ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ දී අද සිදුවු මැර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ගේ තුවාල සුව කළ හැකි නමුත් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයට සිදුවු තුවාලය සුව කර ගැනීමට නොහැකි යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පැවසීය.
පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා අංක 1 අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ බව පැවසු වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද සිදුවු මැර ප්‍රහාරය ගැන නීතිමය වශයෙන් ක්‍රියා කිරිමට කතානායකවරයාට දැනුම් දෙන බවයි.
අද දින සම්මත වු විශ්වාසභංග යෝජනාව අනුව ඔක්තෝබර් 26 වැනි දා සිට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අහෝසි වන බවත් අද සිට එවැනි ආණ්ඩුවක් ඉදිරියට නැති බවද එජාප නායකවරයා කීය.
කතානායකවරයා තීරණය කළ පසු පාර්ලිමේන්තුවට ඕනෑ තැනක රැස්විය හැකි යැයි ද කී වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එසේ තිබෙන බවද කීය.
ඒ අනුව ක්‍රියා කිරිම ගැන කතානායක කරු ජයසුරිය මහතාට ස්තූතිවන්ත වන බවද හෙතෙම පැවසීය.