තම සිත් සතන් වෙනසකට හුරුකර ගැනීමට අකමැති, එමෙන්ම අපොහොසත්, බොහෝ උගතුන් පිරිසක් - ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර ජනාධිපති වුවහොත්, කරගන්න පුළුවන් දැයි සැක සංකා පළ කර සිටියහ.
වැඩියෙන්ම ඇසූ ප්‍රශ්නය වූයේ, ඔහු ලබා දෙන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයාගන්නේ කෙසේ ද? යන්නය. දෙවැනි ප්‍රශ්නය වූයේ “ඒ ගොල්ලෝ අයි.එම්.එෆ්. එකත් එක්ක මොකද කරන්නේ”? යන්නය. තුන්වැනි ප්‍රශ්නය නිහතමානී අයෙකු කවදාවත් අසන්නට නොසිතන එකකි. එය නම්, “ඉංග්‍රීසියෙන් කතා කරන්න, වැඩ කරන්න බැරි තඹුත්තේගම රන්බණ්ඩාගේ කොල්ලාට ජාත්‍යන්තර බැඳීම් පවත්වාගෙන යන්න පුළුවන් ද?” යන්නය.
මේ තෙවැනි අශිෂ්ට ප්‍රශ්නය ප්‍රථමයෙන් විග්‍රහ කරනු රිසියෙමි.
ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය චීනය සතුවෙන අතර තුන්වැනි විශාලතම ආර්ථිකය ජපානයට හිමි වේ. අසා ඇති අන්දමට ඒ දෙරටෙහි රාජ්‍ය පාලකයන් දෙදෙනා ඉංග්‍රීසි භාෂාවේ හසලයින් නොවේ. ලෝක බලවතුන් අතර ඇමෙරිකාව සමග කරට කර සිටින රුසියාවේ රාජ්‍ය පාලකයා පුටින් ය. ඔහු ඉංග්‍රීසියෙන් කතා කරනවා අප අසා නැත. අවසන් වරට පැවැත්වුණු ඔලිම්පික් තරගය පැවතියේ ප්‍රංශයේය. ඒ තරගය විවෘත කරන අවස්ථාවේ ප්‍රංශ ජනාධිපති ආරම්භක දේශනය කළේ ඉංග්‍රීසියෙන් නොව ඔවුන්ගේ භාෂාවෙනි. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, හාවඩ්, සෝබෝන් වැනි විශ්ව විද්‍යාලවල උගත් නෝනාවරු හා මහත්වරු මේ රට අගාධයට ඇදගෙන ගිය හැටි කිසිවෙකුටත් රහසක් නොවේ.
දෙවැනි ප්‍රශ්නය වූයේ, අනුර කුමාර අයි.එම්.එෆ්. එක සමග ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්නය. එම ආයතනය දෙවියන් විසින් මැවූ එකක්වත්, ස්වභාවධර්මය විසින් මැවූ එකක්වත් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ ජාත්‍යන්තර මූල්‍ය රටාව යළි ප්‍රතිෂ්ඨාපනය කරවීමට ඇමරිකානු ජාතික හැරී ඩෙක්ස්ටර් වයිට් සහ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් මෙනාඩ් කේන්ස් යන බටහිර ආර්ථික විද්‍යාඥයන් දෙදෙනා බලවත් රටවල අවශ්‍යතාව පරිදි ගොඩනගනු ලැබූ ජාත්‍යන්තර මූල්‍යායතනයක් පමණි. සැබවින්ම විමසිය යුතු ප්‍රශ්නය අනුර කුමාර ජනාධිපති එම ආයතනයත් එක්ක ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න නොව සකල සිරින්පිරි සිරිලංකාවට 17 වාරයක් එහි සරණ යන්න වුණේ ඇයි ද යන්න ය.
සල්ලි නැතුව කරන්නේ කොහොම ද?
තෙවැනුව මුදල් නොමැතිව කරන්නේ කොහොමද යන ප්‍රශ්නය සංක්ෂිප්තව හෝ විමසා බලනු වටී. ඇතැම්විට ආර්ථික විද්‍යාඥයන්ට නොවැටහුණ ද අප වන් පුහුදුන් අයට තේරෙන දෙයක් වන්නේ, මුදල් යනු හැම දේම නොවෙයි යන්න ය. මුදල් යනු තවත් බොහෝ දේවල් අතර එක දෙයක් පමණකි. අපට ඇති ආර්ථික ගැටලුත් ඒවාට තියෙන විසඳුමුත් මුදල්වලින් පමණක් තක්සේරු කළ හැකි ප්‍රපංච නොවේ. අප මීට අවුරුදු ගණනකට පෙර සිසුන්ව සිටිය දී උගත්තේ, ”නිෂ්පාදන පිරිවැය වැඩිෙවන නිසාත් උද්ධමනය ඇතිවෙන්න පුළුවන්” ලෙසිනි. එහෙත් අපේ ස්මෘතියෙහි ශේෂව තැන්පත්ව ඇත්තේ ” මුදල් සැපයීම වැඩිවෙනකොට ඉල්ලුම මගින් උද්ධමනය ඉහළට අදිනවා ” යන
න්‍යාය පමණි.
මූල්‍ය ප්‍රතිපත්තිය, අයවැය ප්‍රතිපත්තිය ගැන පුන පුනා කතා කිරීමට අපි රුසියෝ වෙමු. එහෙත් ආර්ථික ප්‍රතිපත්තිය තුළ මූල්‍ය ප්‍රතිපත්තිය හා අයවැය ප්‍රතිපත්තියට අමතරව උපාය මාර්ග, ප්‍රතිසංස්කරණ, පිළියම් පවතින බව අපට අමතක කර දමමු. ආර්ථික විද්‍යාව යනු මිනිසා හා මිනිසාගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන විෂයකි. එය පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා යම් නිශ්චිත ආකාරයකට හැසිරෙන්නේ ඇයි? කෙසේ ද කොහොම ද? යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට උත්සාහ කරන විෂයකි. ඉල්ලුම හා සැපයුම (වෙළඳපළ) ආර්ථික විද්‍යාවේ වැදගත් මූලික සංකල්පයකි. 1966 ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ ශිෂ්‍යයන්ට තුරඟ තරග පිටි මණ්ඩපයේ දී ආර්ථික විද්‍යාව උගන්වන විට, මහාචාර්ය ඉන්ද්‍රරත්න ඉල්ලුම හා සැපයුම හැසිරෙන ආකාරය තමන්ගේ අත් දෙක එකිනෙකට හරස් කොට පෙන්නුම් කළ අයුරු මෙහි දී අපගේ සිහියට නැංවෙනුයේ නිතැතිනි.
ආර්ථික වර්ධනය හා සංවර්ධනය ගැන කතා කරන විට රජයේ මැදිහත්වීම මූල්‍ය ප්‍රතිපත්තිය හා අයවැය ප්‍රතිපත්තිය ඉතා වැදගත් නමුදු ඊට අතිරේකව අමතර ආර්ථික හා ආර්ථික නොවන වෙනත් කරුණු රැසක් පවතින බව අමතක කළ යුතු නැත.
සම්පත් හා විභවතාවන්ගෙන් පිරුණු රටක්
ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව තරම් සම්පත්වලින් ද, විභවතාවන්ගෙන් ද, කුසලතාවන්ගෙන් ද, පිරුණු රටක් මේ මිහිපිට නැති තරම්ය. මුළු ආසියාකරයම සමස්ත ලෝකය හා යා කෙරෙන ප්‍රධාන මුහුදු මාර්ගයේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව වේ. මේ භූගෝලීය යථාර්ථය නිසා ශ්‍රී ලංකාවට ලෝකයේ මෙන්ම ආසියානු කලාපයේ ද, ඉන්දියානු අර්ධද්වීපයේ ද, නාවුක හා වෙළඳ කටයුතුවලට අවශ්‍ය සම්බන්ධතාව ලබාදිය හැකි මධ්‍යස්ථානය බවට පත්වීමට හැකියාව ඇත.
මීට අමතරව මධ්‍යම කඳුකරයේ සිට දස අතට ගලා බසින ගංගාවලින් ද, ඇළ දොළවලින්ද, දිය ඇලිවලින් ද, වන සම්පත්, ස්වභාවික සෞන්දර්යයෙන් ද, විවිධ කාලගුණ, ගහකොළවලින් හා පෞරාණික ඉදිකිරීම් හා වාරි විස්මිතයන්ගෙන් ද පිරී ඉතිරී ගොස් ඇති ආකර්ෂණීය දිවයිනකි. එපමණක් ද? ග්‍රාමීය මංමාවත්වල පටන් අධිවේගී මාර්ග දක්වා විහිදී ගිය මාර්ග පද්ධතියක් ද, පොල් රුප්පාවෙන් සැරසුණු මුහුදුකරය, තල් අරණක සෙවන ලද උතුරුකරය, රමණීය කඳුකරය හරහා දිවෙන දුම්රිය සේවාවකින් ද, සපිරුණු පහසු ඉක්මන් ප්‍රවාහන සේවයකට උරුමකම් කියයි.
නැත්තේ සල්ලි ද? සම්බන්ධීකරණයද?
අපි මේ සම්පත් මත වාඩි වී ඒවා ගැන වර්ණනා කරමින් කාලය ගෙවනවා විනා ඒවා ආර්ථික වශයෙන් වාසිදායක ආයෝජන සංචාරක, නිෂ්පාදන යථාර්ථයක් බවට පත්කිරීමට සමත් වී නැත. නාවුක මධ්‍යස්ථානයක් වුවත් නැව් නැත. මනරම් දර්ශනවලින් පිරී ගියත්, සංචාරකයන් නැත. සම්පත්වලින්, කුසලතාවන්ගෙන් පිරී ගියත්, ආයෝජකයන් නැත. ඇයි ඒ? ඒ අපට ඇති මුදල් හිඟයක්, ආයතනවල අඩුපාඩුවක්, නීති අණපනත්, රෙගුලාසි නොමැතිකමක් නිසාවත් නොවෙයි.
කිසිම ආයතනයක්, දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක් තුළ හෝ ඉන් පිටත ඇති ආයතන සමග සම්බන්ධීකරණයක් නොමැති නිසයි. රජයේ ආයතන එකිනෙකා සමග කතාබහක් නැත. හුවමාරුවක් නැත. ගනුදෙනුවක් නැත. විමසීමක් නැත. තමාගේ පාඩුවේ තමාගේ වපසරිය තුළ තමාගේ වැඩ කොටස පමණක් කර තමා සතුටු කරගෙන ගෙදර යයි. පසුදා ද කාර්යාලයට පැමිණේ. තමන්ට ළඟ පුටුවේ සිටින අයගේ රාජකාරියවත් එයින් තමාට හෝ රටට ඇති ඵලයවත් ඔහු/ඇය නොදනී. ආයතනය තුළත්, ආයතන අතරත්, ආයතන හා පෞද්ගලික ආයතන සමගත්, රාජ්‍ය නොවන ආයතන සමගත් තත්ත්වය එසේමය. හැබැයි වරප්‍රසාදයක්, වැටුප් වැඩිවීමක්, සන්තෝෂමක් ඇත්නම් සෑම දෙනාම එකටය. නිවැරදි වැඩදායී හිතකර දෙයකට සම්බන්ධීකරණයක් නැත. අවැඩකට, ආත්ම ලාභයට, සමහර විට අනීතික දෙයකට සම්බන්ධීකරණය ඇත.
ලංකාවේ නිෂ්පාදනයට, මහජන සේවයට, ආයෝජනයට, ශුභසාධනයට, සංවර්ධනයට, සමාජීය කටයුතුවලට දායක වන රාජ්‍යය ආයතන ගණනාවක් ඇත. ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, දුම්රිය හා මාර්ග ප්‍රවාහන, වනජීවී හා වන සංරක්ෂණ වැනි ආයතන රටේ සංවර්ධනයට හා ශුභසාධනයට දායක වේ. මේවාට මුදල් ඇත. කාර්ය මණ්ඩල ද ඇත. අණපනත් ඇත. පහසුකම් ඇත, අරමුණු ද ඇත. ඒත් රට බංකොලොත්ය. හේතුව මේ ආයතන අවශ්‍ය තැන්හි දී - අවශ්‍ය ආයතන ඒකාබද්ධ වී ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් නොමැතිකම හේතුවෙන් සක්‍රීය ලෙස සංවර්ධනයට දායක නොවීමය. ජනාධිපතිගේ පටන්, පළාත් සභා, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා, ග්‍රාම නිලධාරී දක්වා කොළඹ අගනුවර සිට රටේ සෑම දිග්භාගයකටම විහිදී යන මනා පරිපාලන ජාලයක් ලංකාවේ ඇත. මේවායේ සිටින බොහොමයක් නිලධාරීන්ට යාන වාහන, උපකරණ, ශීතකරන ලද කාමර ඇත. මේ සෑම මට්ටමකම සම්බන්ධීකරණ කමිටු පිහිටුවා ද ඇත. මේවායේ කතා කරන්නේ රටේ, ප්‍රදේශයේ, ගමේ සංවර්ධනය හෝ ශුභසාධනය ගැන නොවේ. තමාගේ හිතවතෙකුට පාරක්, විදුලි හෝ ජල සම්බන්ධතාවක් නොදෙන්නේ මන්දැයි දේශපාලකයන්ගෙන් ප්‍රශ්න කිරීම් ය.
රජයේ ආයතනයක් තුළත්, ආයතන අතරත් අනෙකුත් අංශ සමගත් සම්බන්ධීකරණය නොමැතිවීම නිසා මහජනතාවට හා රටට ලැබිය යුතු සේවාව අහිමිවන ආකාරය මා රාජ්‍ය සේවයේ ලද අත්දැකීම් කීපයක් සමගින් විස්තර කරන්නම්.
කැඩී බිඳී ගිය කෑලිවලට වෙන් වුණු කෘෂිකර්මයේ අගය දාමය (Fragmented Agriculture Value Chain)
ආණ්ඩුව පසුගියදා වී ගොවියාට සහනයක් සැලසීම සඳහා රුපියල් 25,000 ක පොහොර සහනාධාරයක් හඳුන්වා දෙනු ලැබිණ. මෙම තීරණයට ගොවියෝ, ජාතික ජන බලවේගයට ඡන්දය දුන් නුදුන් අයවලුන් පමණක් නොව - අවසානයේ ස්වාධීන මැතිවරණ කොමිසම ද, එකඟතාව පළ කළහ. කෙසේ වෙතත් වී ගොවිතැන හා වී ගොවියා කියන්නේ පොහොර පමණක් නොවන බව පෙන්වා දිය හැකිය.
ගොවියාට ගුණාත්මක බීජ වී, නිවැරදි තාක්ෂණය, උපදෙස්, කෘමි හා වල්නාශක, වශයෙන් අස්වැන්න නෙළා ගැනීමට පෙර අවශ්‍ය දෑ බොහෝය. මීට අමතරව අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව වී වියළීම, කෙටීම, ගබඩා කිරීම, ඇසීරීම හා අලෙවි කර ගැනීමට පහසුකම් අවශ්‍ය වේ.
රටක වී ගොවිතැනෙහි අගය දාමය කුඹුරේ සිට පිඟාන දක්වා පියවර ගණනාවක් හරහා දිවෙයි. එහි එක් අන්තයක සංවිධානය නොවුණු, යැපෙන කුඩා වී ගොවියන් රැසකි. අනෙක් අන්තයේ ඉතාම හොඳින් සංවිධානය වුණු ධනවාදී ආකල්පවලට හා වෙෙළඳපලකට හුරුවුණු මෝල් හිමියන්ය. ඒ අතරට විවිධ රාජ්‍ය ආයතනයන් ද ඇතුළත්ය. අපේ රටේ කෘෂිකර්මයේ අගය දාමය එකම දම්වැලක් ලෙස හැඩගැසී නැත. දම්වැල් පුරුක් තැන් තැන්වල කැඩී බිඳී වෙන් වී ඇත. අගය දාමයට ඇතුළත් ක්‍රියාකාරීහු එකිනෙකට මුණ නොගැසෙති. ඔවුහු එකිනෙකා සමග කතා නොකරයි. මේ සැම දෙනාම ස්වාධීන ස්වයං තීරණ ගන්නා අය වේ.
රාජ්‍ය සේවයේ සිටින කාලයේ, වරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන්, “ඔබ දෙපාර්තමේන්තුව කරගෙන යන පර්‌යේෂණවල ප්‍රතිඵල ගොවියාට ලබාදීම (ව්‍යාප්තිය) ට යොදා ඇති වැඩපිළිවෙළ කුමක් ද?” කියා මම විමසුවෙමි. ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ සිය දෙපාර්තමේන්තුව කරන්නේ පර්‌යේෂණ පමණක් බවත්, අදාල පර්‌යේෂණවල ප්‍රතිඵල ගොවියාට ලබාදීමේ ව්‍යාප්ති කටයුතු අයත් වන්නේ පළාත්සභා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවලට බවත් ය.
“ඒ වුණාට ඒ දෙපාර්තමේන්තුවල සිටින්නේත් ඔබලා සමග එකට කලින් වැඩ කළ, ඔබලා අඳුරන කියන යාළුවන් නේද ’’ යනුවෙන් මා ඇසූ පිළිතුරට ඔහු ඉතා කුලුපග සිනහවකින් සංග්‍රහ කිරීම පමණක් සිදු කළේය. තවත් අවස්ථාවක කරල් පැහීගෙන එන කාලයේ මා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන්, “දැන් මේ අස්වැන්න ගොවියාට හොඳ මිලකට අලෙවි කරන්න වැඩපිළිවෙළක් යොදල ද තියෙන්නෙ” යනුවෙන් විමසීමක් කළෙමි. ඔහු මා දෙස අමනාපයකින් මෙන් බලා, ’’ඇයි දන්නේ නැද්ද අපිට අයිති වගාව. අස්වැන්න අලෙවි කිරීම වෙෙළඳ අමාත්‍යාංශයේ වගකීමක්’’ලෙස
පිළිතුරු දුන්නේය.
කෘෂිකර්ම ඇමතිතුමනි! ඔන්න ඕක තමයි මහපොෙළාවේ දැනට ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික තත්ත්වය.
ඔබ ලබාදුන් පොහොර සහනාධාරය ගැන මාධ්‍ය ප්‍රචාර කරමින්, චක්‍රලේඛන හා උපදෙස් ලබා දෙමින්, අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ දිනවල කාලය ගත කරනු ඇත. කරුණාකර උපදෙස් දෙන්න කාලය අපතේ නොහැර වහාම රජයේත්, පෞද්ගලික අංශයේත්, කෘෂිකර්ම අමාත්‍යංශයේත්, දෙපාර්තමේන්තුවේත්, අනෙක් අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආයතන සමග එකතු වී කමතේ තියෙන වී ඇටය හාල් ඇටයක් බවට හැරවී බත් ඇටයක් ලෙස පිඟානට එනතුරු මුළු ක්‍රියාදාමයම ඇතුළත් කර - පසු විපරම් කළ හැකි කාලවකවානු ඉලක්ක සහිත වැඩපිළිවෙළක් නොපමාව පිළියෙල කරන්න කියලා. එහෙම නොකළොත් - එක් අතකින් ගොවියා තමන්ගේ අස්වැන්නට හොඳ මිලක් ලැබුණේ නෑ කියා මැසිවිලි නගනු ඇත. අනෙක් අතින් - තමන්ගේ අත ඇති මුදලට හාල් ටිකක් මිල දී ගන්නට බැරි බවට පාරිභෝගිකයා හඬ
නගනු ඇත.
පර්‌යේෂණ, තාක්ෂණය,
සංවර්ධනය, පුහුණුව
සම්බන්ධීකරණය දකින්නට නැති සම්බන්ධීකරණය මිතුරෙකු ලෙස නොදකින තවත් හොඳම තැනක් - පර්‌යේෂණ, තාක්ෂණය හා පුහුණුව ක්ෂේත්‍රය. ලංකාවේ ඇති සෑම වගාවක් සඳහාම වෙන වෙනම පර්‌යේෂණ ආයතන පවතිනවා. ආණ්ඩුවේ විශ්වවිද්‍යාල 16 ක් තියෙනවා. සෑම විශ්වවිද්‍යාලයකටම අනුබද්ධිත ආයතන, මධ්‍යස්ථාන තිබෙනවා. මේ සෑම තැනකම පර්‌යේෂණ පහසුකම් ඇති තරම් තියෙනවා. පර්‌යේෂණ කරන්න අවශ්‍ය මානව සම්පත් ද තියෙනවා. මේ සියල්ලටම අමතරව පර්‌යේෂණ පැවැත්වීමට, ප්‍රගුණ කිරීමට, පරිපාලනය කිරීමට දිරිමත් කිරීමට හා සමහර විට මුදල් පවා සැපයීමට සූදානම් මහජන මුදලින් නඩත්තු කරන ආයතන කොළඹ පුරාම දකින්නට තියෙනවා. මේවායින් වැඩි ප්‍රමාණයක් කොළඹ හතේ ග්‍රෙගරි මාවත, බුලස් පාර, විද්‍යා මාවත වටකරගෙන තියෙන්නේ. වරක් මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණ මා සමග පැවසුවේ “චන්දරේ කොළඹ 07 කියන්නේ විද්‍යා පර්‌යේෂණවලින් පිරුණු මහා විශ්වයක් (Galactic Belt) කියලා” මේව මහජනයාගේ මුදලින් නඩත්තු කළත් මේවා තිබෙන බවත් , තිබෙන තැනවත්, කරන දේවල් ගැනවත් නොදන්නා එකම කණ්ඩායමත් මහජනයා පමණයි. තාක්ෂණය ලබා ගැනීමට මග බලා සිටින ගොවියාටවත්, කර්මාන්තකරුවාටවත් මේ ආයතනවල කරන පර්‌යේෂණ වලින් පලක් වේ ද? මෙහෙම වෙන්න හේතුව කුමක් ද? පර්යේෂණ කරන තාක්ෂණය දියුණු කරන මෙම ආයතන හා පුහුණු කරන ආයතන, ප්‍රතිඵල ක්ෂේත්‍රයට ගෙන යන ව්‍යාප්ති ආයතන අතර සම්බන්ධීකරණයක් නැතිකමයි. විද්‍යා හා තාක්ෂණ ඇමතිතුමියනි! ඔබට බාරයි.
පහළ මල්වතු ඔය බහු විධ
සංවර්ධන ව්‍යාපෘතිය
මල්වතු ඔය ලංකාවේ දෙවැනි විශාලතම ගංගා ද්‍රෝණියයි. දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් සමුදායක් (කඳුරැල්ල - Cascade) පිරිවරාගත් සූක්ෂම වගාවලින් බහුල සංවර්ධිත ක්‍රියාවලියකි. පහළ මල්වතු ඔය බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2019 දීය. එවකට වාරිමාර්ග ඇමති වී සිටි පී. හැරිසන් මෙම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය මුදල් දුෂ්කරතා නිසා හා ඊටත් වඩා ආයතන අතර හා නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා ඇණ හිට ඇති බවයි. වෙනත් වචනවලින් කියතොත් සම්බන්ධීකරණය කඩා
වැටී ඇති බවයි.
මෙම බහුවිධ ව්‍යාපෘතිය වාරි ජලය පමණක් නොව ජල විදුලිය, සූර්ය බල, විදුලි ජනනය, පානීය ජලය, සංචාරක කර්මාන්තය, ජලගැලීම් පාලනය, ධීවර කටයුතු, අලුතින් ගම්මාන ඉදිවීම, වන වගාව, වනජීවී සංරක්ෂණය, නගර සංවර්ධනය, පුරාවිද්‍යා සංරක්ෂණය, ආහාර භෝග, මුදල් භෝග හා මිල ඉහළ භෝග වැනි බහුවිද වගාවන් ව්‍යාප්තිය වැනි මහඟු ප්‍රයෝජන රැසක් මුල් කරගෙන සැලසුම් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ කටයුතු යුහුසුලුව ක්‍රියාත්මක කිරීමට හා සැලසුම්කර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ද, වාරිමාර්ග, ජාතික ක්‍රම සම්පාදන, විදේශ සම්පත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද, අග්‍රාමාත්‍ය කාර්යාලය, ලංකා විදුලි බල මණ්ඩලය, පුනර්ජනනීය බලශක්තිය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජනප්‍රවාහන මණ්ඩලය වැනි ආයතන ද සියල්ල ඇතුළත් කර බහුවිධ ආයතන වලින් සමන්විත කමිටුවක් ද පිහිටුවා ඇත. ව්‍යාපෘතියේ මුළු පිරිවැයෙන් 70% ක අරමුදල් සමග මෙම ව්‍යාපෘතියට දායක වීමටත්, සම්පූර්ණ තාක්ෂණ යෝජනාවක් පිළියෙල කිරීමටත් චීන සමාගමක් එකඟතාව පළකර ඇත.
මෙම ව්‍යාපෘතිය මග ඇණහිට තිබේ. මුදල් නැතිකම නිසා නොවේ. ආයතන අතර සම්බන්ධතාව නැතිකම නිසා ය.
මෙම ලිපිය ආයතනය තුළද, ආයතන අතරද, සම්බන්ධීකරණයක් නොමැතිවීම නිසා සංවර්ධනය හා ප්‍රගතිය අඩාළ වන ආකාරය රාජ්‍ය සේවයේ මා ලද අත්දැකීම් සමග පැහැදිලි කිරීමට ගත් උත්සාහයකි. ආයතන අතර සම්බන්ධීකරණය ගොඩනැංවීම හා ශක්තිමත් කිරීම තුළින්ම ආණ්ඩුවට ක්ෂණික ඵලදායී සංවර්ධන විසඳුම් වියදමකින් තොරව දැනට අත ඇති සම්පත් හා ආයතන පමණක් උපයෝගී කරගෙන පහසුවෙන් ලබා දීමට ඇති හොඳම පහසුම ක්‍රමය වෙනවා පමණක් නොව ‘‘කෝ ඕවා කරන්න සල්ලි’’ කියන අපේ පණ්ඩිතයන්ට ද කදිම පිළිතුරක් වෙනු ඇත.
(සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ව සිටි චන්ද්‍රසේන මාලියද්දගේ ලිපිනය [email protected]වේ.)