මේ ආපදාවෙන් සිදු වූ හානිය අතිවිශාල ය. එයින් ජනජීවිත හා රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට නොයෙක් පාර්ශ්ව ආධාර කරමින් සිටියි. ඒ අනුව Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 1893 ක් මේ වෙද්දී බැර වී ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා පසුගියදා නිවේදනය කළේ ය. වසර 2026 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළේත් රුපියල් බිලියන 1,350 ක මුදලකි. එම මුදල සමග සැසඳීමේදී යටකී අරමුදලට ලැබී ඇති මුදල විශාල අගයකි. කඩාවැටුණු ආර්ථිකය ගොඩනැංවීම සඳහා එම මුදල් යෙදවීමේ හැකියාව තිබේ.

සහන පැකේජය දෙන්න රුපියල් බිලියන 380 ක් අවශ්‍යයි

එසේ වුවත් මේ ආපදාවෙන් ආර්ථිකයට කොපමණ හානියක් වී ඇත්ද යන්න ගැන මෙතෙක් නිල ගණනය කිරීමක් කර නැත. එම හානි වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් ද යන්න පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කිරීමත් පහසු නැත. එහෙත් දළ නිමානයන් සැලකුවහොත් රුපියල් බිලියන 380 කට ආසන්න මුදලක් සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. එම ගණනය කිරීමේ දී මවිසින් නිර්ණායක කිහිපයක් සලකා බලන ලදී. හානි වූ නිවසක් පිරිසුදු කිරීමට රුපියල් 25‌,000 ක මුදලක් ද නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලට ගැනීමට රුපියල් 50,000 ක් ද ලබා දෙන බව රජය දැනටමත් නිවේදනය කර ඇත. ඉහත උපුටා දැක්වූ ආකාරයට මේ ව්‍යසනයෙන් නිවාස 720,000 කට බලපෑම් එල්ල වී ඇති අතර නිවාස පිරිසුදු කිරීමට සහ ගෘහ භාණ්ඩ මිල දී ගැනීමට ලබා දෙන මුදල්වල එකතුව වන රුපියල් 75,000 න් එම නිවාස සංඛ්‍යාව වැඩි කළ විට ලැබෙන පිළිතුර රුපියල් බිලියන 54 කි.

අවතැන් වූ පවුලකට රුපියල් 25,000 බැගින් මාස තුනක් ද රුපියල් 50,000 බැගින් මාස තුනක් දක්වා කුලී නිවාස මුදලක් ද ලබා දීමට යෝජනා කෙරිණ. කුලී නිවාස මුදල මාස හයක් දක්වා දීර්ඝ කරන බව ද ප්‍රකාශ විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව මේ වෙද්දී අවතැන් වූ  පවුල් ගණන 26,841 ක් වෙන අතර එම ප්‍රමාණය අවතැන් වූ පවුලකට ලබා දෙන රුපියල් 25,000 න් සහ රුපියල් 50,000 ක් වූ මාසික කුලී දීමනාවෙන් වැඩි කළ විට ලැබෙන අගය රුපියල් බිලියන 6 කි.

ගොවි හානි ගෙවන්න රුපියල් බිලියන 24 ක්

මෙවර මහ කන්නයේ වගා භූමි හෙක්ටයාර් 530,000 කට ආසන්න ප්‍රමාණයක් හානි වූ අතර රජය පවසන පරිදි වගා කරන ලද හෙක්ටයාරයකට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගෙවන්නේ නම් ඒ සඳහා රුපියල් බිලියන 24 ක් වැය වේ. මේ අනුව හානි වූ කුඹුරු හා එළවළු වගා භූමි වෙනුවෙන් රුපියල් බිලියන 25 ක් පමණ ගෙවීමට සිදු වෙනු ඇත. හානි වූ වගා භූමි ප්‍රමාණ පිළිබඳ සංඛ්‍යා වෙනස් වීමට ද පිළිවන. ඊට අමතරව සත්ව ගොවිපළවල් කොපමණ ප්‍රමාණයක් විනාශ වූයේ ද යන්න ගැන අපි නොදනිමු. සත්ව ගොවිපළ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, මත්ස්‍ය යන අංශවලට වූ හානි පූරණය සඳහා රුපියල් බිලියන 15 ක් පමණ වැය වෙතැයි උපකල්පනය කළ හැකි ය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරන ආකාරයට මෙම ව්‍යවසනය මගින් රටේ ජනගහනයෙන් සියයට 10 කට බලපෑම් ඇති කරන ලදී. රටේ පාසල් ළමයි ලක්ෂ 38 ක් සිටිති. එය මුළු ජනගහනයෙන් ලක්ෂ 4 ක් පමණ වේ. ඒ අනුව පාසල් ළමයින් සඳහා ලබා දෙන රුපියල් 25,000 න් එම ලක්ෂ 4 වැඩි කළ විට රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් ඊට වැය වේ. එසේම ව්‍යාපාරික ගොඩනැගිලි 500 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි උපකල්පනය කළ හොත් ඒ සඳහා වන්දි වශයෙන් ගෙවීමට රුපියල් බිලියන 2.5 ක් වැය වෙනු ඇත. සම්පූර්ණයෙන් නිවාස අහිමි වූ පිරිසට වන්දි ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 53කට ආසන්න මුදලක් අවශ්‍ය වෙතැයි සිතිය හැකි ය. විනාශ වූ නිවෙසකට රුපියල් ලක්ෂ 50 බැගින් ගෙවන බව රජය පැවසුව ද එම අගය විනාශයේ ප්‍රමාණය මත වෙනස් විය හැකි ය. අර්ධ වශයෙන් විනාශ වූ නිවාස 86,245 ක් ඇති අතර ඒ එක් නිවාසයකට රුපියල් ලක්ෂ 25 බැගින් ගෙවන්නේ යැයි සිතුව හොත් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 215 කට ආසන්න මුදලක් අවශ්‍ය වේ.

මෙවර මහ කන්නයේ වගා භූමි හෙක්ටයාර් 530,000 කට ආසන්න ප්‍රමාණයක් හානි වූ අතර රජය පවසන පරිදි වගා කරන ලද හෙක්ටයාරයකට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගෙවන්නේ නම් ඒ සඳහා රුපියල් බිලියන 24 ක් වැය වේ. මේ අනුව හානි වූ කුඹුරු හා එළවළු වගා භූමි වෙනුවෙන් රුපියල් බිලියන 25 ක් පමණ ගෙවීමට සිදු වෙනු ඇත.

මිය ගිය පුද්ගලයන් ගණන 639 ක් වෙන අතර එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් ගෙවන්නේ නම් රුපියල් මිලියන 650 ක් පමණ වැය වේ. මේ සියලු ගණනය කිරීම්වල එකතුව රුපියල් බිලියන 381 කි. එයින් අදහස් වෙන්නේ ඒ සා වටිනා සහන පැකේජයක් ලබා දීමට රජයට සිදු වනු ඇති බව ය. එයින් වැඩි කොටසක් වෙන් වෙන්නේ නිවාස වන්දි වෙනුවෙනි. එම රුපියල් බිලියන 381 න් රුපියල් බිලියන 70 කට වැඩි ප්‍රමාණයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ  රජයේ අවධානය යොමු වී තිබේ. Rebuilding Sri Lanka ගිණුමට මේ වෙනවිට රුපියල් මිලියන 1,800 කට වැඩි මුදල් ප්‍රමාණයක් ලැබී තිබේ. ණය සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැති බව ද රජය අවධාරණය කර ඇත.

රජයේ සහන වැඩපිළිවෙළ ඒකාකාරීව රට පුරා ක්‍රියාත්මක නොවන බවට චෝදනා නැගේ. ජනාධිපතිවරයාත් රජයේ නිලධාරීන් සැලකිය යුතු පිරිසකුත් මේ කටයුතු කාර්යක්ෂමව කිරීමට උත්සාහ ගත්ත ද එම කටයුතු ප්‍රාදේශීය මට්ටමේදී ඇතැම් ස්ථානවල නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවක් දැකිය හැකි ය. නිදසුනක් ලෙස පේරාදෙණිය, ගෙලිඔය වැනි ප්‍රදේශවලට බාහිර පුද්ගලයන් සහ කණ්ඩායම්වලින් ආධාර ලැබුණ ද තවමත් රජයේ සහන නිසි අයුරින් නොලැබෙන බවට චෝදනා එල්ල වේ. එබැවින් සහන බෙදා දීමේ කටයුතු කාර්යක්ෂමව හා සාධාරණව ක්‍රියාත්මක කළ යුතු වේ. අවසානයේ දී මේ මුදල් දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් බවට පත් වේ. විනාශ වූ දේපොළ යථාතත්ත්වයට පත් කරන අතරේ ජන ජීවිතය නැවත ගොඩනැගීමත් කළ යුතු ය.

නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව

මේ සහන පැකේජය ලබා දීමට රුපියල් බිලියන 50 ක් කිසි ලෙසකවත් ප්‍රමාණවත් නොවන බව පැහැදිලි ය. එහෙත් මේ වෙද්දී බාහිරින් රුපියල් මිලියන 1,800 ඉක්ම වන මුදලක් ලැබී ඇති බැවින් එයින් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ සහන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට පිළිවන. සැබෑ දත්ත පද්ධතියක් නොමැති වීම මෙවැනි ආපදා කළමනාකරණයක දී අප මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයකි. එබැවින් මෙය අවස්ථාවක් කර ගනිමින් සැබෑ දත්ත පද්ධතියක් ඇති කළ යුතු ය. එහිදී පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල සියලු දත්ත අන්තර්ජාලගත කර තනි ආයතනයක් යටතට ගෙන ඒම වැදගත් ය. එවිට මෙවැනි ආපදාවල දී ඒවා පිළිබඳ නිවැරදි තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි ය. 

සාකච්ඡා සටහන 
උපුල් වික්‍රමසිංහ