සනත්ටත් බැරිනම් වෙන කවුද ක්‍රිකට් ගොඩගන්න ඉන්නේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ජයන්ත ධර්මදාස

විස්සයි - 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට මාස හතක කාලයකි. බංග්ලාදේශය සමග පැවැති විස්සයි - 20 තරගාවලිය පරාජය වී ඇති පසුබිමක ලෝක කුසලානය සම්බන්ධයෙන් තබා ඇති බලාපොරොත්තුව කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ජයන්ත ධර්මදාස සමග මේ කතා බහ ඒ සම්බන්ධයෙනි.

Q බංග්ලාදේශය සමග පැවැති විස්සයි-20 තරගාවලිය අපි පරාජය වුණා. ඔබ දකින හේතුව?

පරාජය ගැන හරිම වේදනාවයි. හැබැයි බංග්ලාදේශය අපිව විතරක් නෙවෙයි පරද්දලා තියෙන්නේ. නවසීලන්තයත් පරද්දලා තියෙනවා.  අපෙත් අඩුපාඩු තිබුණා. ඒක නෑ කියන්න බෑ. ඒ අඩුපාඩු හදාගෙන ලෝක කුසලානයට මාස හතයි තියෙන්නේ. ශක්තිමත් කණ්ඩායමක් හැටියට යන්නයි අපේ බලාපොරොත්තුව.

Q එක තරගයකදී හොඳට ක්‍රීඩා කරන කණ්ඩායමම ඊළඟ දවසෙදි ඉතාම දියාරු විදියට ක්‍රීඩා කරනවා. ඇයි මේ දක්ෂතා එක මට්ටමකින් පවත්වාගෙන යන්න බැරි?

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්, මැද පෙළ අසාර්ථක වුණාම පසුපෙළට පීඩනය වැඩි වෙනවා. එක දවසකදි සාර්ථක වෙන කණ්ඩායම ඊළඟ තරගයේදී අසාර්ථක වෙන්න විවිධ හේතු බලපානවා. කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක පළමු මැච් එකේදී හොඳටම ගැහුවනේ. බංගලාදේශය නැති කරලම දැම්මනේ. හැබැයි අපි ඒ මැච් එකේ එක ඕවරයකින් තමයි දිනුවේ. ඊට පස්සේ දෙවැනි එක හා තුන්වැනි එක පරාදයි. පළමු මැච් එකේ තිබුණ රිදම් එක ඊළඟ මැච් දෙකට ආවේ නෑ. කණ්ඩායම ප්ලෑන් එකක් හදාගෙන හිටියත් ඒක අප්සෙට් ගියා.... ලාබාල ක්‍රීඩකයෝ තව ටිකක් අවුල් යනවා.

Q ‘‘බී’’  ප්ලෑන් එකක් නෑ.

බී ප්ලෑන් එකක් තියෙනවා. බී ප්ලෑන් එකක් තිබුණට ඒක ක්‍රියාත්මක වන ක්‍රමයක් තියෙනවනේ. සමහර තැන්වලදී ඒ ‘‘බී ප්ලෑන්’’ එක ක්‍රියාත්මක වෙලා නෑ කියලා පේනවා.

Q කණ්ඩායමේ අංක 4 පිතිකරු සම්බන්ධයෙන් විශාල ප්‍රශ්‍ නයක් තියෙනවා. ඇයි විසඳුමක් හොයාගන්න බැරිව ඉන්නේ?

අපි මේ ගැන සාකච්ඡා කරන්න පසුගිය අඟහරුවාදා රැස්වීමක් තිබ්බා. එතැනදි විස්සයි - 20 තරගවලට ලාබාල ක්‍රීඩකයන් දෙන්නෙක් ගැන අවධානය යොමුවුණා. ඒගොල්ලන්ගේ රිද්මය හොඳයි. කැපවීම හොඳයි. කණ්ඩායමේ ක්‍රීඩකයන් හතර පස් දෙනෙකුගේම පන්දු රැකීම දුර්වලයි. විස්සයි 20 තරගවලදී ඒක විශාල ප්‍රශ්නයක්. පන්දු යවන්නන්ගේ මහන්සිය අපරාදේ. දුවද්දී දවා ගැනීම් ගන්නත් බැරි වෙනවා. ඒවා නිසා විශාල පසුබෑමක් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය එදා මීටිමේදී කතා කළා.

අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි හොඳටම දීලා තියෙන්නේ. කණ්ඩායමේ තීරණවලට අපි මැදිහත් වෙන්නේ නෑ.

 

Q දක්ෂ පන්දු රකින්නන් එක්කෙනෙක් දෙන්නෙක් හිටියට සමස්ථයක් වශයෙන් කණ්ඩායමේ පන්දු රැකීම දුර්වලයි. පන්දු රැකීමේ පුහුණුකරුවෙක් ඉන්නවා. එයා ඩියුටිය හරියට කරන්නේ නැද්ද?

පුහුණුකරුවන්ට පුළුවන් කියලා දෙන්න විතරයිනේ. එයා පන්දු රක්න්නේ නැහැනේ. මම කිව්වේ ඒකයි හතර පස් දෙනෙක් එක විදියට අසාර්ථක වුණාම, උඩපන්දුවක් දෙකක් මිස් වුණොත් මුළු ප්ලෑන් එකම අහක යනවා. එතකොට ප්ලෑන් බී නෙවෙයි, සී වැඩකරන්නෙත් නැහැ. එහෙම වෙලාවල් තියෙනවා.

Q ඔය තත්ත්වයට උත්තරයක් හොයාගන්න බැරි ඇයි?

අර මම කිව්ව සාකච්ඡාවේදී මේ හැම දෙයක් ගැනම කතා කළා. තරගාවලියක් මැදදී උත්තර හොයන්න බෑ. තරගාවලියෙදි අපි කලින් කතා කරගත් විදියට යනවා. තරගාවලියේ තරග දෙකක් විතර ගියාම තමයි අපිට ප්‍රශ්නය පේන්න ගන්නේ. වනිඳු හසරංග ආබාධයකට ලක්වුණා. එතකොටම මොකද කරන්නේ. දුෂ්මන්ත චමීරත් හොඳට බෝල් කළා. නමුත් ඔහු ආබාධයකට ලක්වෙයි කියන බයෙන් ක්‍රීඩා කළේ. ඒවා තමයි අපිට බලපාපු දේවල්. දිනුවා - පැරදුණා කියලා තමයි අපි කතා කරන්නේ. මේ මම කියන දේවල් ගැන අවධානයක් නෑ.

Q ආර් ප්‍රේමදාස පිටියේදී කාසියේ වාසිය දිනලත් පළමුවෙන් පන්දුවට පහර දෙන්න ගත්ත තීරණය මතභේදයට ලක්වුණා.?

එදා පිට්ටනියෙ තත්ත්වය, තණතීරුවෙ තත්ත්වය,  ක්‍රීඩකයන්ගේ මානසිකත්වය මේ ඔක්කොම බලලා තමයි තීරණ ගන්නේ. අපි නෙවෙයි ඒ තීරණය ගන්නේ. අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි හොඳටම දීලා තියෙන්නේ. කණ්ඩායමේ තීරණවලට අපි මැදිහත් වෙන්නේ නෑ.

Q අපේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත්වෙනවද?

සනත් ජයසූරිය වගේ කෝච් කෙනෙක් ඇත්තටම මා දැක්කේ නෑ. මම අවුරුදු ගාණක් ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරලා තියෙනවා. ක්ලබ්වලත් දිගටම ඉඳලා තියෙනවා. සනත්ගේ තියෙන උත්සාහයයි, උනන්දුවයි මම කාගෙන්වත් දැක්කේ නෑ. සනත් එක්කත් මේක කරන්න බැරිනම් මම දන්නේ නෑ ලෝකයේ වෙන කවුරුවත් ඉන්වද කියලා. දිගටම කිව්වනේ පිටරට පුහුණුකරුවන් එපා කියලා. ඒගොල්ලන්ගේ භාෂාව තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ සැරයි, ඒ හැමෝගෙම ඉල්ලීම පිට තමයි සනත් ගෙනාවේ. එයාගේ දක්ෂතාවය අපි දන්නවනේ. හැබැයි දැන් සනත්ටත් දොස් කියනවා. සනත්ගේ අඩුපාඩු පෙන්නලා දුන්නට කමක් නෑ. සනත් ඒවා පිළිගන්න සූදානම්.

Q ඔබ කිව්වා විශේෂ සාකච්ඡාවක් කළා කියලා. මොනවද ගත්ත තීන්දු තීරණ?

විශේෂ තීරණ ගණනාවක් ගත්තා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, මම, සනත් ජයසූරිය ඇතුළු 12 දෙනෙක් විතර හිටියා. හැමෝම බොහොම විවෘතව කතා කළා. ලබන ලෝක කුසලානය ඉලක්ක කරගෙන තමයි අපි වැඩපිළිවෙළ සකස් කරන්නේ.

Q ඒ තීරණ එකක් දෙකක්වත් කියන්න බැරිද?

ඒක දැන් කියන එක හරි නෑ. අපි ගත්ත සමහර තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද දන්නේ නෑ. එක එක්කෙනාගේ යෝජනාවනේ ආවේ. සභාපතිතුමා ඒවාට එකඟ වුණා. දැන් බලන්න ඕනෑ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය.

Q විස්සයි - 20 කණ්ඩායමේ නායකත්වය වෙනස් වේවිද?

ඇයි එහෙම කරන්නේ. දැන් ඔබම කිව්වා නොම්බර 4 ගහන්න කෙනෙක් නෑ කියලා. නොම්බර 4 ගහන්න කෙනෙක් නැත්නම් අංක 5 නිතරම අංක 4 වෙනවා. හය පහ වෙනවා. ආරම්භක පිතිකරුවා ඉක්මනින් දැවී ගියොත් අංක 3 ආරම්භක පිතිකරුවා වෙනවා. එයා එතැනට සූදානම් වෙන්නේ කොහොමද?

අපේ කණ්ඩායමේ තියෙන දක්ෂතාවයන් ලෝකයේ වෙනත් රටවල නැති තරම්.

Q මගේ ප්‍රශ්නය වුණේ ඔය ඔබ කියන අර්බුදයට තියෙන උත්තරය මොකක් කියලයි?

පළමු මැච් එක හොඳට ගහපු නිසා දෙවැනි මැච් එකට ඒ විදියටම ගියා. වෙනස්කම් කරන්න වෙලාවකුත් නෑ. කවුරුහරි ආබාධිත තත්ත්වයට පත් වුණොත් තමයි අපට ආදේශකයෙක් දාන්න වෙන්නේ. වනිඳු  හසරංග ආබාධයකට ලක්වුණා. ඒකට ගෙනාව ආදේශකයා හරියට වැඩේ නොකළ නිසානේ එතැන ප්‍රශ්නය වුණේ. අපේ කණ්ඩායමේ තියෙන දක්ෂතාවයන් ලෝකයේ වෙනත් රටවල නැති තරම්. අපේ ‘‘ඒ’’ ටීම් එක ඕස්ට්‍රේලියාවේදී හොඳට සෙල්ලම් කළා. ඒගොල්ලන්ගෙන් කෙනෙක් ගෙන්නගන්නවත් වෙලාවක් නෑ. හැබැයි මට කියන්න තියෙන්නේ නම් එක දෙයයි. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය නම් බිඳින්න එපා. ක්‍රිකට් බෝඩ් එක කරන්න ඕනැ දේවල් අපි කරනවා නම් ඔබලාගේ වගකීම ක්‍රීඩකයන් දිරිගැන්වීමයි. සනත් අර සාකච්ඡාවෙදි දිගටම පුහුණු තරග තියනවා කියලා. සමහර පිට්ටනි අපට ගන්නත් බෑ. ඒවා බුක් වෙලා. අපි ඒවත් බලලා තමයි තීන්දු තීරණ ගන්න ඕනෑ. අපිට සිම්බාබේ සංචාරයක් තියෙනවා. ඒකත් හොඳයි. අපි බලන්නේ ලෝක කුසලාන තරගාවලියට බොහොම ශක්තිමත්ව යන්නයි. බෝඩ් එක හැටියට අපි තීන්දු තීරණ ගන්නේ සාමූහිකව. ඒක ඉතා හොඳ තත්ත්වයක්. ඒකෙන් ක්‍රීඩකයන් ප්‍රයෝජන ගන්න ඕනෑ.

Q අලුත් ආණ්ඩුවක් තියෙන්නේ. අලුත් ක්‍රීඩා ඇමැතිවරයෙක් ඉන්නේ. කොහොමද ලැබෙන සහයෝගය?

අයි.සී.සී. තීරණ අනුව දේශපාලන අතපෙවීම් බෑ. අපි දේශපාලනය ගාවගන්නෙත් නෑ. අපෙන් යමක් ඉල්ලුවොත් ඒක ලබා දෙනවා. එහෙම නැතිව කිසිම බලපෑමක් නෑ. කලින් ආණ්ඩුවලදී සෑහෙන්න මැදිහත්වීම් කළා. දැන් එහෙම නෑ.

Q ඔබ කියූ බොහෝ අනාවැකි ඔප්පු වුණා. විස්සයි - 20 ලෝක කුසලානය ගැන මොකක්ද ඔබේ අනාවැකිය?

මම අර කියපු සාකච්ඡාවේදී ගත්තු තීරණ එක්ක අපි බොහොම ශක්තිමත් තැනක ඉන්න ඕනෑ. කණ්ඩායමේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඔබ තව මාස තුනකින් ඇවිත් ඇහුවොත් මම දෙන්නම් නියම උත්තරය. මට බොරුවට කියන්න පුළුවන් ‘‘අපි දිනනවා’’ කියලා. මම එහෙම කියන්නේ නෑ. තව මාස තුනකින් එන්න. මම හරි උත්තරය කියන්නම්.

ප්‍රසන්න සංජීව.