ඩී.ඇස්ගේ සිට මහින්ද තෙක් ලංකාවේ නායකයන් අටකට අතට අත දුන් මහ රැජන
දෙවැනි එළිසබෙත් රැජිනගේ 100 වැනි උපන් දින සැමරුමට දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානමක් ගැන ඇහෙන්නේ එංගලන්තයෙනි. එනම් එංගලන්තයේ හිටපු දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ වෙනස් වූ ඇඳුම් විලාසිතා විදහා දැක්වෙන දැවැන්ත ප්‍රදර්ශනයක් ලබන වසරේදී පැවැත්වීමට බකින්හැම් මාලිගාව සැලසුම් කර ඇත.
හිටපු රැජිනගේ විලාසිතා විදහා දැක්වෙන ප්‍රථම ප්‍රදර්ශනය වන මෙය සඳහා දෙවැනි එළිසබෙත් මහරැජින විසින් පැලැඳි ඇඳුම් පැලැඳුම්, ආභරණ, තොප්පි හා සපත්තු වර්ග 200 ක් පමණ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ප්‍රදර්ශනය කෙරෙන හිටපු මහ රැජිනගේ ඇඳුම් අතර ඇය 1947 දී මංගල ඇඳුම ද ඇතුළත්ය. මෙම මංගල ඇඳුම ලංකාවේ අපට වැදගත් වන්නේ එය සැකසීමට ලංකාවේ මාගල්ලේ රේන්ද නිර්මාණකරුවන් සහභාගී වී ඇති නිසාය.
ඒ වසර 78 කට පෙර 1947 දීය. අද මහරැජින සිටියා නම් සමරන්නේ ඇගේ 78 වන විවාහ සංවත්සරයයි. එය විශේෂ වන්නේ එකම පුරුෂයකු සමග වසර 78 ක් රාජකීය පවුලක් කෑ නිසාමය. එම රාජකීය විවාහය තම දරුවන් මෙන් දික්කසාද නඩු, අයථා සබඳතාවලින් තොර පිවිතුරු එකක් විය.
ලිඛිත ඉතිහාසයේ සඳහන් වන්නේ 1947 ජුනි 8 වැනිදා මුළු මහත් ලෝකයම බලාපොරොත්තුවෙන් සිටි නිවේදනයක් බකිංහැම් මාලිගාවෙන් නිකුත් වූ බවයි. ‘මහ රජතුමාගේ සහ බිසවුන් වහන්සේගේ ආදරණීය දුහිතෘන් වන එළිසබෙත් කුමරිය ලැප්ටිනට් පිලිප් මවුන්ට් බැටන් කුමරාට විවාහ ප්‍රතිඥා දීම, මහ රජතුමා සහ බිසොවුන් වහන්සේ අනුමත කරන්නාහ” යනුවෙන් එය සඳහන් විය. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ හා එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ විවාහයට රැජිනගේ පියාණන් වූ හයවැනි ජෝර්ජ් රජුගේ හා එම බිසවගේ අවසරය ලබාදුන් බව එයින් කියැවිණි. ඒ අනුව එවකට ඔටුන්න හිමි කුමරියව සිටි එළිසබෙත් කුමරියගේ හා පිලිප් කුමරුගේ විවාහ මංගල්‍යය 1947 නොවැම්බර් 20 වැනිදා අතිඋත්කර්ෂවත් අන්දමින් වෙස්ට්මිනිස්ටර් හිදී පැවැත්විණි.
මහරැජින 1981 දී ලංකාවට පැමිණි අවස්ථාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පළ කරන ලද සමරු කලාපයක මේ ගැන රසවත් ලිපියක් පළ කර තිබිණි. රාජකීය මංගල දිනය දා එළිසබෙත් කුමරිය හැඳ සිටි මංගල ගවුම කාගේත් අවධානය දිනාගන්නට තරම් විසිතුරු විය. මෙහි නිර්මාණකරු සුප්‍රකට ඇඳුම් නිර්මාණ ශිල්පී නෝර්මන් හාර්ට් නෙල් මංගල ඇඳුම් නිර්මාණයට සති 5ක කාලයක් ගත වූ අතර එයට තරුණ කාන්තාවන් 350 කගේ සහාය ගෙන ඇත.
මංගල ඇඳුමට ඇත් දත් පැහැති සේද රෙදිවලින් නිමවා මුතු ඇට දසදහසක් හා පළිඟු කැටවලින් අලංකාර කර තිබූ අතර මංගල ගවුමේ පහළ කොටසේ මල්, කොළ වැල් වැනි විවිධ මොස්තර නිමවා තිබුණේ මුතු හා පබළුවලිනි. රාජකීය මංගල ඇඳුම ගවුම මැසීමට භාවිත කරනු ලැබුවේ රිදී නූල්ය. ගවුම හැඩ කළ අනර්ඝ මුතු ආනයනය කරන ලද්දේ ඇමෙරිකාවෙනි. මහ රැජිනගේ මංගල ඇඳුම නිර්මාණයට නෝමන් හාර්ට්නෙල් ශ්‍රී ලංකාවේ ගොතන ලද රේන්ද භාවිත කරන ලද්දේ මහ රැජිනගෙ ඉල්ලීම පරිදිය. ගාල්ල ප්‍රදේශයේ පිහිටි මාගාල්ල නමැති ගමේ ගොතන ලද රේන්ද මේ සඳහා තෝරා යොදාගෙන ඇත. මාගල්ලේ වෙසෙන, පාරම්පරිකව රේන්ද කර්මාන්තයේ නියුතු පවුල්වල වැඩිහිටියන්, තම ආච්චිලාගේ දෑතින් නිමවූ රේන්ද අල්ලා මහරැජිනගේ මංගල ඇඳුම හැඩ කළ බව පවසන්නේ හදපිරි සතුටිනි.
අඩි 13 ක් දිගවූ මහරැජිනගේ වේලය සැකසීමට භාවිත කර ඇත්තේ ද මාගල්ලෙන් ගෙනියන ලද රේන්දවීම විශේෂත්වයකි. මාගල්ලේ නිවෙස්වල තවමත් රැජිනගේ රාජකීය මංගල ඡායාරූපය යහතින් වැජඹෙන්නේ මේ නිසාය.
මේ රාජකීය විවාහ මංගල්‍යය දා උදෑසන බකිංහැම් මාලිගාවේ සිය නිදන කාමරයේ ජනේලයෙන් පහත වීදි දෙස බැලූ එළිසබෙත් කුමරියට දැකගත හැකි වූයේ මග දෙපස රැස්ව සිටි අතිවිශාල ජනකාය ඇඳ ඇතිරිලි නවමින් සිටි අතර ඉන් ඇය වටහාගනු ලැබූවේ තම විවාහය දැකගැනීමට ඔවුන් රැඳී සිටින්නේ පෙර දින රාත්‍රියේ සිට බැවින් ඇය ඔවුනට උත්තමාචාර දැක්වීමට ගියත් ඇගේ මිත්තනිය වූ මේරි රැජින එයට ඉඩ දුන්නේ නැත.
රාජකීය විවාහ මංගල්‍යය වෙනුවෙන් ආරාධනා ලද පිරිස 2500 කට වැඩිය. මංගල මේසයේ කතාව පවත්වා ඇත්තේ අගමැති විනිස්ටන් චර්චිල් විසිනි. “මේ රාජකීය මංගල්‍යය ඉතාමත් ප්‍රීතිජනක අවස්ථාවක්. අපට ගමන් කිරීමට සිදුවන මාර්ගයේ මත විහිදුණු වර්ණාලෝක ධාරාවක් ලෙස මෙම සුවිශේෂී අවස්ථාව නිර්වචනය කරන්න පුළුවන්” යනුවෙන් චර්චිල් පවසා ඇත.
කේක් ගෙඩිය එසේ මෙසේ එකක් නොවීය. එය අඩි නවයක් උස වූ අතර එය තට්ටු හතරකින් යුතු වූ අතර එකින් එක තට්ටුවට ගමන් කරන්නට මෙන් පියගැට පෙළක්ද එහි දැකගත හැකි විය.
මේ රාජකීය මංගල්‍යයට ඉන්දියාවේ මහත්මා ගාන්ධිට ද ඇරියුම් පතක් ලැබී තිබිණි. මීට හේතු වූයේ ඉන්දියාවේ අවසන් ඉංග්‍රීසි ප්‍රතිරාජයා ලෙස කටයුතු කළ ලුවී මවුන්බැටන් සාමිවරයා. ගාන්ධි තුමාගේ මිත්‍රයෙකු වීමය. “මගේ බෑනා පිලිප් අනාගත රැජිනගේ අත ගන්නවා. මේ මංගල පුවත ඔබ වෙත දන්වන්නේ මහත් ප්‍රීතියෙනි” බව මවුන් බැටන් මංගල ආරාධනාවක් ගාන්ධිට එවීය.
“ඔබේ බෑනණුවන්, අනාගත රැජිනගේ අතගැනීම මටත් සතුටට කරුණක්. එහෙත් තෑග්ගක් එවන්නට නොහැකි වීම කනගාටුවට කරුණක්” යනුවෙන් මහත්මා ගාන්ධි ඊට පිළිතුරු යැවීය. ඊට පිළිතුරු දුන් සාමිවරයා ප්‍රශ්න කර සිටියේ ගාන්ධි සතුව රෙදි වියන චරකාවක් තිබෙනවා නේද? යනුවෙනි. ගාන්ධි තනිවම තම අතින්ම මේස රෙද්දක් වියන ලද්දේ රාජකීය නව යුවළට තුටු පඬුරක් ලෙසය.
ගාන්ධිගේ තුටු පඬුර මවුන්බැටන් සාමිවරයා කුමරියට ලබාදෙන අවස්ථාවේ “මෙය ඔබේ කිරුලේ මැණික් ලෙස රැකගන්න” යැයි පවසා ඇත. එහෙත් මෙම මංගල තෑගි පිරික්සන අවස්ථාවේදී, එළිසබෙත් කුමරියගේ මිත්තණිය වූ මේරි රැජිනගේ අප්‍රසාදයට ගාන්ධිගේ තුටු පඬුර ලක් විය. එයට හේතුව, මහත්මා ගාන්ධි අඳින, සුප්‍රකට අමුඩය ගැන ඇය අසා තිබීමය. මෙය ද එවැනි අමුඩයක් යැයි ඇය වරදවා වටහා ගැනීමයි.
ගාන්ධිගේ තුටු පඬුර දුටු අවස්ථාවේ මේරි රැජින “මොනතරම් පිළිකුල් සහගත වෙඩින් ගිෆ්ට් එකක්දැයි ඇය ළතෝනි දී ඇත්තේ බකිම්හැම් මාලිගාව දෙවනත් කරමිනි.
කෙසේ නමුත් දෙවැනි එළිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය කිරීටයට හිමිකම් පෑවේ ඇගේ පියරජාණන්ගේ හදිසි අභාවය නිසාය. හය වැනි ජෝර්ජ් බ්‍රිතාන්‍යයේ පමණක් නොව එවකට බ්‍රිතාන්‍යයෙන් ඩොමීනියන් නිදහසක් ලැබුණු සිලෝන් එකේ ‘මහරජාණෝ’ වූහ. ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ ඉහළින්ම එකල තිබුණේ ධර්ම චක්‍රය නොව රැජිනගේ ඔටුන්නය. හමුදා නිලධාරියකු නිල ඇඳුමෙන් සැරසී සිටින අවස්ථාවක මහ වැසි ඇදවැටුණද, ගිනි කාෂ්ටක අව්ව තිබුණද, හිසට ඉහළින් කුඩයක් ඔසවා ගමන් කිරීම තහනම් කටයුත්තකි. නිල ඇඳුමේ තිබෙන බ්‍රිතාන්‍ය කිරීටයේ ඔටුනු ලකුණට ඉහළින් ‘කපුටෙක්වත් පියෑඹීම” තහනම් බවට අධිරාජ්‍යවාදී නීති පනවා තිබූ බැවිනි. පාසල් සිසුන් දිනපතාම රජු වෙනුවෙන් ස්තෝත්‍ර ගායනා කිරීමේ පුරුද්දක් එකල පැවැති අතර එක්ස්සයිස් පොත්වල කවරය සැරසුණේද ඇගේ රූපයෙනි.
ලංකා ආණ්ඩුව පනස් දෙකේ පෙබරවාරි හතරවැනිදා නිදහස් උළෙල සංවිධානය කළේ “කොළඹ ක්‍රමය” ප්‍රදර්ශනය විවෘත කිරීමට ද සැලසුම් කරමිනි. උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ හයවැනි ජෝර්ජ් රජුගේ දියණිය වන එළිසබෙත් කුමරියයි. එහෙත් එළිසබෙත් කුමරියට පනස් දෙකේ දී ලංකාවට ඒමට නොහැකි වූයේ ලංකාවට ඒමට පෙර නැගෙනහිර අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇයට පිය රජතුමාගේ හදිසි අභාවය සැලවීම නිසාම ලංකා ගමන අවලංගු කළ කුමාරිකාව කෙළින්ම එංගලන්තයට සැපත් විය. එහෙත් පනස් හතරෙ දෙවැනි එලිසබෙත් මහරැජින ලංකාවට සැපත් වූ අවස්ථාවේදී පිළිගැනීමට සිදුවූයේ ඩඩ්ලි සේනානායකට නොව ජෝන් කොතලාවලටය. පනස් තුනේ හර්තාලයෙන් කලකිරීමට පත්ව ඩඩ්ලි ඉල්ලා අස් වූ බැවින් රැජිනගේ ලංකා ගමනය වූ අවස්ථාවේදී රටේ පාලකයා වූයේ සර් ජෝන් කොතලාවලය.
දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ලංකා ගමනයට දින නියම කර තිබූ වකවානුවේ ලංකාවේ තිබුණේ යහපත් දේශපාලන වාතාවරණයක් නොවේ. පැවති හර්තාලයේ උණුසුම ඒ වන විටත් පහව ගොස් තිබුණේ නැත. ලන්ඩනයට මේ තත්ත්වය ආරංචි වී මහ රැජිනගේ ලංකාගමනය අවලංගු කරන බවට ලන්ඩන් නුවර දෙසින් ඇසෙන්නට විය. ජෝන් කොතලාවලගේ ආසියානු “අගමැතිවරයකුගේ කතාව” කෘතියේ ඒ ගැන මෙසේ සඳහන් වේ.
“අගමැති වශයෙන් මගේ ප්‍රථම කර්තව්‍යය වූයේ මහ රැජිනගේ ලංකා චාරිකාව පිළිබඳව දුර්මත පළ කරමින් ලන්ඩනයට යවා තිබූ විදුලි පුවත් සහ සන්දේශ සියල්ල අවලංගු කිරීමයි. මෙවර ශ්‍රී ලංකා ජනතාවගේ අවංක වූ ද උත්කර්ෂවත් වූ ද ආදර ගෞරවය මහරැජනට පුද කිරීමට මම තීරණය කළෙමි.
මහරැජිනගේ ලංකාගමනයට එරෙහිව මාක්ස්වාදීහු විරෝධය පළ කරන ලදී. රාජකීය අමුත්තන් අපහසුතාවට පත්කිරීමට විරෝධතා පෙළපාළිද කළු කොඩි ඔසවමින් ද කඩාකප්පල්කාරී වැඩ කිරීමට මාක්ස්වාදීන් අර අඳින බවට ආරංචි පැතිර යන ලදී. මාක්ස්වාදී නායකයෝ රැජිනගේ සංචාරයට දින කීපයකට පෙරදී සර් ජෝන් හමු වූහ.

බ්‍රිතාන්‍ය මහරැජිනට එරෙහිව තම පක්‍ෂ කළු කොඩි ඔසවමින්ද විරෝධතා පෙළපාළි යමින්ද විරෝධය පළකිරීමට බලාපොරොත්තු වන බැවින්, ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වනු ලබන බවට සහතිකපත් දෙන්නැයි මාක්ස්වාදීහු අගමැතිවරයාගෙන් සහතික වන ලෙස සර් ජෝන්ගෙන් ඔවුහු ඉල්ලූහ.
“උඹලට කියන්න මම කිසිම විරෝධතාකරුවකු පොලිසියට ගෙන යන්නේ නැහැ. පොලිසිය සූදානම් කරන්නෙත් නෑ. හැබැයි පුතෝ මම රෝහල් සූදානමින් තබන ලෙසට උපදෙස් දුන්නා. මහ රැජිනට එරෙහිව එක කළු කොඩියක්වත් ඉස්සුවොත් මම තොපි ගෙනියන්නේ පොලිසියට නොවේ ඉස්පිරිතාලෙටයි.” ජෝන් කොතලාවල තර්ජනය කළේය. කොතලාවලගේ හැටි දන්නා මාක්ස්වාදීහු විරෝධතා හකුළා ගත්හ.
මහරැජිනගේ ලංකා ගමන ගැන සර් ජෝන් කොතලාවල එවක බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.
රජ පවුලේ අය ශ්‍රී ලංකාව දැක්කේ ඉතාම දැකුම්කළු පරිසරයේ ඇති රටක් විදිහට. ලංකාවේ සංචාරය ඔවුනට විශේෂත්වයක් වුණා. එළිසබෙත් මහ රැජිනට පරිවාර ඇමැති වශයෙන් එදා ගිය සර් ජෝන් කොතලාවල වන මම රජ ගෙදර සමීපතමයෙක් වූයේය. ඔන්න අපි සීගිරියට ගියා. දවල් වේලාවේ මහරැජින ගලට නැගලා වටපිට බලන්න පටන්ගත්තා දුර බලන කණ්ණඩියකින්. මම රැජිනට එතකොට කුඩය අල්ලන් සිටියා. ලංකාවේ ලස්සනම දර්ශනවලට රැජින වශී වෙලා. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් මට කීවා හරිම ලස්සනයි. ලස්සනයි බලන්න කියලා මට දුරදකින කණ්ණාඩිය දුන්නා. මගේ අතේ තිබුණ කුඩය මහරැජින ගත්තා. දැන් රැජින මට කුඩේ අල්ලාගෙන ඉන්නවා.
පින්තූරකාරයෝ දැන් දැන් මගේ පින්තූරයක් ගනියි කියලා මට සිතුණා. ඒ කාලේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මේ ගමනට එක්වෙලා සිටියේ. මම ඉංග්‍රීසියෙන් මහරැජිනට හරිම ලස්සනයි කියලා කියමින් කුඩේ යට ඉඳගෙන පරිසරය නැරඹුවා. ‘යකෝ පින්තූරයක් ගනිල්ලා කියලා” මම පත්තරකාරයන්ට කෑ ගැසුවා.
එංගලන්තයේ මහරැජින මට මොහොතකට හරි කුඩේ ඇල්ලීම ලොකු දෙයක් හින්දා එතකොට පින්තූර ගත්තා. “මේක මගේ ජීවිතයේ වටිනා සිද්ධියක් වුණා යැයි සර් ජෝන් කොතලාවල මහතා පසු කලෙක පැවසීය. රැජින ලංකාවෙන් යන දවසේදී කැබිනට් මණ්ඩලයට අතට අත දීලා කතා කළා. ඔය අතරතුරේ එතැනට තවත් අමුත්තෙක් රිංගලා හිටියා.
“ඒ තමයි ටිප්ටොප්කාරයා. කරගන්න දෙයක් නෑ. ඌත් රැජිනට අත දුන්නා. රැජින පිටත්වෙනකල් ඉවසිල්ලෙන් සිටියා. ඉවර වුණාට පස්සේ මම හෙමින් කිට්ටු වුණා. මිනිස්සුන්ට පේන්න නැති වෙන්න මොනවාද කරන්නේ බෙල්ලෙන් අල්ලලා ගුටි පූජාවක් දීලා තල්ලු කරල දැම්මා”යි. සර් ජෝන් පවසා ඇත.
එහෙත් බොහෝ දෙනා කැමැති රැජින සීගිරියේ ගිය අවස්ථාවේ ගවුම උඩගිය ප්‍රවෘත්තිය අසා ප්‍රීති වීමටය. එළිසබෙත් මහ රැජිනගේ සංචාරයේ විශේෂම කාරණාව වූයේ ඈ සීගිරි පර්වතය නැරඹීමට යාමය. ගමනට අගමැති ජෝන් කොතලාවලද එක් විය. ඔය කියන කාලයේ විසි අට වැනි වියේ පසු වූ රැජින බොහෝ සුරූපීය. රැජින සීගිරිය නැග්ගේ සැහැල්ලු කපු ගවුමක් ඇඳගෙනය. සිංහ පාදය අසලදී හමා ආ සැඩ සුළඟින් ගවුම ආරක්‍ෂා කිරීමට රැජින බොහෝ වෙහෙසුනමුත් සුළඟ ඇගේ උත්සාහය පරාජය කළේ ඈ ඇඳ සිටි ගවුම උඩ යවමිනි.
මහ රැජිනගේ ගවුම උඩගොස් ඇගේ දෙපා නිරුවත් වන අයුරු බලාහුන් සෙල්ලක්කාර ජෝන් කොතලාවල අගමැතිවරයාගේ මුවට ඉවසුමක් නොවීය.
“ගනිං. . යකෝ . . ගනිං ෆොටෝ සර් ජෝන් ඔහු සිය නිල ඡායාරූප ශිල්පියාට කෑගැසුවේය. සිංහල නොදත් රාජකීය අමුත්තන්ට අගමැතිවරයා කීවේ කුමක්දැයි නොතේරුණත් ස්ත්‍රීන්ට ලොබ බැඳගත් ජෝන් කොතලාවල අගමැතිවරයා ගැන දන්නා ලංකාවේ නිලධාරීන්ට නම් ඒ කතාව අසා හතර හිනාය. සර් ජෝන් කෑ ගසා ඇත්තේ “ගනින් ෆොටෝ” යනුවෙනි.
මහරැජිනගේ ලංකා ගමනයෙන් මෙරටින් සමුගන්නා විට චාරිත්‍රානුකූලව ඔවුනට තිළිණ කරන ඡායාරූප ඇල්බමයේ මහරැජිනගේ ගවුම උඩ ඉස්සෙන විට ගත් ඡායාරූපය නම් ඇතුළු නොවූ බව එකල අගමැතිවරයාගේ සහකාර ලේකම් වූ බ්‍රැඩ්මන් වීරකෝන් ලියූ “අරලිය ගහ මැදුරේ ස්පන්දනය” පොතේ සටහන් කර ඇත.
1952 මෙන්ම 1954 දී ගමන් දෙකටම සූදානම් කර තිබුණේ ඒ සඳහා එංගලන්තයෙන් විශේෂයෙන් ගෙන් වූ “කිං ජෝර්ජ්” නමැති එන්ජීමක් සහිත සුඛෝපභෝගී දුම්රියකි. එම දුම්රිය පැදවීම සඳහා විශේෂ පරීක්‍ෂණයකින් පසුව බර්ගර් ජාතික දක්‍ෂ දුම්රිය රියැදුරු පරීක්‍ෂකවරයකු යෙදවූ අතර එහි සහායකයා වශයෙන් යොදවා ගනු ලැබූවේ මුදියන්සේ නම් ශ්‍රී ලාංකිකයාය. කොළඹ කොටුවෙන් මහරැජින ඇතුළු රාජකීය පිරිස නංවාගත් විශේෂ දුම්රිය පොලොන්නරුව දක්වා ධාවනය කරන ලදී.
පොලොන්නරුවේ සිට කොළඹට ආපසු පැමිණී දුම්රිය පසුදා මාතලේට ගොස් මහරැජින ඇතුළු රාජකීය පිරිස ආපසු කොළඹට කැඳවාගෙන ඒමට සැලසුම් කර තිබිණි. පිරිස කොළඹ කොටුවට කැඳවාගෙන ඒමෙන් පසු මහරැජින දුම්රියේ රියැදුරුට සහ රියසහායක මුදියන්සේ මහතාට ද පැසසුම් කළාය. දුම්රිය එන්ජිම නතර කිරීමට නොහැකි නිසා රියදුරුට එහිම සිටීමට සිදු වූ අතර මහරැජින අතට අත දී සුබ පැතුවේ දුම්රිය වේදිකාවට බැස සිටි ආර්.ඇම්. මුදියන්සේටය.
මහරැජිනට වෙන් වූ විශේෂ දුම්රිය සේවා කිරීම සඳහා ඊළඟට ගෙන යායුතු වූයේ රත්මලාන දුම්රිය අංගනයටය. බංගලාවේ රාත්‍රි නවාතැන් ගත් දුම්රිය රියැදුරු පසුදා උදේ බංගලාවේ පිටතින් පිහිටි නාන කාමරයට මුහුණ සේදීමට යන විට අනෙක් බංගලාවේ ඉස්තෝප්පුවේ පුටුවක වාඩි වී අගමැති සර් ජෝන් කොතලාවල පත්තරයක් බලමින් සිටින අයුරු පැහැදිලිව දැකගත හැකි විය. එක් පොලිස් නිලධාරියෙක් මුහුණ සෝදාගෙන ආපසු එමින් සිටි මුදියන්සේට අගමැතිතුමා කතා කරන බව දැනුම් දුන්නේ මේ අතරය.
අගමැතිතුමා කතා කරන්නේදැයි නොදත් මුදියන්සේ අගමැතිවරයා බැහැ දැක දණ නමා ආචාර කළේය. මුදියන්සේ තමා ළඟට කැඳවූ කොතලාවල අගමැති ඔහුට අතට අත දී ආගිය තොරතුරු කතා කර තමා බලමින් සිටි “ඩේලි නිවුස්” පත්‍රයේ මුල පිටුවේ පළ වී තිබූ ඡායාරූපයක් පෙන්වා “යකෝ මම රැජිනට අතට අත දෙන ෆොටෝ එකක්වත් එක පත්තරේකවත් නෑ බං” මේ උඹට අතට අත දෙන ෆොටෝ එකක් තියෙන්නේ”යි කියා පත්‍රය පෙන්වීය.
එළිසබෙත් කුමරියට පනස් දෙකේ දී ලංකාවට ඒමට නොහැකි වූයේ ලංකාවට ඒමට පෙර නැගෙනහිර අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇයට පිය රජතුමාගේ හදිසි අභාවය සැලවීම නිසාම ලංකා ගමන අවලංගු කළ කුමාරිකාව කෙළින්ම එංගලන්තයට සැපත් විය.
“හා. . හා. . මට වඳින්න ඕනෑ නෑ උඹ මට දැන්. අද ඉඳලා උඹ රැජින මුදියන්සේනේ”යි කියා මහ හඬින් සිනාසුනේය. එදින පටන් මුදියන්සේ මහතාට “රැජින මුදියන්සේ” යන නාමය ලැබුණු අතර පසුව දුම්රිය සේවකයන් අතර ‘රජ මුදියන්සේ’ ප්‍රසිද්ධ වූයේ මේ මුදියන්සේය.
මහරැජිනගේ ප්‍රථම ලංකා ගමන රසවත් සිදුවීම්වලින් පිරී ඇත්තකි. සීගිරි ඉපැරැණි රජදහනේ විසිතුරු තොරතුරු දැකීමෙන් මහ රැජින මහත් වූ සතුටකට පත්වූවාය. මේ ගමනේදී ලංකා අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කොතලාවල මැතිතුමා සමගම රැජිනියට මෙහි ඓතිහාසික තොරතුරු සවිස්තර කියාදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතානද එක් විය. පසු කල පරණවිතාන මහතාණන් කියා සිටියේ මහරැජින විසින් තමාගෙන් අසන ලද ප්‍රශ්නවලින් තමන් එතුමියගේ බුද්ධි මහිමය තමන්ට තේරුම් ගිය බවය. ලංකාවේ නායකයන්ගේ මහරැජින අතට අත දුන් පිරිස ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. මහ රැජිනගේ මෞලි මංගල්‍යයට ගිය ඩඩ්ලි ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයෝ ඈ සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියෝය. පසු කලක ඒ ඡායාරූපය ඩඩ්ලිගේ බොරැල්ලේ “වුඩ්ලන්ඩ් මැදුරේ” ඉස්තෝප්පුව අලංකාරවත් කළේය. ඩඩ්ලි මහ රැජිනගේ පරම්පරාව හමු වූ දෙවැනි සේනානායකය. පළමු වැනියා ඩී.එස්. සේනානායකය. ඉන්පසු සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස ආදීන් මෙන්ම 2012 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එවක එංගලන්තය බලා පිටත්වූයේ මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය හෙවත් ඇය ඔටුනු පලඳා වසර හැටක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උළෙලට සහභාගි වීමටය. ජනාධිපතිවරයාට මේ උත්සවයට ඇරියුම් ලැබුණේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබී නිදහස ලැබූ රටක රාජ්‍ය නායකයකු ලෙසය.
1981දී රාජකීය යුවළ ලංකාවට ආවේ ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී අඩසියවසක් පිරීම සැමරීමටය. බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විජිතයක්ව පැවැති රටවල් අතරින් සර්වජන ඡන්ද බලය මුලින්ම ලැබුණේ ලංකාවටය. ඒ 1931 දීය. ජෝන් කොතලාවල මෙන් “දෙකට තුනට නැවී” නෝන්ජල් ලෙස මහ රැජන පිළිගැනීමට ජේ.ආර්ගේ කපටි මොළය කල්පනා නොකළේය. ඒ වනවිටත් ශ්‍රී ලංකාව ඩොමිනියන් තත්ත්වයෙන් මිදී ස්වාධීන ජනරජයක් වී වසර නවයක් ගත වී හමාරය. ජේ.ආර්. රැජින පිළිගැනීමට පාසල් සිසුන්ට අවස්ථාවක් ලබා දුන්නේය. මහරැජින සමග නිලධාරිනියක නැගී ගාලු මුවදොර පිටිය හරහා රජගෙදරට ගියේ රැජිනගේ රට ගැන ජනතාවට හොඳින් දැක බලා ගැනීමට විය යුතුය. සංචාරයේදී රාජකීය යුවළගේ පරිවාරයන් වූයේ එකල මහවැලි හා ඉඩම් සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක හා ශ්‍රීමා දිසානායක යුවළයි.
කෙසේ වෙතත් ලංකාවේ නායකයන් දෙදෙනකු හා ඔවුනගේ පුතුන් දෙදෙනකුට අතට අත දීමට තරම් මහ රැජින වාසනාවන්ත විය. ඒ පියවරුන් දෙදෙනා ඩී.ඇස්. සේනානායක සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. පුතුන් වූයේ ඩඩ්ලි සේනානායක සහ අනුර බණ්ඩාරනායකය. පැවැත්වීමට නියමිත මහ රැජිනගේ 100 වැනි ජන්ම සැමරුම් ප්‍රදර්ශනය අපට වඩාත් වැදගත් වන්නේ ලංකාවේ ඇත්තන් නිර්මාණය කළ ඇගේ මාගල්ලේ රේන්ද මංගල ගවුම මෙන්ම ඇගේ සියලු ඡායාරූප අතර අප සඳහන් කළ ලංකාවේ රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප ද ඇතුළත් වී තිබීම නිසාමය.
මහින්ද රණවීර