රබන් ගහන මන්ත්‍රීවරිය


“මගේ රබන් කණ්ඩායම පරදවන්න තවම මේ අහල ගම්වල කාටවත් පුළුවන්කමක් වුණේ නෑ. නමුත්, මට බයක් තියෙනවා මගේ මන්ත්‍රීකම නිසා රබන් ගැහිල්ල නතර වෙයිද කියලා..” 


“දේශපාලන වේදිකාවේ හැල හැප්පිලි” බොහෝ දෙනෙක් හඳුන්වන්නේ, කඹ ඇදිලි, කුකුළු පොර, බොරු හිනාව, කිඹුල් කඳුළු, රබන් ගහලා - කිරිබත් කන, සංස්කෘතියක් ලෙසටය. 


එහෙත් දේශපාලනයේ නිරත කාන්තාවක් වසර විස්සක් පුරාවට රබන් ගසමින්, කුකුළු පොර, කඹ ඇදිල්ල, හොඳම හිනාව, හොඳම ඇඬීම යන තරගවලින් ජයග්‍රහණය කරන “යකඩ ගැහැනිය” නමින් හඳුන්වන කාන්තාවක් අපට හමුවන්නේ නිකවැරටිය, කොබෙයිගනේ, ඔලබලෑව ගම්මානයෙන්. 


ගමේ මිනිස්සු මට කියන්නේ “යකඩ ගැහැනි” කියලා. මේ හයිය මගේ අම්මගෙන් ලැබුණු දේවල්. මම රබන් ගහන්න ගත්තෙ නැන්දම්මා රබන් ගහනවා බලන් ඉඳලා. නැන්දම්මා රබන් ගහද්දි මං රබාන වටේ නැටුවා. එතකොට මට අවුරුදු දහයක් දොළහක් විතර ඇති. දැන් ගම වටේ, වසම වටේ, රබන් ගහමින් නටනවා. 


ලබන බක් මාසයේ රබන් වාදනයට සැරසෙමින් සිටින ඇය අමිතා දසනායක. අද කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන්නීය. ඇය මේ වසරේ දී අප්‍රේල් මාසය සඳහා පමණක් උත්සව දොළහක රබන් ගැසීමට ආරාධනා භාරගෙන තිබිණි. ඒ කිසිවක් මුදලට නම් නොවේ. 


ඒ සෑම වසරකම අවුරුදු උත්සවවලට අමතරව පාසල්වල පැවැත්වෙන අවුරුදු උළෙලවලදී දරුවන්ට සාම්ප්‍රදායික රබන් වාදනය පෙන්වීම සඳහා ඇගේ නර්තන කණ්ඩායමත් සමඟ නොමිලේ සහභාගී වන්නීය. ඇය වෘත්තියෙන් රබන් වාදනය කරන්නියක් නොවුවද ඇයට මංගල සාද ඇතුළු උත්සව සඳහා ආරාධනා බොහෝ ලැබෙන බව අප සමඟ කීවාය. 


“උදයට පායන හිරු දෙවියන්ටයි 
සවසට පායන සඳු දෙවියන්ටයි....” 


කියලා රබන් වාදනය පටන් ගත්තාම අවසන් කරන්නේ සිටින සියලුම නරඹන්නන් සතුටු කරමිනි. 


එනිසා ඇය කොබෙයිගනේ ප්‍රදේශයේ පමණක් නොව පාසල්වල ද ඉතාම ජනප්‍රිය කාන්තාවකි. අපි ඇය සමඟ කතාබහට එක් වුණෙමු. 


“රබන් ගහන්නේ ගමක සෞභාග්‍යමත් කාලේ. මේ කාලේ අපේ කුඹුරුවල අස්වැන්න නෙළා අවසන්. ගැමියන් හැමෝම ප්‍රීතිමත් වන කාලයක්. එ් කාලය උත්සව සමයේ ආරම්භයයි. එරබදු මල් පිපිලා. කොහා හඬද්දී වටේට රබන් පද ඇහෙනවා කියන්නේ ගමේ සෞභාග්‍යය උදා වෙලා තමයි. මේක එක්තරා විදිහක සන්නිවේදන ක්‍රමයක්. මේ තුළින් හැම දෙනාගෙම හදවත් තුළ ප්‍රීතිය ජනිත වන සතුටට පත්වෙන එකම කාලය බවට පත්වෙනවා. 


සාමාන්‍යයෙන් ගැමියන්ගේ විශේෂ උත්සවවලදී විවාහ කටයුතු සහ අලුත් සහල් මංගල්‍යය සඳහා රබාන භාවිත කරන්නේ මේ සෞභාග්‍යය විදහාපාමින්. මම ඒවා තේරුම් ගත්තේ පුංචි කාලෙදීමයි. ඒ නිසා අපි අපේ ප්‍රදේශවල ජීවත්වන අපේ මිනිස්සු අවුරුද්දකට එක පාරක් හරි සතුටු කරන්න උත්සාහ කරනවා. 


මම ඉස්කෝලේ යන කාලේ ගැට බෙර ගැහුවා. නැටුම් කළා. ඊට අමතරව නැන්දම්මා රබන් ගහනවා බලන් හිටියා. එයා ගම පුරාම අවුරුදු කාලයට රබන් ගැහුවා. රබාන රත් කර කර රබන් ගහන්න මමත් පුරුදු වුණා. මගේ රබන් කණ්ඩායම පරදවන්න තවම මේ අහල ගම්වල කිසිවෙකුටත් තවම පුළුවන්කමක් වුණේ නෑ. මට බයක් තියෙනවා මගේ මන්ත්‍රීකම නිසා රබන් ගැහිල්ල නතර වෙයිද කියලා. 


අපි ඒ කාලේ ගොඩක් දුප්පත්. මගේ තාත්තා අසනීප තත්ත්වයෙන් හිටියේ. ඉතින් අම්මා කුලී වැඩට ගියා. අපිට ඉගැන්නුවේ අම්මා කුලී වැඩ කරලා හොයන සල්ලිවලින්. මගේ සහෝදරියන් සහෝදරයන් හොඳින් ඉගෙන ගෙන දැන් රැකියා කරනවා. සමාජය හොඳ ඉහළ තැන්වල ඉන්නවා. මම සාමාන්‍ය පෙළ ඉතාමත් ඉහළින් සමත්. ඒත් මම උසස් පෙළ කළේ නෑ. අපිට තිබුණේ පුංචි ගෙදරක්. මට ඕනේ කළා ලොකු ගෙයක් හදන්න. අම්මා කුලී වැඩට ගිහින් මට සිමෙන්ති කොට්ටය ගාණේ ගෙනත් දුන්නා. සිමෙන්තිවලින් මෝඩ ගල් කැපුවා. මුළු ගේම හැදුවේ මං කපපු ගඩොල්වලින්. මගේ අනිත් සහෝදරයෝ ඉගෙන ගනිද්දී, මං ගෙදර වැඩ පල බලා ගත්තා. මට අසාධාරණය පේන්න බෑ. සමහර වෙලාවට අසාධාරණයට ලක් වෙච්ච අය වෙනුවෙන් මම පෙනී හිටියා. මගේ අයියට එයාගේ යාළුවෝ ගැහුවහම අයියව බේරගන්න ඒ කාලයේ එයාගේ යාළුවන්ට ගහලා හරි බේරාගන්නවා. ගමේ කාන්තාවකට හෝ අසරණ කෙනෙකුට මොන යම් හෝ අසාධාරණයක් වෙනවා නම් මම ඒකට මැදිහත් වෙනවා. 


මම ඉස්කෝලේ ගිය කාලෙදි නෙට්බෝල්, වොලිබෝල්, දුර, උස, ක්‍රීඩාවලින් මම දක්ෂතම ක්‍රීඩිකාව බවට කීප වතාවක්ම පත්වුණා. මුදුන්න මහා විද්‍යාලයෙන් විතරක් නෙමෙයි, කොට්ඨාස, පළාත් ක්‍රීඩාවලදිත් මම ඒ දක්ෂතා පෙන්නුවා. බලදොර කෝරලේ වසම් 35 තියෙනවා. මේ වසම් 35 කාටවත් බෑ මට වගේ රබන් ගහන්න. හැම අවුරුද්දකම කුකුළු පොරයෙන් දිනන්නෙත් මම. කඹ ඇදලා දිනන්නෙත් මගේ කණ්ඩායම. හොඳම හිනාව සහ හොඳම ඇඬීම දිනන්නෙත් මම. ඒ නිසා අවුරුදු උත්සවවල දී මම ඉන්නව දැක්කම අනිත් අය ටිකක් බයයි. 


ඔය කාලෙදි මම උසස් පෙළ කරන්න ලෑස්ති වෙද්දිම මගේ හැකියාව දැකලා තාත්තගෙ යාළුවෙක් මාව හොඳයි කියල එයාගේ පුතාට යෝජනා කරනවා. ඒ යෝජනාව අවසන් වෙන්නේ විවාහයකින්. මට අහිමි වෙන්නේ උසස් අධ්‍යාපනය. නමුත් මම විවාහ වුණාට පස්සේ කිරි ගව පාලනය කළා. බුලත් හිටෙව්වා. තවමත් බුලත් වගාව තියෙනවා. අපිට වාහන දෙක තුනක් දැන් තියෙනවා. මගේ අනිත් සහෝදරියන්ට වැඩිය යම් තැනක අද මම ඉන්නවා. 


මගේ රබන් ගැහිල්ල, බුලත් වගාව, කිරි ගව පාලනය, සමාජ සේවය, මගේ මන්ත්‍රීකම, මේවා සියල්ලටම අමතරව මම පාසලක කාර්යාල කාර්ය සේවයේ නිරත වෙනවා. මගේ වසමේ සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ මම සමගිව කටයුතු කරනවා. මේ නිසා මට කවුරුත් තරහකාරයෝ නැහැ. කාන්තාවන් සඳහා 25% කෝටාව ලැබුණට පස්සේ මම මේ මන්ත්‍රී ධුරය සඳහා තරග කළේ ඉතාමත් කැමැත්තෙන්. මේ ප්‍රදේශයේ ජනතාවට සේවයක් කරන්න හිතාගෙන. නමුත්, මම සභාව තුළ දී මෙතෙක් කතා කරලා තියෙන්නේ දෙපාරයි. 
ඒකට හේතුව, අපි ඉදිරියට යනවට තවත් අය අකමැතියි. නමුත්, මම මගේ ශක්තියෙන් දේශපාලනයේ රැඳී සිටිනවා. මට තියෙන ලොකුම බය මන්ත්‍රී ධුරය නිසා සාම්ප්‍රදායිකව රැකගන ආව රබන් වාදනය අහිමි වෙයිද? කියලයි.

 

 

 

 

 

සටහන, ඡායාරූප :  
කුරුණෑගල - චාන්දනී දිසානායක