ජනාධිපතිවරුන්ගේ ඇස් ඇරෙන තීන්දුවක්


විධායක ජනාධිපති ධුරයේ බලතල, භාවිතයේ ධුරය දරන ජනාධිපතිවරයා කොතරම් දුරට සැලකිලිමත් වියයුතුද යන්න යළිත් අවධාරණය කරමින්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන ඓතිහාසික තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේදී ප්‍රකාශයට පත්කළේය.

අරගල සමයේදී රටෙහි ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා, එවකට වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ,  මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා හදිසි නීතිය පැනවීම අත්තනෝමතික සහ නීතියට පටහැනි බවත්, එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී තීන්දු කළේය. 

මෙම නියෝගය ලබාදීමේදී, බහුතර තීන්දුව සහ සුළුතර තීන්දුව ලෙස තීන්දු දෙකක් ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මෙම තීන්දුවෙන් පසුව, එය බලපාන්නේ කෙසේද සහ ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සමග මෙම  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව සාකච්ඡා කළෙමු. 

ඓතිහාසික තීන්දුවක්

අරගලය සමයේදී රට තුළ මහජන ආරක්ෂාව පවත්වාගෙන යන්නත්, අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්නත්, පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට නියමිතව තිබූ නිසාත් 2022 වසරේදී ජූලි මස 17 දා රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස 1948 අංක 25 දරන මහජන ආරක්ෂක පනතේ 02 වැනි වගන්තිය යටතේ හදිසි අවස්ථා නියෝග පනවා තිබුණා. රටටම බලපාන පරිදි මෙම නියෝග පනවා තිබුණා. මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. මෙසේ පැනවූ හදිසි නීතිය, කොතෙකුත් දුරට නීතිය හා වලංගු වන්නේද කියන කාරණය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් මගින් අභියෝග කළේ.

මෙම කාලය තුළ රටහි උද්ඝෝෂණ , සාමකාමී රැළි පැවැත්වුණා. නමුත් මේ හදිසි අවස්ථා නියෝග පැනවීම හමුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්  කඩවීමක් සිදුව තිබෙන බවටත්, එසේ පැනවීම නීත්‍යනූකූල නොමැති බවටත්, මේ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටත් සැලකිල්ලට ගනිමින් එම පදනම මත  පෙත්සම්කරුවෝ කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් මගින් කරුණු ප්‍රකාශ කර තිබුණා. මෙම කරුණු සලකාබලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මොකද වෙන්නේ?

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී තිබෙන මෙම තීන්දුව ඓතිහාසික වනවා. ඒ වගේම, ඉදිරියේදී තීන්දු තීරණ ගන්න විධායක ජනාධිපතිවරුන්ට මෙය ඉතාම වැදගත් වෙනවා. මෙම තීන්දුවේ සඳහන් වන ප්‍රධාන කාරණය තමයි, මෙහි නඩු ගාස්තුව පවා රජයෙන් ගෙවිය යුතු බවට වන කාරණය.  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,  අපරාධමය වරදක් කරලා තියෙනවා කියලා මෙම නඩු තීන්දුවේ කිසිම අවස්ථාවක කියලා නැහැ. ඒ වගේම, රටේ නීතිය උල්ලංඝනය කරලා තියෙන නිසා ඔහුව අත්අඩංගුවට ගන්න කියලවත්, ඔහුට ඉදිරියේදී කිසිම ධුරයක් දරන්න බැහැ කියලවත් නැහැ. ඒ වගේම, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසිවනවා හෝ වෙනත් කිසිදු සම්බාධයක් පනවලා නැහැ. වන්දියක් හෝ දඩයක් පැනවීමක් කරලත් නැහැ. මෙතනදී කියලා තියෙන්නේ, මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බව පමණයි. රනිල් වික්‍රමසිංහට පෞද්ගලිකව නොවෙයි, වැඩබලන ජනාධිපති ධුරයට තමයි මෙතැනදී තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ. වන්දිය පවා ගෙවන්න කියලා නියෝග කරලා තියෙන්නේ රජයට.

ඒ වගේම තමයි, මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමේදී තීන්දු දෙකක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. විනිසුරුවරුන් දෙදෙනෙක් මෙහිදී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවෙලා තිබෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. තවත් එක් විනිසුරුවරයෙක් වෙනම තීන්දුවක් ලබාදී, එලෙස අයිතිවාසිකම් කඩවීමක් සිදුව නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

බහුතර තීන්දුවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා, එලෙස හදිසි අවස්ථා රෙගුලාසි ලංකාවටම පැනවීමට අවශ්‍යව  නොතිබූ බව. පෙළපාළි හෝ උද්ඝෝෂණ සිදුවනවානම් ඒවා විසුරුවාහැරීමේ යම් යාන්ත්‍රණයක් තිබෙනවා. සියලු‍ම අවස්ථා සැලකිල්ලට ගෙන මෙම තීන්දු මීට වඩා වෙනස් ආකාරයට ගතහැකිව තිබුණු බව එම තීන්දුවේ සඳහන් වෙනවා. 

හිටපු ජනාධිපතිවරයාට අමතරව මෙහි තවත් වගඋත්තරකරුවන් නම් කර තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති ලේකම්වරයා ආදී ලෙස වගඋත්තරකරුවන් සම්බන්ධයෙන්වත් කිසිවක් ප්‍රකාශ කර නැහැ. උදාහරණයක් ලෙස, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධයෙන් පැවරුණු වෝටස් ඒජ් නඩුවේදී, හිටපු මුදල් ලේකම්වරයා කිසිදු තනතුරක් දැරීමට සුදුසු නැති බවට එම තීන්දුවේ සඳහන්ව තිබුණා. 

ඉදිරි ජනාධිපතිවරුන් සලකා බැලිය යුතු කාරණය

මෙම නඩු තීන්දුවේ වැදගත්ම කාරණය තමයි, ඉදිරි ජනාධිපතිවරුන් විසින් සලකා බැලියයුතු කරුණක් මෙහි ඉදිරිපත්කර තිබීම. ඒ තමයි, මෙම නඩු තීන්දුව ලබාදුන් දිනයේ සිට මාස තුනක් ඇතුළත, මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර එහි තිබෙන නීති මූලධර්ම සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට උපදෙස් ලබාදෙන ලෙස නීතිපතිවරයාට ඍජු නියෝගයක් නිකුත් කර තිබෙන කාරණය. 

ඒ අනුව, ඉදිරියේදී මෙවැනි මහජන කැලඹීමක් හෝ එවැනි තත්ත්වයක් ඇතිවන විට, මහජන ආරක්ෂක පනත යටතේ නියෝග නිකුත් කරන විට, හිතුමතේ නියෝග නිකුත් කරන්න බැහැ කියන කාරණය සඳහන් කර තිබෙනවා. ඒ වගේම, නීතිපතිවරයා ලබාදෙන උපදෙස් පිටපතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කර තිබෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී තිබෙන, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට කටයුතු කිරීමට, ඒ අනුව නීන්දු තීරණ ගැනීමට ඉදිරි ජනාධිපතිවරුන් කටයුතු කළ යුතු වෙනවා. ඉදිරියේදී උද්ඝෝෂණ හෝ පෙළපාළි ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමේදී හිතුමතේ කටයුතු කළ නොහැකි වනවා. ඒ පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වියයුතු වනවා. 

ඒ වගේම ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මෙම තීන්දුව බොහොම වැදගත් වනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙවැනි තීන්දුවක් ලබාදීම හරහා රට තුළ පුරවැසියන්ගේ අයිතීන් ශක්තිමත් කිරීමට දායක වන ආකාරය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම කොමිසම තුළ ධනාත්මකව කරුණු දැක්වීමට හැකියාව ලැබෙනවා.

පුරවැසියන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් වන ආකාරය

ජනතාව සම්බන්ධයෙන්, පුරවැසියන්ගේ පැත්තෙන් බලනවානම්, මේ තීන්දුව ඉතාම වැදගත් වනවා. ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, වර්ධනය කරන්න, වැඩිදියුණු කරන්න, ගරුකරන්න රජයේ සෑම නිලධාරියකුටම, පාලකයෙකුටම වගකීමක් තිබෙනවා.  මේ කාරණය නැවත වතාවක් මෙම තීන්දුව තුළින් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම, මාස තුනක් ඇතුළත නීති උපදෙස් ලබාදී, නීති සංශෝධනය කරන්න කියා කර තිබෙන නියෝගයත් ඉතාම වැදගත් වන කාරණයක්. ඒ අනුව බලන කල, මෙය ජනතාව ලබාගත් ජයග්‍රහණයක්.  

ජනතාවගේ ස්වාධිපත්‍ය බලයේ ප්‍රතිමූර්තියක් තමයි මෙම තීන්දුව. සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට ජනතාවට කිසිදු බාධාවක් නැහැ. ඒවා වෙනුවෙන් බාධා ඉදිරියේදී එන එකකුත් නැතිවෙයි. ආණ්ඩුව කියන්නේ ජනතාවගේ භාරකරු. විධායක ජනාධිපති කියන්නේ එහි ප්‍රධානියා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ඉහළින් තිබෙන්නේ මහජනභාරය. මේ නිසා, මහජන භාරය ආරක්ෂා කිරීමට මහජනතාවට වගකියන්න මේ සියලු‍දෙනා කටයුතු කළ යුතුයි කියන කාරණය මේ හරහා නැවත නැවතත් තහවුරු කර තිබෙනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ඉදිරි ජනාධිපතිවරුන් කටයුතු කිරීමේදී මෙම තීන්දුව පිළිබඳ වැඩිදුරටත් සැලකිලිමත් විය යුතු වනවා.

චාමර සම්පත්